ජනතා පරමාධිපත්‍ය තහවුරු කර නව වසර ඇරඹීම සුවිසල් ජයක් | දිනමිණ

ජනතා පරමාධිපත්‍ය තහවුරු කර නව වසර ඇරඹීම සුවිසල් ජයක්

ගෙවුණු වසරේ මුහුණදීමට සිදු වූ බරපතළ අභියෝග ජය ගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කර නව වසර පිළිගැනීමට ලැබීම සියලු දෙනාම ලද ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය.

2019 නව වසර එළඹෙන්නේ දේශයටත්, ජනතාවටත් නව අරමුණු අධිෂ්ඨානයන් පෙළගැසෙන නව යුගයක උදාව සමඟිනි. නව වසර මහත් හරසරින් පිළිගන්නට සැරසෙන සමස්ත ලාංකික ජනතාවට පළමුව මාගේ හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.

ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදු වූ බරපතළ, අභියෝගය ජයගනිමින් ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයග්‍රහණයකි. ජාති, ආගම් පක්ෂ ආදී කිසිඳු භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම උදෙසා පෙළගැසුණු ජනතාව වෙත මාගේ  ගෞරවනීය කෘතවේදීත්වය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි. පැවති බලලෝභී දේශපාලන වාතාවරණය තුළ දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද, අප රජය බලයට පත් වී ගෙවුණු වසර කිහිය තුළ සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදුකරන්නට අපට හැකි විය. ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පැරදවීමට අපට හැකිවන්නේ ද ශිෂ්ටසම්පන්න යුක්තිගරුක, සාධාරණ සමාජයක් ගොඩනැංවීම උදෙසා අප ගනු ලැබූ එකී ඉදිරි පියවර වෙත ශක්තිය හා ධෛර්යය ලබාදුන් බැවිනි.

එළඹෙන නව වසර සමස්ත ලක්වැසි ජනතාවට අභියෝගාත්මක වසරකි. අප දිනාගත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කරමින් අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක් ගොඩනැංවීමේ වගකීම අප ඉදිරියේ ඇත. ඒ සඳහා හදවතින්, පිළිවෙතින්, දිරිමත්ව පෙළ ගැසෙන මෙන් මේ නව වසරේ ඔබ සැමට ආරාධනා කරමි.

නව අදහස දක්වන්න