ඉස්සර දව­සක මතක අතර සතුට මෙන් ම දුක ද තිබිණ | දිනමිණ

ඉස්සර දව­සක මතක අතර සතුට මෙන් ම දුක ද තිබිණ

ඉස්සර දවසක යනු සෙනසුරාදා දින උදෑසන විකාශය වන රූපවාහිනී වැඩසටහනක් බව මා දැනගත්තේ කලකට පෙර දිනෙක එය නරඹන්නැයි බන්දුල නානායක්කාරවසම් මිත්‍රයා කළ ඉල්ලීමක් නිසාය. 'බුද්ධි අය්යා වෙලාවක් තිබුණොත් මේ සෙනසුරාදා උදේ සිරස බලන්න' සාමාන්‍යයෙන් මෑත කාලයේ රූපවාහිනිය නැරඹීමට කැමැත්තක් නොවූවත් බන්දුල රූපවාහිනියට විත් අපට කියන්නේ මොනවාදැයි දැනගැනීමට වූ කැමැත්ත නිසා ඔහු කී දිනයේ උදේ කාලයේ සිරස රූපවාහිනිය නැරැඹූවෙමි. සම්ප්‍රේශිකාවට බන්දුල හමුවන්නේ ඔහු කොළඹ සිට සිරස මැදිරියට එන අතරතුරය.

එළිමහන් දර්ශන පෙළක් අතර ඈ ඔහු හා ඔහුගේ ජීවිතයේ ළමා කාලය, අකුරු කළ පාසල, දෙමාපියන් , සහෝදර සහෝදරියන්, ගුරුවර ගුරුවරියන් පිළිබඳ විමසන්නීය. බන්දුලගේ බොහෝ පිළිතුරුවලට අදාළ තොරතුරු මා දන්නා මුත් ඒවා නැවතත් බන්දුලගේම මුවින් පැවසෙනු ආසාවෙන් බලා සිටියෙමි.

ඉන්පසු සම්ප්‍රේශිකාව හා බන්දුල මා දකින්නේ රූපවාහිනී මැදිරියක් තුළ දී ය. මඳ වේලාවකින් ඔවුන් දෙදෙනා අතරට අමුත්තෙක් පැමිණේ. රොහාන් ශාන්ත බුලේගොඩ දැකීමෙන් බන්දුල පුදුමයට පත්වේ. ඉන්පසු ආ ගිය කතා බහ ගීත රචනය, ගායනය පිළිබඳ ඔවුන්ගේ ඉස්සර දවස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වේ.

ඉස්සර දවස පිළිබඳ මේ අත්දැකීම පමණක් සතුව සිටි මහට නොවැම්බර මාසයේ දිනෙක සිරස නාලිකාවෙන් ඇමතුමක් ලැබේ. 'සර් මම සිරසෙ උමා, ආරාධනාවක් කරන්න කතා කළේ, අපේ ඉස්සර දවසක වැඩ සටහනකට අමුත්තා විදියට සර්ට එන්න කියන්න කතා කළේ.. ' උමා පැවසුවාය. බන්දුලගේ ඉස්සර දවස නරඹා සිටි බැවින් මා පෙරළා ඇගෙන් විමසූයේ කාගේ අමුත්තා ලෙසද මා සහභාගීවන්නේ කියාය. ' මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නෙ සුනිල් ආරියරත්න සර්, බුද්ධි සර්ට පුළුවන් නේ සුනිල් සර් ගැන කතාකරන්න, දෙන්නගෙ අතීත යාළුකම, කවි ලියපු කතාබහ..මේක සප්‍රයිස් එකක් විදියට තමයි සර්ව ප්‍රෝග්‍රෑම් එක මැද දි එකතු කරගන්නෙ. ෂූට් එක සුනිල් සර්ගේ බොල්ගොඩ ගෙදර, එහෙනම් දිනේ තියාගන්න, අපි උදෙන් ට්‍රාන්ස්පෝර්ට් එවනවා... ' කතිකා කොට ගිවිස ගත් පරිදි නොවැම්බර 16 වන දා උදේ කාලයේ අටට පමණ සුනිල්ගේ මඩපාත, කහපොල ආරණ්‍යවාසය කරා ගමන් ඇරඹූවේ මගේ විසාල මිතුරු සමාජයේ පළමු නම්ගම් තුන හතර අතරට අයත්ව සිටිනා, අඩසියවසකට ආසන්න කාලයක් තුළ මිතුරුදම් පවත්වන සොඳුරු මිනිසකු සමඟ හෝරා කිහිපයක් ගතකිරීමට ලබෙන ලැබෙන අවස්ථාව පිළිබඳ සිතමිනි.

