බෝට්ටු සාදයට කාන්තා ප්‍රශ්නයක් | දිනමිණ

බෝට්ටු සාදයට කාන්තා ප්‍රශ්නයක්

 මාර්තු මාසයේ මුල වන විට ඇබ්ස්කැම් රංගනයට එක්වන්නට යන අලුත්ම සාමාජිකයා වීමට සූදානමින් ‘ලෙෆ්ට් හෑන්ඩ්‘ නෞකාව ෆ්ලොරිඩාවේ ඩෙල්රේ වෙරළ තීරයේ ජැටියක නැංගුරම්ලා තිබුණි. එහි මුල් නම වූ ‘ග්‍රෑන්ඩ් හොටෙල්‘ යන්නට හැම අතින්ම සාධාරණ වන්නට තරු පහේ සුපිරි සුඛෝපභෝගී අවන්හලක සිරි ඉසිලූ එය වෙයින්බර්ග්ගේ නිම්හිම් නැති ආඩම්බරයේ උරුමය ද විය. ඊට පෙර වසරේ මියාමි නුවරින් සැතපුම් පනහක් ඔබ්බෙන් වූ මහා සයුරේ අතහැර දමා තිබියදී සොයාගැනීමත් සමඟ එය බියුරෝවේ අතට පත්ව තිබිණි. එහිදී නැවත් සමඟ සීරුවට මිටි බැඳ සඟවා තිබූ කංසා මිටි තුන්සියයක්ද බියුරෝවේ අත්අඩංගුවට පත්විය.

වෙයින්බර්ග්ගේ ෆ්ලොරීඩා නුවර වැඩ කටයුතු පිළිබඳ සොයා බැලීමේ වගකීම පැවරී සිටි එෆ්.බී.අයි. නිලධාරි ඇන්තනි ඇමරොසෝ ලෙෆ්ට් හෑන්ඩ් දුටු මනතින්ම නිතර නිතර එහි යෑම පුරුද්දක් කරගනිමින් ඒ හා බැඳුණේය. මෙයින් ගුඩ් ගැටලු දෙකකට මැදිවිය. එකක් ඇමරොසෝ නිතර නිතර ෆ්ලොරිඩාවේ ගැවසීම සෙස්සන්නට පැහැදිලි කර දෙන්නේ කෙසේද යන්නයි. අනෙක ඇමරොසෝට ඇබ්ස්කැම්හි මීට වඩා සැලකිය යුතු භූමිකාවක් ලබාදෙන්නේ කෙසේද යන්නයි. අනෙක් හැම අවස්ථාවකම මෙන් මෙහිදීද ගුඩ්ගේ පිහිටට ආවේ වෙයින්බර්ග්ගේ උපායේ දක්ෂ කපටි නුවණය.

“මම මෙහේ ෆ්ලෝරිඩාවල කරගෙන යන ‘බිස්නස්වල‘ (දෙබිඩි මෙහෙයුම්) ගනුදෙනුකාරයන්ට කියලා තියෙන්නේ මගේ බොස් යසීර් හබීබ් කියන අරාබිකාරයා කියලා. අපිට පුළුවන් යසීර්ට එමීර් කෙනෙක්ගේ තත්වයට ප්‍රමෝෂන් එකක් දෙන්න. ඊට පස්සේ අබ්දුල්ට කළා වගේ ෆ්ලොරිඩාවල එයාගේ ආයෝජන සමාගමක් පිහිටුවලා ඒකේ සභාපතිකම ඇමරොසෝට දෙමු. ගනුදෙනුකාරයන්ට කියන්න පුළුවනි යසීරුයි, අබ්දුලුයි ගජ යාළුවෝ වගේම බිස්නස් පාට්නර්ස්ලා කියලා. එතකොට දෙන්නටම පුළුවන් ඇට්ලන්ටාවල කැසිනෝ වැඩේත් එකටම කරගෙන යන්න. අපි නැව යසීර්ගේ ෆ්ලොරිඩාවල ඔෆිස් එක කියලා කියමු.“

