සුබ නව වසරක්! | දිනමිණ

සුබ නව වසරක්!

අද පටන් අලුත් කාල පරිච්ඡේදයක් ආරම්භ වෙයි. මෙහි අර්ථය වන්නේ ජීවිතය, සමාජය, රට හා ජාතිය අලුත් විය යුතු බව ය. ඕනෑම සමාජ කණ්ඩායමක් කාලය යන චක්‍රය සමඟ බැඳී සිටී. කාලය රන් හා සමාන යැයි තේමා පාඨයක් නිර්මාණය වන්නේ ද ඒ නිසා යැයි කිව හැකි ය. අද තත්ත්වයට අනුව ගතහොත් කාලය රන්වලට වඩා වටී. කොටින් ම අද තත්ත්වයට අනුව ගතහොත් තෙල්වලටත් වඩා කාලය වටී. එහෙත් කාලය කළමනාකරණයක් අපට නැත. කාලය පිළිබඳ හැඟීමක් ද අපට නැත. 2019 වර්ෂයට සාර්ථකව මුහුණදීමට නම්; කාලය පිළිබඳ අවබෝධයකින් අපේ වැඩසටහන් ආරම්භ කළ යුතුය.

සියල්ලන්ගේම බලාපොරොත්තුව මේ වසර සාර්ථක කර ගැනීම ය. ගමේ වචන පෙළකින් කිවහොත් 2019 වසර අපට කිරියෙන් - පැණියෙන් ඉතිරිය යුතුය. එහෙත් මේවා ඉ‍‍බේ සිද්ධවන්නේ නැත. ජීවිතය සාර්ථක කර ගැනීමට පෞද්ගලික සැලැසුම් තිබිය යුතුය. සමාජයක් සාර්ථක කර ගැනීමට සාමූහික සැලැසුම් තිබිය යුතුය. රටක් ඉදිරියට ගෙනයෑම සඳහා ආණ්ඩුව විසින් තෝරාගනු ලබන සාර්ථක වැඩසටහන් තිබිය යුතු ය. ඒවා ලෝක යථාර්ථයට ගැළපෙන එලෙසම අපට වාසිසහගත ඒවා විය යුතුය. එසේ නොවන කල අප පසුගාමී රාජ්‍යයක් විය හැකි ය.

2019 වර්ෂය පිළිබඳ පුරෝකථන ගණනාවක් ‍මේ වනවිටත් ඉදිරිපත් වී ඇත. එක පුරෝකථනයකින් කියැවෙන්නේ මේ වසරේ ප්‍රධාන අභියෝගය ආර්ථිකය බව ය. ජාතික ආර්ථිකය ගොඩනැංවිය හැකි ශක්තිමත් ජාලයක් තිබිය යුතු බවට තර්ක ඒ ඔස්සේ මතු වෙයි. තව පුරෝකථනයකින් කියැවෙන්නේ බරපතළ දේශපාලන අර්බුදයකට 2019 වසර තුළදී අපට මුහුණ දෙන්නට සිදුවන බවය. තවත් පුරෝකථනයකින් කියැවෙන්නේ රට තුළ දූෂණය, වංචාව හා අක්‍රමිකතා බෙහෙවින් ඉහළ යා හැකි බව ය. ඒ ඔස්සේ රට විනාශ මුඛයට යන බව ය. මේවායේ හි ඇත්ත , නැත්ත විමසා බැලීමට නම්; එහි දේශපාලන විවේචන සියල්ල බැහැර කළ යුතු ය.

ර‍ටේ වැඩි දෙනකුගේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත කිරීමට මෙන්ම විදේශ විනිමය ඉපැයීමට උනන්දු කරවීම යන කරුණු දෙක අතින් ම ඉදිරිගාමී විය යුතු බව ය. එය සත්‍යයෙකි. කෘෂිකර්මය දැඩි සංවර්ධනයකට ලක් නොකොට අපගේ ආර්ථික අපේක්ෂාවන් ජයගත නොහැකි ය. එලෙසම විදේශ විනිමය වැඩි වශයෙන් උපයන රැකියා බහුල ලෙසින් අපට අවශ්‍ය වේ. විදේශීය ආයෝජන ද අවශ්‍ය වේ. මේවා චක්‍රීය ස්වරූපයකින් අප කරා පැමිණෙයි. ඒවා විමර්ශනය කළ යුතුය.