බොරලැස්ගමුව පිළියන්දල අතරතුර ඇද හැලෙන්නට පටන්ගත් ධාරාණිපාත මහ වර්ෂාව මගේ සිහිනය බොඳ කරනු ඇතැයි සිතිණ. 'මේ වැස්සෙ නම් එළියෙ ෂූට් කරන්න බැරිවෙයි' මම රියදුරු මල්ලීට කීවෙමි. එහෙත් වාසනාවකට මෙන් සුනිල්ගේ ආරණ්‍යාවාසය පිහිටා තිබූ කහපොල අවට අහස අඳුරින් තොර පැහැදිලි එකක් වීය. රහසේම ආරණ්‍යවාසයේ දොරටුවෙන් ඇතුළුවන කල සුන්දර බොල්ගොඩ වැව් තීරයේ සිරස උමා සමඟ කතාබහ කරමින් සිටින සුනිල්ගේ රුව දිටිමි. උමාගේ රුව යාන්තමින් මතකයේ ඇඳුණු බව සිහිවිය.

සුනිල් සමඟ කතාබහට මා එක් කරගන්නේ කුමන අවස්ථාවක ද කතාබහ කරන්නේ මොනවාද කියා ඉඟියක්වත් නොදුන් උමා ගේ රහස් මෙහෙයුම අනුව මා ඔවුන් අතරට එක් විය යුතු මොහොත ආසන්න වී තිබිණ. 'ඔබතුමා විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙම 1971 දී විතර තවත් දෙන්නෙක් එක්ක කවි පොතක් කළා මතක ද දොළොස් මහේ පහන කියලා. ' උමාගේ ප්‍රශ්නයට සුනිල්ගේ පිළිතුර ආරම්භ වූවා පමණි. නිෂ්පාදක සන් කළ සැණින් මම සුනිල් ඉදිරියේ සිට ගත්තෙමි. ' ආ මේ ඉන්නෙ ඒ කවිපොතේ අයිතිකාරයෙක්, කොහේද හිටියෙ, සප්‍රයිස් එකක් එහෙනම්...' ' මම දන්නෙ නෑ උමා මට කිව්වා යාළුවෙක්ගෙ දිහා එන්න කියල, ඉතින් මම ආවා... ' දොළොස් මහේ පහන එළි දැල්වීම පිළිබඳ උමා යොමු කළ ප්‍රශ්නයට අදාළ අතීත මතකයට පිවිසෙන්නට සුනිල් මට ඇරැයුම් කරයි.' බුද්ධි නැත්නම් ඒ පොත කෙරෙන්නෙ නෑ, මම කවි ටික දුන්නා, සැරින් සැරේ කීය කීය හරි සල්ලි දුන්නා එච්චරයි. අනිත් සේරම වැඩ, ප්‍රෙස් එකට යන එන ඒවා, පෲෆ් බලන එක, කවරෙ අන්දගන්න සේකරගෙ ගෙදර ගිය එක වගේ දේවල් ඔක්කොම කළෙ මේ දෙන්නා, බුද්ධියි මනෝයි' ඔහු නතර කළ තැනින් මම අරඹමි.' ඔව්, එතකොට ඩොක්ටර් විමල් දිසානායකට කියල පොතට පෙරවදනක් ලියවගන්න විද්‍යලංකාරෙට ගිය ගමන, සුනිල්ට ඒ දවස්වල ෆයිනල් එක්සෑම් නිසා වෙලාවක් තිබුණෙ නෑ, අපිට උදව් කළේ අපි තුන් දෙනාගෙම මිත්‍රයා, අයිපීබී සෝමෙ. පොත් 1000ක් ගැහුවා, පොතක මිල රුපියලයි සත පණහයි.' පොත් ඔක්කොම විකිනුණා නේදැයි සුනිල් අසයි. 'ඔව්, එකකක්වත් නෑ. හදිස්සියට ඕන වෙලා මමත් ඉල්ල ගත්තෙ සුනිල් ළඟ තිබුණු පොත.. ' දොළොස් මහේ පහන මගේ ජීවිතයේ මගේ නමින් පළ වූ මුල්ම පොත වූවත්, සුනිල්ගේ හා මනෝගේ අත්දැකීම ඊට වෙනස්ය. සුනිල් බාල කාලයේම ලොකු අය්යා තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ අපි ඔක්කොම ලියූ බව මතක් කරයි. මනෝ ද කලින් වැහි එනතුරු නමින් කෙටිකතා පොතක් ලියූ බව අපි දෙදෙනාටම සිහිවේ. තරුණ කාලයේම මතක අතරින් ජීවිතයේ මෑත කාලයේ අප දෙදෙනාගේ අතීත මතක හාරා අවුස්සන්නට උමා උත්සාහ කරන්නීය.