වෙයින්බර්ග් එදා ගුඩ්ට ඇබ්ස්කැම් සඳහා හඳුන්වාදුන් එම අලුත් වෙනස අතිශයින්ම තීරණාත්මක වූවක් බව ඔප්පු වුයේ පසුකලෙකදීය. ඇබ්ස්කැම් වඩාත් පුළුල් වෙද්දී ඒ වෙත ඇදී ආ නොයෙක් මාදිලියේ ගනුදෙනුකරුවන් අතරින් අබ්දුල් එන්ටර්ප්‍රයිසස් හි හැකියාවන් ගැන අවිශ්වාසයෙන් පසු වූ අයගේ සැක දුරුකරන්න නොයෙක්විට ඉදිරිපත් කරන්නට සිදුවුණේ යසීර් හබීබ්වය. අබ්දුල් ලෙස වෙස්වලාගත් එෆ්.බී.අයි. නිලධාරියකු නැවත මහජන ප්‍රදර්ශනයට ගෙන එන්නට කොහෙත්ම පුළුවන්කමක් තිබුණේ නැත. එදා ප්ලාසා හෝටලයේ පැවති පුහුණුවේදී යන්තම් ජාමේ බේරා ගත් සිද්ධිය බඳු අනතුරකට යළි අතවනන්නට තරම් ගුඩ් මෝඩයකු නොවීය. හැරත් රොන් සැබ්ලොස්කි නිතරම ෆ්ලොරීඩාවේ සංචාරයේ යෙදුණු බැවින් ඇබ්ස්කැම් හා සම්බන්ධ ගනුදෙනුකරුවන් බොහෝ දෙනකු සමීපව ඇසුරු කළේය. ප්ලාසා හෝටලයේ පුහුණුවටද සහභාගි වූ නිසා ඔහු අබ්දුල්වද හොඳින්ම හැඳින්නේය. ඒ නිසා කාට බොරු කළත් රොන් සැබ්ලොස්කිට බොරු කරන්නට වෙයින්බර්ග්ට පවා හැකියාවක් නොතිබිණි. යසීර් කාගේත් පිහිටට පැමිණියේ එවිටය. අබ්දුල් වෙනුවට වෙනත් බියුරෝ නිලධාරියකු හඳුන්වා දෙන්නට බැරි වුණත් යසීර් ලෙස නවක බියුරෝ නිලධාරියකු කරළියට ගෙන ඒමට බාධාවක් තිබුණේ නැත.

අලුත්ම වැඩපිළිවෙළට ගුඩ්ගෙන් අනුමැතිය ලැබුණු සැණින් වෙයින්බර්ග් වැඩ පටන් ගත්තේය. ඇබ්ස්කැම්ට අලුතින්ම එක්වන සාමාජිකයා වන යසීර්ව හඳුන්වාදීමට වෙයින්බර්ග් පළමු ඇමතුම ගත්තේ එරිචෙට්ටිටය. යසීර් මෙන්ම යසීර්ගේ කාර්ය මණ්ඩල සභාපතිවරයා වූ ටෝනි ඩී විටෝවද (ඇමරොසෝ) මුරුංගා අත්තේ තැබීමට වෙයින්බර්ග් මෙය අවස්ථාවක් කර ගත්තේය.

“යසීර් කියන්නේ සල්ලි ගහක්. අලුතින්ම පත්වෙච්ච එයාගේ සභාපතිත් නියම වැඩකාරයෙක්. මං වගේමයි. පුළුවන් තැනින් කිසිම ලෝභකමක් නැතුව උපරිමය ගහගන්නවා. මෙච්චර කල් සල්ලි පරක්කු වුණේ අර නොසණ්ඩාලයා මැකාති හින්දනේ. ටෝනි ඒ ඔක්කොම එයාගේ අතට ගත්තම මෙච්චර කල් හිරවෙලා තිබිච්ච සල්ලි ඔක්කොම වක්කඩ කැඩුවා වගේ ගලාගෙන ඒවි. “

