රටට වැඩ ඇති දූ පුතුන් බිහි කරන අනුරපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය | දිනමිණ

රටට වැඩ ඇති දූ පුතුන් බිහි කරන අනුරපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය

ශ්‍රී ලංකාවේ වෘත්තීය තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතාවලින් පිරිපුන් තාක්ෂණවේදීන්ගේ විශාල අඩුවක් ඇති බව පෙනී ගිය හෙයින් එම අඩුව පිරවීමට 2014 වසරේ දී අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කරන ලදී. මේ ආයතනය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය යටතේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගත් සිසුන්ට තම කුසලතා වැඩි දියුණු කරගැනීමට මේ විද්‍යායතනය මහත් පිටිවහලක් වී ඇත. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූව ද ඒවායේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ඇතුළුවීමට නොහැකිව සිටින සිසු සිසුවියන්ට ඔවුන්ගේ සහජ දක්ෂතා වැඩිදියුණු කරගෙන ඵලදායී පුරවැසියකු වීමට අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය මඟ පෙන්වයි.

ජලජීවී හා ජලජ සම්පත් කළමනාකරණය, පසු අස්වනු තාක්ෂණය, ප්‍රමාණ සමීක්ෂණය, ගොඩනැඟිලි සේවා තාක්ෂණය, ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය, ඉලෙක්ට්‍රිකල් තාක්ෂණය, ආගන්තුක සත්කාර කළමනාකරණය, සංචාරක සහ සංචරණ කළමනාකරණය ආදී පාඨමාලා ඉතා සාර්ථක අයුරින් රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීම මෙහි විශේෂත්වයකි. මේ පාඨමාලා පවත්වනු ලබන්නේ තෘතීය අධ්‍යාපන කොමිසන් සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේය. ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ක්ෂේත්‍ර චාරිකා, ව්‍යාපෘති පැවරුම් සහ රැකියානුගත පුහුණුව මේ පාඨමාලාවල අන්තර්ගතව ඇත. සාර්ථකව පාඨමාලාව අවසන් කළ සිසු සිසුවියන්ට උසස් ජාතික ඩිප්ලෝමා සහතික පත්‍ර (NVQ 6) ප්‍රදානය කරනු ලබයි.

ඉහත සඳහන් ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රමාණවත් මූලික දැනුමින් වසර දෙකහමාරක් අවසානයේ රොබෝ තාක්ෂණ තරග සඳහා ද රාජ්‍ය විශ්වවිද්‍යාල සමඟ කරට කර තරග කොට ජයග්‍රහණ අත් කරගැනීමට මේ විශ්වවිද්‍යාල විද්‍යායතනය සමත්ව සිටීම ද විශේෂත්වයකි. මේ අතර ඉහත පාඨමාලාවලින් නව නිපැයුම්කරුවන් ද බිහි කිරීමට හැකි වී ඇත. මෙහි පර්යේෂණ කටයුතුවල නියැළෙන ආචාර්ය මණ්ඩලය සහ සිසුන් ඔවුන්ගේ සොයා ගැනීම් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණවලට ඉදිරිපත් කර ඇගයීමට ද ලක්ව තිබේ. දැනටමත් පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවාවල නියුතු අතර ඇතැම් සිසුන් ව්‍යවසායකයන් ලෙස ද නිරතව සිටී. මෙය විද්‍යායතනයේ කථිකාචාර්යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකිය.

2015 වසරේ දී මේ විද්‍යායතනයට ප්‍රථම වරට බඳවා ගත් සිසු සිසුවියන්ට උසස් ජාතික ඩිප්ලෝමා (NVQ 6) සහතික පත්‍ර ප්‍රදානය හෙට (03) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උසස් අයුරින් සිදු කිරීමට කටයුතු සංවිධාන කර ඇතැයි අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක සුජීව ජයවර්ධන මහතා පැවැසීය.

සටහන සහ ඡායාරූප අනුරාධපුර නැ‍ඟෙනහිර සමූහ - සේනපුර ඩී. නිශ්ශංක

 

නව අදහස දක්වන්න