සුනිල්, නන්දා, සිරිසුමන ගොඩගේ යුවළ, ගාමිණී සුමනසේකර, නාරද කරුණාතිලක, ධර්ම බුලත්සිංහල සමඟ මහාචාර්ය සෝමරත්න බාලසූරිය කණ්ඩායම 2012 දී ගල්ගමුවේ සියඹලාවැව ප්‍රාථමිකයට පොත්පත් පරිත්‍යාග කරන්නට ගිය ගමන පිළිබඳ මම මතක් කළෙමි. මගේ සුරතලා බට්ටි කෙල්ල යැයි නයි පැටියකු පිළිබඳ රචනාවක් ලියා තිබූ අහිගුණ්ඨික දැරියකගේ කතාව මම සුනිල්ට මතක් කළෙමි. එහෙත් ඔහුගේ අතීත මතකයක සංවේදී කතා පුවත ඔහු මතකයට ගෙන ආවේ මෙසේය. ' මට අමතක වෙන්නෙම නැති මතකය තමයි බුද්ධි අපේ අම්මගෙ මළ ගෙදර ආ සිද්ධිය. අපේ අම්ම නැතිවුණේ වයසට ගිහිං, ස්වාභාවික මරණයක් විදියට. ඒත් ගීතා හදිස්සියේ නොහිතපු වෙලාවක නොහිතපු විදියට නැතිවුණේ. ඉතිං එයාගෙ වයිෆ්ගෙ මරණෙ ගෙදර තියෙද්දි දෙසැම්බර් 25 වෙනි දා අපේ අම්මගෙ අවසන් කටයුතු කරපු දවසෙ බුද්ධි එනව අපේ ගෙදර. ඒක මට හොඳට මතකයි' ඒ කතාවට ඌණපූරණය එක් කරන තෙක් උමා බලා සිටී. 'මටත් සුනිල් මතක් කළ ඒ සිද්ධියම මතක් වුණා. ගීතා නැතිවෙච්ච 24 දා ඉඳලම මට කෑමක් කන්න ප්‍රියක් නැතුව හිටියෙ. ඒ සිද්ධිය දරාගන්න බැරි දුකක් ගෙනා නිසා. ඒත් දවස් ගාණක් නොකා නොබී ඉන්න මාව දැකල , ඔහොම ඉඳල අසනීප වෙයි කියලා මාව පැත්තකට ගෙනිහිල්ල මට බත් ටිකක් කවන්න උත්සාහ කළේ සුනිලුයි, ලූෂනුයි, ධර්මසිරියි. එදාම හවස තමයි මම සුනිල්ගෙ අම්මගෙ මළ ගෙදර ගියෙ.