ඇබ්ස්කැම් වෙත යසීර් හබීබ් හඳුන්වාදීමේ කටයුතු සාර්ථකව නිමාවීමෙන් පසුත් ඒ හේතුවෙන් අබ්දුල් කාණ්ඩය අතර ඇති වූ උද්‍යෝගය මැකී ගියේ නැත. සෑහෙන කලක සිට සිතේ පැලපදියම්ව තිබූ තවත් යෝජනාවක් ගුඩ්ට ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට වෙයින්බර්ග් සිතුවේ එනිසාය.

“ගුඩ්, දැන් නගරාධිපතියා ගාණට ට්‍රැක් එකට වැටිලයි ඉන්නේ. මැක්ඩොනල්ඩ්ව අපේ කකුල් ගාවටම ගෙනත් දෙන්න නම් මිනිහට පොඩි තල්ලුවක් දෙන්න විතරයි තියෙන්නේ. කට්ටියගේම මුඩ් හරිගිහිල්ලා තියෙන වෙලේ ඇයි අපි ඒක නොදෙන්නේ? අපි අර අලුත්ම නැවේ හොඳ පාටියක් දාලා යසීර්වත් කට්ටියට හඳුන්වලා දෙමු. යසීර්ගේ කැරැක්ටර් එකට බියුරෝ එකෙන් අලුත් නිලධාරියෙක්ව ගන්න අපිට පුළුවන්. නගරාධිපතිටයි, ෆෙයින්බර්ග්ටයි, තව සෙනේටර් විලියම්ස්ටත් අපි පාටියට ආරාධනා කරමු. පාටිය දාන්නේ යසීර්ගේ සන්තෝසෙට කියලා කියමු. ඕන්නම් ඇබ්ස්කැම් දැලේ පැටලිලා ඉන්න ඔක්කොම ගනුදෙනුකාරයන්ට ඒකට එන්න කියන්න අපිට පුළුවන්. වැඩේ මරුවට තියේවි........ අපි කවදාවත් මෙහෙම වැඩක් කළෙත් නැති එකේ දැන් තමයි හොඳම වෙලාව. නැවත් වැඩේට නියමෙට ගැලපෙනවා.“

අනික් හැමදේකදීම මෙන්ම මෙහිදීත් මුදල් අඟහිඟකම හරහට හිටියේය. වෙයින්බර්ග්ගේ හිත නොතැලෙන විදිහට, ගුඩ් මුදල් අඟහිඟකම තර්කානුකූලව පැහැදිලි කළේය.

“මෙල්, ඔයාගේ අදහස නම් නියමයි, මාත් ඒක පිළිගන්නවා. ඒත් කරුමෙට වගේ අපේ අතේ ඒ තරම් සල්ලියක් ඉතුරුවෙලා නැහැ. මේ මාසේ ඉතුරු ටික ගෙනියන්න බජට් එකේ තියෙන්නේ ඩොලර් හත්සිය පනහයි.“

වෙයින්බර්ග් ඉන් අධෛර්ය වුයේ නැත. මේ වගේ වැඩවලදී සල්ලි සොයාගන්නට මෙල් වෙයින්බර්ග් තරම් කෙරුම්කාරයෙක් තවත් නැත.

“ හැමදාමත් නල්ලං වෙලා තිබ්බ ඔයාගේ මළ ඉලව් බජට් එක අල්ලලා දාල සල්ලි හොයන වැඩේ මට භාරදෙන්න. පාටියට එන අය ලව්වාම වියදම කපාගන්න මට පුළුවන්. ඔයා ඒ ගැන වද වෙන්න එපා.“