රටේ නායකයන්ගේ මෙන්ම සමස්ත පොදු ජනතාවගේ ද අපේක්ෂාව වන්නේ 2019 වසර ඉසුරුමත් එකක් වනු නියත යන්න ය. පුද්ගලයාට බලාපොරොත්තු තිබිය යුතු ය. සමාජයකටද පොදු අපේක්ෂා තිබිය යුතු ය. එසේ නොමැතිව පොදු කරුණු සම්බන්ධයෙන් වාද - විවාද කළ නොහැකිය. අලුත් අවුරුද්දක් යනු අලුත් ප්‍රවේශයකි. එම ප්‍රවේශය පරිස්සමින් ගත යුතු අතර අවුරුද්ද සාර්ථක කර ගැනීමේ වගකීමද අප සතුය. එම වගකීම රටේ නායකයන් සේම පාර්ලිමේන්තුව ද වටහාගත යුතු යැයි අපට සිතේ. පාර්ලිමේන්තුව දූෂිත වුවහොත් රටට ඉතිරිවන්නේ කම්පාවක් පමණි.

ප්‍රධාන අභියෝගය ඇත්තේ ආර්ථිකය තුළ යැයි කියන්නට පුළුවන. රටක් හැටියට අප ගෙවීමට ඇති විදේශ ණය, පොලියත් සමඟ ගැටගැසී ඇත. එය හොඳ තත්ත්වයක් නොවේ. තවත් බොහෝ අභියෝග අප අබිමුවෙහි පවතී. මේවා පරාජය කිරීමට අවශ්‍ය විද්‍යානුකූල සාධක සොයාගත යුතුව තිබේ.

2019 වසර තුළදී ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ යුතු ජන ජීවිත තිබේ. යථා තත්ත්වයට පත්කළ යුතු දේපොළ, යන්ත්‍ර සූත්‍ර හා පරණ ගොඩනැගිලි තිබේ. මේ කෙරෙහි දැඩි අවධානය යොමුකළ යුතු සේම අලුත් තත්ත්වය යටතේ ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කළ යුතු ය. එය පණගැන්විය හැකි උපායමාර්ගද සපයාගත යුතු ය. අපට වඩා දියුණු යැයි කියන හා අපට වඩා ශිෂ්ට යැයි කියනු ලබන යුරෝපීය සමාජය තුළද ආධ්‍යාත්මික කඩාවැටීම දක්නට ලැබේ. අප ඒවායින් පාඩම් උගෙන ශ්‍රී ලංක‍ාවේ තත්ත්වය හසුරුවාගත යුතුය.

තුන්වන ලෝකයට අයත් දුප්පත් රාජ්‍යයක් වේගවත් සංවර්ධන මාවතට ප්‍රවේශ කිරීමට නම්; අවම වශයෙන් සියයට හතක් හෝ සියයට නමයක හෝ ආර්ථික සංවර්ධනයක් වාර්ෂික වශයෙන් සටහන් කරගත යුතු යැයි නියමයක් තිබේ. එහෙත් ශ්‍රී ලංකාව වාර්ෂික ආර්ථික වෘද්ධිය ලෙස දිගින් - දිගටම සටහන් කරගෙන ඇත්තේ සියයට හයක හෝ සියයට පහක හෝ අනුපාතයකි. අප මේ තත්ත්වයෙන් ගොඩ යා යුතු ය. අවම ලෙස ආර්ථික වෘද්ධිය සියයට හතක මට්ටමේ පවත්වා ගැනීමට උත්සුක විය යුතු ය. ඊට අවශ්‍ය පසුබිම හා සම්පත් ශ්‍රී ලංකාව සතු වේ.

ආණ්ඩුව දැනට ම ප්‍රකාශ කර ඇති පරිදි මේ වර්ෂය යෝධ සංවර්ධනයකට අඩිතාලම ඇතිකරන වර්ෂයකි. තව අතෙකින් ජනතාවට දිගින් - දිගටම සහන ලබාදෙන වර්ෂයකි. ඒ සඳහා වූ සැලැසුම්, මේ වන විට ඉදිරිපත් කර තිබේ. ඒවා සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහයෝගය ද ලැබිය යුතුය.

 

නව අදහස දක්වන්න