25 දා ඒ වෙලාවෙ අපේ ගෙදරට සෙනඟ එන වෙලාව. මම කිව්වම මට සුනිල්ගෙ අම්මගෙ මළ ගෙදර යන්න ඕන කියලා හැමෝම කිව්වා සුනිල්ට තේරෙනව නේ මේ වෙලාවෙ යන්න එපා කියල. ඒත් මට මොහොතක් හරි සුනිල්ගේ අම්මව දැකල එන්න ඕනම වුණා. එයා මම කැමතිම චරිතයක්. හරියට අපේ අම්ම වගේ. ඉස්සර අපි සුනිල්ගෙ ගෙදර ගියාම නොවැරදීම තේ එකක් දීල සුනිල් නැත්නම් එයා එනකල් මාත් එක්ක අපේ අම්ම ගැනත් කතා කර කර ඉන්න පුරුදු වෙලා හිටියෙ. මම මගේ රියදුරා, ප්‍රේමදාස එක්ක ගෙදරින් යනකොට බණ්ඩාර ඇහැළියගොඩ මිත්‍රය කිව්වෙ, ඔන්න ඔය ගිහිල්ල එන්න අරින්න ඒ තමයි බුද්ධදාස ගලප්පත්ති කියල. මම සුනිල්ගෙ අම්මගෙ නිසල දේහයට ආචාර කරන්න ඇවිත් ඉන්නව දැකලා සුනිල් පුදුම වුණා. ආපහු ගෙදර එන්න හදන කොට සුනිල් මාත් එක්කම සුපර් මාර්කට් එකේ නවත්තල තිබුණු කාර් එක ළඟටම මාව එක්කගෙන ආව. මාව තනියෙන් ඒ ටික හරි එවන්න සුනිල්ට බයක් හිතෙන්න ඇති කියල පස්සෙ මට හිතුණා. අපි දෙන්නටම සංවේදීව දනුණු මතක අද දුකක් ගේනව කියල මට දැනෙනව' ඒක තමයි මිත්‍රකම, උමා අපේ කතාව ආපහු ඉස්සර දවසකට ගෙන යන්නීය.

අද දවසෙ සාහිත්‍ය කලාව, රසවින්දනය, පොතපත, පාසල් දරුවන්ගෙ, විශ්වවිද්‍යාලෙ ළමයින්ගෙ පොතපත කියවීම ඒ අයගෙ රසවින්දන මට්ටම ගැන සුනිල්ගෙ ඉස්සර දවස් ගැන සිහි කරයි.' තාත්ත පත්තරේ කියවල ඉවර වෙනකල් බලාගෙන හිටපු හැටි, තිලක් අය්ය නිසා කියවන්න පුරුදු වෙච්ච හැටි, ලියපු හැටි, නවගමුවෙ පත්තිනි දේවාලෙ එළි වෙනකල් නැටුම් බලල ඇවිත් ගෙදර හැමෝම එකතු වෙලා ආපහු නටන විදිය සුනිල්ගෙ මතක ගබඩාවෙන් එළියට ගත් දේ. සුනිල්, සාන්ත ජෝන් විද්‍යාලෙ පහළ පංතිවලදිම ඒ දවස්වල ප්‍රධාන ලේඛකයන්ගෙ ඔක්කොම පොත්, පරිවර්තන ආදිය කියවල ඉවරවෙලා තිබුණු හැටි පවසන අතරේ අද දරුවන්ට ඒ අවස්ථාව අහිමි කර දීමේ වගකීම පැවරෙන්නෙ පාසල් ළමයින්ගෙ කියවීම, රසවිඳීම ගැන කිසිම දැනුමක් නැති දේශපාලන පත්වීම් ලබල ඉන්න ජාතික අධ්‍යාපනායතනයෙ නිලධාරීන්ට බවත් සිහිපත් කරනු දිටිමි.

මෑත කාලයේ උසස් පෙළ සිංහල නිර්දේශයට නිර්මාණ තෝරාගැනීමෙදි ජාතික අධ්‍යාපන ආයතනයේ සමහර පාර්ශ්ව විශ්වවිද්‍යාලවල සමහර ආචාර්යවරුන්ගේ කීම් බස්වලට, පෞද්ගලික අමනාපකම්වලට නිර්මාණ කප්පාදු කළ හැටිත් මම මතක් කළෙමි. ඒවන් අවස්ථාවක සුනිල්ගෙ මැදිහත්වීම නිසා අද පාසල් ළමුන්ට යළි කොළඹ යුගයේ කවීන් බොහෝ දෙනාගේ නිර්මාණ රසවිඳීමට අවස්ථාව ලැබීමත්, අරීසෙන් අහුබුදු, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි කවීන්ගේ නිර්මාණ එකතුවීමේ වැදගත්කමත් සුනිල්ගේ ඉස්සර දවස්වල කළ කී දේට මම එකතු කළෙමි. එසේම අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශ ලේකම් සුනිල් නවරත්න ආදීන්ගේ මගපෙන්වීමෙන් කවිතාවෙ ජාතික අධ්‍යක්ෂ ලෙස මෙරට සරසවි ප්‍රජාවගේ නිර්මාණ කුසලතා සොයාගන්නට කවිතා කළ මෙහෙයත්, එහිම සාහිත්‍ය අංශයේ අධ්‍යක්ෂ ලෙස මා සුනිල් සමග එක්ව කටයුතු කළ අත්දැකීමත් ඉස්සර දවසක සොඳුරු මතක අතරින් එළියට ගන්නට සම්ප්‍රවේශිකා උමා අසෙනි සමත් වූ බවයි මට හැඟුණේ.