සාදය පැවැත්වීමට වොෂින්ටන් මූලස්ථානයෙන් අවසර ගතයුතු බව තදින්ම කියාසිටි ගුඩ්, ඒ අතරවාරයේ සාදයට ආරාධනා ලබන්නන්ගේ ලැයිස්තුවක් පිළියෙළ කර ආරාධනා කිරීමට පටන් ගන්නා ලෙස වෙයින්බර්ග්ට උපදෙස් දුන්නේය. එෆ්.බී.අයි. ඉතිහාසයේ එතෙක් නොවූ විරූ අභව්‍යම සිදුවීම් පෙළකින් එකක් ලෙස නා නා ප්‍රකාරයේ අපරාධකරුවන්, හොරුන්, වංචනිකයින්, මුදල් යටිමඩි ගසන්නන්, හොර මත්ද්‍රව්‍ය වෙළෙන්ඳන්, වෘත්තීය මට්ටමේ සූදු අන්තුවන් පිරිවරා ගනිමින්, නිව් ජර්සි නුවර නගරාධිපතිවරයෙක් හා ඇමරිකානු සෙනේට්වරයෙක් එක්ව සව්දිය පිරූ, සුපිරි නෞකා අංගණ සාදයක් එෆ්.බී.අයි. ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට මුල පිරුණේ එලෙසය.

වෙයින්බර්ග් එක් රැයකින් ඔහුගේ වංචනික සගයින් පිරිස අතර රජු ලෙස කිරුළු පැලඳුවේය. දුරකතන වයරයත් පිළීස්සී යන තරමට සතර දිග්භාගයේම වංචනික හිතමිතුරන්ට ඇරයුම් නිකුත් කළ වෙයින්බර්ග්ගේ ලැයිස්තුවෙන් හැලීයන්නට තරම් අවාසනාවන්ත වූ තක්කඩි මැරවරයන් සිටියේ අතළොස්සකි. ඇරයුම් ලැබූ බහුතරයක් සාදයට එන්නට පොරොන්දු දුන්හ. සියලුදෙනාටම දැන ගැනීමට අවශ්‍යය වූයේ නෞකා සාදයට සහභාගී වන්නට නම් ෆ්ලොරීඩා බලා එන ගුවන් ටිකට්පත් සඳහා අනුග්‍රහ දක්වන්නේ කවුරුන්ද යන්නයි. හැරෙන තැපෑලෙන් වෙයින්බර්ග් ඇමතුවේ ගුඩ්වය. වෙයින්බර්ග්ගේ නාස්තිකාර ශෝභන වැඩවලදී කවදත් අතේ සතේ නැති එෆ්.බී.අයි. අධීක්ෂණ නිලධාරි ජෝන් ගුඩ් මෙවරත් සිය හිස් දෑත්වල පිටිඅල්ල පෑවේ තම අසරණකම කියාපෑමටය. නමුත් ගුඩ්ගේ අසරණකමින් වෙයින්බර්ග් සැලුණේ නැත. හේ යළිත් සිය ආරාධිතයින් ඇමතුවේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නට බැරිවන අන්දමේ ආකර්ශනීය හේතු දැක්වීමකින් සන්නද්ධවය.

“ප්ලේන් ටිකට් එක නම් ඔයාලගේ වියදමින් පිරිමහ ගන්න වෙයි. මේ වගේ චාන්ස් එකක් ආයේ ඔයාලට මේ ආත්මේදි ලැබෙන්නේ නැහැ. වියදම් කරන ගාණ වගේද මේකෙන් ඔයාලට ලැබෙන ලාභේ. යසීර් හබීබ් පවා මේකට එනවා. එයා මේ පාටි එක වෙලේම ඔයාලගේ ගොඩක් ගනුදෙනු එකලාසයක් කරලා දාන්න ලෑස්තිවෙන කතාවකුත් මට අහන්න ලැබුණා. එහෙව් එකේ ටිකට් එකට වියදම් කරන්න වෙන සොච්චම මොකද්ද ?“

වෙයින්බර්ග්ගේ මනමෝහනීය තර්ක දැක්වීම හමුවේ පසුබා යන්නට සමතකු සිටියේ නැති නිසාම සාදය මහා පරිමාණයෙන් සූදානම් කිරීමට සිදුවන බව හේ ගුඩ්ට දන්වා සිටියේය. සාදයේ උත්කර්ෂවත් බව වැඩි කිරීමට මුදලට සේවය සපයන රූමතියන් කිහිපදෙනෙකුත් එක්කර ගැනීමට වෙයින්බර්ග්ට වුවමනාව තිබුණද නීතියට වැඩකරන ගුඩ්ගේ මැදිහත්වීම නිසා එය වැළකී ගියේය.

