ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුල් වෙළෙඳ සැළසුමක් අවශ්‍යයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුල් වෙළෙඳ සැළසුමක් අවශ්‍යයි

චන්ද්‍රිකා පෙරේරා

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පුළුල් වෙළෙඳ සැළසුමක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ අනුව ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සියලු දෙනා කටයුතු කළ යුතු බවත් වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.

කොළඹ වරාය බහලු මෙහෙයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමකට එළඹෙමින් ඊයේ(31) මිලියන හතක බහලු මෙහෙයුම් සීමාව සම්පූර්ණ කරනු ලැබූ අතර එම උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා එම අදහස් පළ කෙළේ ය.

කොළඹ වරායේ ජයබහළු පර්යන්තයේ දී වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මිලියන හත සම්පූර්ණ කෙරෙන බහලු මෙහෙයුම ඊයේ පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් පැවැත් විණි.

මිලියන හත සම්පූර්ණ කරන බහලුව ගොඩබෑම සඳහා ඇමැති සාගල රත්නායක මහතා සංඥා නිකුත් කෙළේය.

ජයග්‍රාහී බහලු මෙහෙයුම් කටයුතු වලින් අනතුරව තවදුරටත් අදහස් දක්වමින් ඇමැති සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය.

ඉකුත් වූ වසරේ දී කොළඹ වරාය මෙම ජයග්‍රහණය සමඟ තවත් ජයග්‍රහණ රැසක් ජාත්‍යන්තර මට්ටමින් හිමිකර ගත් අතර ලොව හොඳම බහලු මෙහෙයුම් වරාය තිහ අතර පළමු ස්ථානයට පත්වුණා. මෙම ශ්‍රේණිගත කිරීම සමුද්‍රීය වෙළෙඳ ව්‍යාපාර ලෝකයේ කොළඹ වරාය ලද විශාල ජයග්‍රයණයක්.

මේ අනුව ආසියානු, අප්‍රිකානු හා මැදපෙරදිග වරායන් අභිබවා ගොස් තිබෙනවා.මේ වන විට කොළඹ වරායේ පර්යන්ත සියල්ල අන්තර් පර්යන්ත මෙහෙයුම් අවබෝධතා ගිවිසුවකට එළඹ කොළඹ වරායේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු පර්යන්ත අතර සාමූහික එකඟතාවයකින් සිදු කරනවා. මේ හේතුවෙන් මෙහෙයුම් කටයුතු පමාවකින් තොරව සිදු වන අතර එය ජාත්‍යන්තර නාවික වෙළෙඳාමේ විශ්වාසනීයත්වය රඳවා ගැනීමට හේතු වී තිබෙනවා.

කොළඹ වරාය ආශ්‍රිත ආයෝජන දිරි ගැන්වීමටත් ඒ සඳහා අවශ්‍ය සංවර්ධන උපාය මාර්ග හඳුන්වාදීමටත් ඉදිරියේ දී පියවර ගන්නා අතර ඒ තුළින් මෙරට ආර්ථිකයට දායක වෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

වරාය අමාත්‍යංශය බාරව ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයාගේ සිට මේ දක්වා කටයුතු කළ ඇමැතිවරුන්ගේ කැපවීම නිසයි වරාය අධිකාරිය මේ තරම් ප්‍රගතියක් ලබා ගත්තා. පසුගිය අවසන් වසර දෙකේ දි කටයුතු කළ අර්ජුන රණතුංග හා මහින්ද සමරසිංහ මහත්වරු හා මේ දක්වා කටයුතු කරන සභාපතිවරයා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා වරායේ දියුණුව සුවිසල් මෙහෙවරක් සිදුකර තිබෙන බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

එම කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යමින් කොළඹ වරාය පමණක් නොව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියලු වරායන් සංර්ධනය කර ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිතව සිදු කිරීමට හැකි සංවර්ධන ක්‍රියාදාමයන් ආරම්භ කිරීමටත් ආරම්භ කර ඇති කටයුතු තව දුරටත් සාර්ථකව සංවර්ධනය කිරීමටත් ඉදිරියේ දී වැඩපිළිවළක් සකසනවා . ඒ අනුව පුළුල් වෙළෙඳ සැළසුමක් සැකසීම කඩිනමින් සිදු කිරීමට නව ආණ්ඩුව පියවර ගන්නාව. මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ඇති අධිකාරියට අයත් සියලු වරායන් ලොව තරඟකාරීත්වයට එක් විය යුතුයි.

රටේ පොදු සංවර්ධනය සඳහා ඉදිරියේ දී විශාල කාර්ය භාරයක් සිදු කිරීමට අප සැම කැපවීමෙන් කටයුතු කිරීමට සිදු වෙන අතර මේ සියලු කටයුතු ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කිරීම ඉතා වැදගත්.

වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද එහි දී අදහස් දැක් වූ අතර නැව් සමාගම්වල නියෝජිතයන්, පර්යන්ත නිලධාරීන් හා වරාය සේවක මහත්ම මහත්මීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් ව සිටියහ.

ඡායාරූප - චමින්ද නිරෝෂණ

නව අදහස දක්වන්න