ද. ආසියා පිහිනුම් ශූරතාවලියට බැංගලෝර් යන්න ක්‍රීඩකයකුගෙන් රු. 45000ක් ඉල්ලා අර්බුදයක් | දිනමිණ

ද. ආසියා පිහිනුම් ශූරතාවලියට බැංගලෝර් යන්න ක්‍රීඩකයකුගෙන් රු. 45000ක් ඉල්ලා අර්බුදයක්

"දරුවන් යවන්නේ රට නියෝජනයටයි: මවු පියන්ගෙන් මැසිවිලි"

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියා පිහිනුම් ශූරතාවලියට සහභාගීවන එක් අයෙකුගෙන් රුපියල් 45000ක මුදලක් ජල ක්‍රීඩා අතුරු කමිටුව ඉල්ලා සිටීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් විශාල අසීරුතාවට පත්ව ඇතැයි මවු පියන් පවසති. මේ මස 22වැනිදා සිට 28වැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර්හී පැවැත්වෙන දකුණු ආසියා පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111ක් සහභාගීවීමට නියමිත අතර මුදල් ඉල්ලා ඇත්තේ කොළඹ - බැංගලෝර් හා බැංගලෝර් - කොළඹ ගුවන් ප්‍රවේශ පත්‍රයට බව ඔවුහූ පවසති. ශූරතාවලියට එක්වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදුම් හිටුම් හා ආහාර පාන සත්කාරක ඉන්දියාව මුදල් අය කිරීමකින් තොරව ලබාදීමට සූදානමින් සිටී.

රට නියෝජනය කරමින් ජාත්‍යන්තර පිහිනුම් ශූරතාවලියකට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙලෙස මුදල් අයකර ගැනීම අසාධාරණ බව මව් පියන් කිහිප දෙනකු ජල ක්‍රීඩා අතුරු කමිටුවට පවසා සිටියද, අතුරු කමිටුවේ මුදල් නොමැති හෙයින් වෙනත් විකල්පයක් නොමැති බව ජල ක්‍රීඩා අතුරු කමිටුව පවසා ඇතැයි දැන ගන්නට තිබේ. මේ සංචාරයට ජල ක්‍රීඩා අතුරු කමිටු කාර්යාලයේ සේවකයන් දෙදෙනකු පුහුණුකරුවන් ලෙස එක්වන බව ද වාර්තා වේ.

බැංගලෝර් බලා පිටත්වන දකුණු ආසියා පිහිනුම් ශූරතාවලියට පිහිනුම් ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 50ක්, වෝටර් පෝලෝ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක්, දිය පිමි තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25ක්, මීටර් 5 හා මීටර් 10 විවෘත පිහිනුම් තරග සඳහා ක්‍රීඩකයන් 13ක් ක්‍රීඩිකාවෝ 13ක් තෝරා ගෙන ඇත.

අවසන් වරට දකුණු ආසියා පිහිනුම් ශූරතාවලිය කොළඹදී පැවැති අතර එහිදී රන් පදක්කම් 121ක්, රිදී පදක්කම් 77ක් හා ලෝකඩ පදක්කම් 18ක් සමගින් මුළු පදක්කම් 216ක් ලබා ගනිමින් තරගාවලියේ ශූරතාව ඉන්දියාව සතුකර ගත්තේය. සත්කාරක ශ්‍රී ලංකාව රන් පදක්කම් 28ක්, රිදී පදක්කම් 66ක් හා ලෝකඩ 95ක් වශයෙන් මුළු පදක්කම් 189ක් දිනා අනු ශූරතාවට හිමිකම් කීය.

එම ජල ක්‍රීඩා ශූරතාවලියේ දී විධායක කමිටු සභිකයන්ගේ අනුමැතියකින් තොරව විවිධ ගෙවීම් සිදුකිරීම හා ඒ පිළිබඳ ගිණුම් වාර්තා ලබා නොදීම වැනි කරුණු මුල්කරගෙන ජල ක්‍රීඩා සංගමයේ විධායක කමිටුව අතර විශාල මතභේදයක් ද හට ගත්තේය.

දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේදී වැයකළ රුපියල් ලක්ෂ 120ක් විධායක සභාවේ අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ද, එම ශූරතාවලියේ අය - වැය වෙනුවෙන් ආරම්භ කළ නව බැංකු ගිණුමට ජල ක්‍රීඩා භාණ්ඩාගාරිකවරයා සම්බන්ධ නොකිරීම ආදී චෝදනා ලිඛිතවම ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත්ව තිබුණි.

මේ සිද්ධියත් සමග එවිට ජල ක්‍රීඩා පරිපාලනය භාරව සිටි සභාපතිවරයා හා ලේකම්වරයා තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළහ. එතැන් සිට ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිලධාරීන් පරිපාලනය ගෙන ගිය අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් අතුරු කමිටුවක් පත් කරන ලදී.

 ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න