“කොහෙත්ම බැහැ මෙල්. පාටි එකට ඒ වගේ ගෑනු ගේනවා තියා එහෙම පාටි එකක් පවත්වනවද කියලත් තේරුම් බේරුම් කරගන්න බැරුවයි බියුරෝ එක මේ දවස්වල ඔළු හප්පගන්නේ. එහෙව් එකේ ඔයා කියනවා පාටි එකට ගෑනු ගේන්න දෙන්න කියලා. ඒක කොහොමටත් නීතියටත් විරුද්ධයි. බියුරෝ එක කොහොමටත් නීතියට පිටින් යන වැඩ අනුමත කරන්නේ නැහැ. “

ගුඩ් එලෙස පැවසුවේ කතාව එතැනින් අවසන් බව අඟවන ස්වරයකින් වුවද එය වෙයින්බර්ග්ගේ හිතට නම් ඇල්ලුවේ නැත.

“ගෑනු නැති පාටිය මොකක්ද ? “ වෙයින්බර්ග් කන්කෙඳිරි ගාන්නට ගත්තේ සිය අඳෝනාව අසා සිටින්නට තරම් ඉවසීමක් තියෙන කාගෙනුත් එලෙස අසමිනි.

ඊට පසුව කාටත් තිබූ ගැටලුව සාදය පවත්වන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්නයි. අවසානයේදී තීරණය කෙරුණේ නගරාධිපති එරිචෙට්ටිගේ මිත්‍ර සමාගමය අගය කරන්නටත් ඔහුට කරන ගරුකිරීමක් වශයෙනුත් යසීර් හබීබ් එය සංවිධානය කරන බව ප්‍රචාරයකර හැරීමටය. එරිචෙට්ටිට පිරිනැමිය යුත්තේ කුමන ආකාරයේ තෑග්ගක්ද යන්න ඊළඟ ගැටලුව විය. ඇමරිකානු සම්ප්‍රදායට අනුව නම් තෑග්ගකට දෙන්නට හොඳම දේ වන්නේ රත්රන් අත් ඔරලෝසුවක් බව ඒකමතිකව තීරණය කෙරුණි. නමුත් ඊටත් හරහට සිටියේ මුදල්ය. ‍වෙළෙඳපොළේ රත්රන් ඔරලෝසුවල මිල සසඳා බැලූ කාටත් දෙලෝ රත්වුණේ අඩුම ඔරලෝසුවක මිලත්, ඇබ්ස්කැම්හි එම මාසයේ වියදම් වෙනුවෙන් ඉතිරිව තිබූ මුදලටත් වඩා වැඩිවූ නිසාය. සිය අසරණකමත්, විකල්පයක් නැති බවත් දක්වන්නට ගුඩ් කළේ සුපුරුදු පරිදි හිස්දෑතේ පිටි අල්ල පෑමය. ගුඩ් පමණක් නොව එරිචෙට්ටිවත් පුදුමයෙන් පුදුමයට පත්කළ, වෙයින්බර්ග්ගේ සූරවීර කපටි ඥානයට පමණක් පහළ වන අපූරු අදහසක් මෙවේලෙත් කාගේත් ගැලවුමට ආවේය.

ඊළඟ දවසේ වෙයින්බර්ග් අබ්දුල්ගේ ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලයට ආවේ මළ කෑ, හද්දා පරණ, කිණිස්සක්ද රැගෙනය.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - ‍නගරාධිපතිගේ සිත්ගත් කිණිස්ස


නව අදහස දක්වන්න