ඉස්සර දවසක සුනිල්ගෙ මතකාවර්ජන අතරට සුනිල් ආරියරත්න නම් සිනමාකරුවාගේ භූමිකාව විමසන්නටත් උමා අමතක නොකළාය. සරාගී කෙටි චිත්‍රපටය, අනූපමා වෘතාන්ත චිත්‍රපටයේ සිට යශෝදරා දක්වා සුනිල්ගේ සිනමා ගමන් මගෙහි අපූරු සිදුවීම් සුනිල්ගේ මතකයට නැගෙනු මම දුටුවෙමි. ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ බොහෝ සිදුවීම් ඉස්සර දවසක සිදු වූව ද අපි අසා නැත්තෙමු. සුනිල්ගේ ඉස්සර දවසක පිළිසඳර අතරතුර පවන ප්‍රසංගය,එහි මිහිරි අමිහිරි අත්දැකීම්, පවන ගීතාවලියේ බොහෝ ගීවලට මා තුළ ඇති කැමැත්ත ද ප්‍රකාශ විණි. එහෙත් උමාගේ මෙන්ම මගේ ද ඉස්සර දවසක් නැරැඹූ ප්‍රේක්ෂකයන්ගේ ද වික්ෂෝපයට හේතුවන්නට ඇත්තේ සුනිල් ආරියරත්න නම් වූ අපූර්ව ගේය පද රචකයා ඔහුගේ චිත්‍රපට ගීයකින් මිස අප හමුවට නො එන බව පැවසීමයි. ඉස්සර දවස අවසන, උමා මගෙන් විමසූයේ සුනිල් ආරියරත්න නම් සිනමාකරුවාගේ භූමිකාව මා කෙලෙස දකින්නේද කියායි. යශෝදරා චිත්‍රපටය පිළිබඳ මා පළ කළ ඇතැම් අදහස් එසේ නොකීවා නම් වඩාත් හොඳ යැයි අද මට සිතේ. සුනිල්ගේ සිනමාගමනයේ විශිෂ්ට ලකුණක් දැකීමේ අරමුණින් මා එසේ පවසන්නට ඇතැයි සිතුණ ද ඒ පිළිබඳ අද කම්පාවට පත් වෙමි. සිරිබෝ අය්යා හෝ පොඩි මල්ලියේ වැනි කෘතීන්ම අප ඔහුගෙන් බලාපොරොත්තු නොවිය යුත්තේ වර්තමාන තරගකාරී වාණිජ සිනමාව තුළ එවැනි නිර්මාණ සඳහා නිෂ්පාදකයන් සොයා ගැනීම අපහසු බව වටහා ගැනීමෙනි. ඉස්සර දවසක සොඳුරු මතකාවර්ජනය රූ ගත කිරීම නිම කොට සුනිල් ආරියරත්න නම් ශ්‍රාස්ත්‍රවන්ත මුනිවරයාගේ ආරණ්‍යවාසයෙන් නික්මුණේ ඔහුගේ අමුත්තා වූ බව ඉස්සර දවසක සිරස නාලිකාවෙන් විකාශය වන තෙක් රහසක් ලෙස රැකගැනීමේ අදහසින් යුතුවය. පසුගිය 15 වන ශනිදා පෙරවරුවේ රහස එළිවූයේ අපූරු, සුන්දර හෝරාවකුත් අඩක් පමණ කාලයක් රූපවාහිනී තිරය දෙස දිගු කලකට පසු නෙත් යොමා සිටීමෙන් අනතුරුවය. එහි සියලු පුණ්‍යානුමෝදනාව සිරස සම්ප්‍රවේශිකා උමා අසෙනිට පුදන්නෙමි.

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න