ජනතාවගේ දුගී බව තුරන් කිරීමට සැලසුම් සකස් කරන්න | දිනමිණ

ජනතාවගේ දුගී බව තුරන් කිරීමට සැලසුම් සකස් කරන්න

  • ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලු බලවේගයන් මර්දනය පිළිබඳ ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ඊයේ (1) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති, පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ 2018 වසරේ ප්‍රගතිය සහ 2019 වසරේ සැලසුම් පිළිබඳ මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි. වසර ගණනාවක් පුරා සංවර්ධනය අතපසු වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වසරේ රුපියල් මිලියන 9615 ක මුදලක් වැය කර තිබෙන බවත්, එහි මූල්‍ය ප්‍රගතිය සියයට සියයක් බවත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

දිළිඳුකම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහි දී විමසා බැලුණු අතර, රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලබාදීම පිළිබඳ ද අවධානය යොමු විය. නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම්, කසළ කළමනාකරණ වැඩසටහන් ඇතුළු පොළොන්නරුව නගර සංවර්ධන කටයුතු පිළිබඳ ද සාකච්ඡාවට බඳුන් විය.

පවතින කාලගුණික තත්ත්වය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නව පිබිඳීමක් ඇති වී තිබෙන අතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන්, පිබිදෙමු පොළොන්නරුව, වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

රැක් රෝපණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ද සාකච්ඡාවට ලක් වූ අතර පළාත් අධ්‍යාපන කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව පාසල් දරුවන් වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

පොළොන්නරුව පොත්ගුල් වෙහෙර අභියස වෙළෙඳාමේ නියුතු වෙළඳුන් 8 දෙනකු වෙනුවෙන් වෙළෙඳ කුටි ලබාදීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 වසරට අදාළ නව සංවර්ධන යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) පෙරවරුවේ පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේ දී පැවැත්විණි. දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා කැඳවා තිබිණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරුණු අතර නව

සංවර්ධන යෝජනා ජනවාරි 10 වනදාට පෙර පොළොන්නරුව තම කාර්යාලයට භාර දෙන ලෙස ජනාධිපතිතුමා සියලු පළාත් පාලන නියෝජිතයන්ට උපදෙස් දුන්නේ ය. එම ව්‍යාපෘති අතරින් ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු ව්‍යාපෘති කවරේ ද යන්න සාකච්ඡා කොට ඒවා කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව ද

ජනාධිපතිතුමා කියා සිටියේය. ජනතාවට අත්‍යාවශ්‍ය වූ එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම වෙනුවෙන්

පක්ෂ පාට භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

නව අදහස දක්වන්න