ජනපති ඝාතන කුමන්ත්‍රණයක් හඬ පටවලින් හෙළිවී නෑ | දිනමිණ

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් හඬ පටවලින් හෙළිවී නෑ

අසේල කුරුළුවංශ

නාමල් කුමාර නමැති අය කියන ආකාරයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ඔහුගේ දුරකතනයේ හඬ පට මගින් තමන් දන්නා පරිදි තහවුරුව නොමැති බව රාජ්‍යය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. විදේශ රටකට ගෙන ගොස් පරීක්ෂා කළ අදාළ හඬ පට සම්බන්ධ වාර්තා මේ වන විට මෙරටට ගෙනවිත් තිබෙන බව ද ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පසුගිය දා (25) මේ බව ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාවවට අනුව අගමැතිවරයා විසින් ඇමැති ධුර සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බවත් අදාළ පත් කිරීම් සිදු කිරීම ජනපති විසින් සිදු කරන බවත් කී ඒ මහතා ඒ අනුව අගමැතිවරයා විසින් තම නම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ලබා දීම පිණිස නිර්දේශ කර තිබෙන බව ද අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමැති ධුර කීයක් සඳහා වත්මන් ආණ්ඩුවට යා හැකිද යන්න පිළිබඳ අධිකරණයෙන් විමසීමට අපේක්ෂා කරන බවත් ඇමැති ධුර වැඩි වුවහොත් වැඩි සේවයක් කිරීමට අවකාශ සැලසෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය. පසුගිය කාලයේ කැබිනට් ඇමැති ධූර 43ක් ක්‍රියාත්මක වූ බවත් මහින්ද රාජපක්ෂ සමයේ ඇමැති ධූර 58ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් හෙතෙම කීය. තමන් හා විජිත් විජිතමුනි ද සොයියා ඇමැතිවරයා අතර පැවැතියේ පෞද්ගලික ප්‍රශ්න නොව දේශපාලනික ප්‍රශ්න බවත් මද්දුමබණ්ඩාර මහතා කීවේය.

නව අදහස දක්වන්න