පුළුල් සන්ධානයක් ගොඩනඟනවා | දිනමිණ

පුළුල් සන්ධානයක් ගොඩනඟනවා

මල්වාන සමූහ - මහානාම විතානගේ

 

ලබන 2019 වන නව වසර මැතිවරණ උණුසුමක් තිබෙන වසරක් වන්නේ යැයි ද ඒ නිසා එයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා රටට ආදරය කරන එ. ජා. විරෝධී සියලුම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකරාශි කරගෙන පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට ශ්‍රී. ල. නි. පක්ෂය ප්‍රමුඛ එ. ජ. නි. සන්ධානය දැන් කටයුතු කරන්නේ යැයි ශ්‍රී. ල. නි. පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

මහලේකම්වරයා එසේ පැවසුවේ පසුගිය සිකුරාදා (28 වැනිදා) පෙරවරුවේ යක්කල ජාතික පෙරමුණ පක්ෂයේ ‍පස්වන සංවත්සර උළෙල අමතා කතා කරමිනි.

මේ සංවත්සර උළෙල එම පක්ෂයේ නායක රංජිත් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී තවදුරටත් කතාකළ ශ්‍රී.ල.නි. පක්ෂයේ මහ ලේකම්වරයා මෙසේ ද කීය.

ලබන 2019 න වසර තුළ පළාත් සභා මැතිවරණ, ජනපතිවරණය හා මහා මැතිවරණය පැවැත්වෙනවා. එයට ශ්‍රී.ල.නි. පක්ෂය ප්‍රමුඛ එ. ජ. නි. සන්ධානය ශක්තිමත්ව මුහුණ දෙන්නට ඕනෑ. ඒ සඳහා එහි සභාපතිත්වය දරන වත්මන් ජනපතිතුමා විසින් එම සන්ධානය තවත් පුළුල්කොට ශක්තිමත් සන්ධානයක් ගොඩනැඟීමට කමිටුවක් පත්කළා. එම කමිටුව විසින් පොහොට්ටුව ඇතුළු සියලුම පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කරනවා. ඔවුන්ගේ අදහස් හා ‍යෝජනා ද ලබාගන්නවා. ඉතින් මේ ආකාරයටයි අපි පුළුල් ශක්තිමත් සන්ධානයක් ගොඩනඟන්නේ. ඒ අනුව එළැඹෙන ඕනෑම මැතිවරණයකින් අපි ජයග්‍රහණය කරනවා.

පසුගිය දිනවල පැවතුණු ව්‍යවස්ථා අර්බුදය දැන් සමනය වෙලා. දැන් එ. ජා. පක්ෂ රජයක් බලයට පත්වී තිබෙනවා. ඒ අනුව රජයේ අගමැති ආණ්ඩුවේ. ජනපති විපක්ෂයේ, ඉතින් එවැනි රජයක් පවත්වාගෙන යනවිට විවිධ ප්‍රශ්න හා ගැටලු මතුවෙනවා. ඒ හැරත් මේ රජයට බහුතරයක් නැහැ. නමුත් ඒ වුණාට දෙමළ සන්ධානය මේ රජයේ අය වැයට ඡන්දය දෙනවලු. ඒත් එ. ජා. පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නොලැබුණු නිසා ඔවුන් නායකත්වයට විරෝධය පළ කරමින් සිටිනවා. ඒ වගේම ඇතැම් වෘත්තීය සමිති මෙන්ම වෛද්‍ය සංගම් හා බැංකු සේවක සමිති රජයට බලපෑම් එල්ල කිරීමට පටන්ගෙන තිබෙනවා.

වත්මන් එ. ජා. පක්ෂ රජයේ අදූරදර්ශී පාලනය නිසා රටේ ආර්ථිකය කඩාවැටිලා. කර්මාන්තශාලා වැසීයමින් පවතිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අහස උසට නැඟලා. ජනතාව ජීවන බරින් මිරිකිලා. රැකියා උත්පාදනයක් සිදුවන්නේ නැහැ. රැකියා මාර්ග ඇහිරිලා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කතා කරමින්,

අද රජය කියනවා ඒකීය රාජ්‍යයක් තුළ උතුරට දේශපාලන විසඳුමක් දෙනවා කියලා. නමුත් අපි දන්නා තරමින් උතුරේ දේශපාලන ප්‍රශ්නයක් නැහැ. උතුරේ ජනතාවට තිබෙන්නේ දුප්පත්කම, විරැකියාව, ඉඩම් හා නිවාස වැනි ප්‍රශ්නයි. මේවාට අපි විසදුම් ලබාදෙන්නට ඕනෑ. එසේ නැතිව වෙන ප්‍රශ්නයක් උතුරට නැහැ.

ජාතික පෙරමුණ පක්ෂයේ නායක රංජිත් පීරිස් මහතා කතා කරමින්,

අපි ගතවූ වසර පහ තුළ එ. ජ. නි. සන්ධානයත් සමඟ එක්වී කටයුතු කළා. ඉදිරියටත් අපි එ. ජ. නි. සන්ධානය සමඟ එක්වී පක්ෂ හා සිවිල් සංවිධාන එකතු කරගෙන ජාතික බලවේගයක් ගොඩනඟා ඒ තුළින් රටේ පාලන බලය ලබ‍ාගෙන රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා.

ලිබරල් පක්ෂයේ නායක කමල් නිශ්ශංක, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක විශ්නු කන්තන්, ශ්‍රී ලංකා මුස්ලිම් උලමා පක්ෂයේ නායක එම්. එම්. මුබාරක්, එක්සත් ලංකා පොදුජන පක්ෂයේ මහලේකම් රුවන්තිලක පේදුරුආරච්චි, ගම්පහ ශ්‍රී. ල. නි. පක්ෂ ප්‍රධාන සංවිධායක අජිත් බස්නායක, ජාතික පෙරමුණේ උප සභාපති නිරෝෂන් ජයසිංහ හා ජා-ඇළ ප්‍රධාන සංවිධායක උපුල් වීරසිංහ යන මහත්වරු ද කතා කළහ.

මේ අවස්ථාවට හිටපු දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා ද සහභාගි විය.

නව අදහස දක්වන්න