අද දේශපාලනඥයන් ප්‍රාථමික ගැටලු මිස දැවෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ නෑ : ඇමැති රවී කරුණානායක | දිනමිණ

අද දේශපාලනඥයන් ප්‍රාථමික ගැටලු මිස දැවෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ නෑ : ඇමැති රවී කරුණානායක

අද දේශපාලනඥයන් පාලම්, පාරවල් වැනි ප්‍රාථමික ගැටලු මිස ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන කතා නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ 13, ලුණුපොකුණ, 17 වන පටුමඟ, ගල්වල ක්‍රීඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පාසල් දරු දැරියන් 1000කට පමණ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

ජනතා ගැටලු ගැන කතා කරන, වැඩ කරන දේශපාලනඥයන් අද සමාජයේ බිහි විය යුතුයි. 2018 වර්ෂය අපි පසු කළේ ඉතාමත් අඳුරු යුගයක්. ඔක්තෝබර් මස 26 වැනි දා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල කළු පැල්ලමක් ඇති වු බව ඔබට මතක ඇති. එදා අපි නින්දට යන අවස්ථාවේ තිබු ආණ්ඩුව නොවෙයි නැවත අවදි වන විට පැවතුණේ. නමුත් ජනතා ශක්තියෙන්, ව්‍යවස්ථානුකූලව ස්වාධීන අධිකරණ තීන්දුවක් රැගෙන ව්‍යාජ ආණ්ඩුව ගෙදර යවා, නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවන්න අපට හැකි වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු දින 51ක දී නාස්ති වු මුදල් ගැන කවුද වගකියන්නේ. මෙය ගණනය කරන්න පුළුවන් පාඩුවක් නොවෙයි. ඒ බර අදින්න වෙන්නේ මේ අහිංසක ජනතාවට. ඩොලරයේ මිල එදා රුපියල් 169කට පැවතුණා. මේ වෙද්දී රුපියල් 184ක් බවට පත් වෙලා. මේ සියල්ලම අස්ථාවරත්වය නිසා සිදු වූ දේවල්. දැන් නැවත අපි ආණ්ඩුවක් වශයෙන් ස්ථාවර නිසා ගැටලු සියල්ල පසෙකට දා ඔබ සියලු දෙනාට උපරිම සහන දෙන්න පුළුවන් ආකාරයෙන් වැඩ කරනවා. නව වසරේ අපි සියලු භේද ඉවත දමා එකමුතු වෙමු. අද දේශපාලනඥයන් ජාතික ප්‍රශ්න ගැන කතා නොකර ප්‍රාථමික ගැටලු ගැන කතා කරනවා. ජාතික මට්ටමේ දේශපාලනඥයන් තමන්ගේ පාර, පාලම ගැන කතා කරනවා මිසක් හෙට දින රට භාර ගන්න ඉන්න අපේ දරුවන් ගැන, අධ්‍යාපනය ගැන, රැකියා ගැන, ජනතාවගේ දැවෙන යටිතල පහසුකම් ගැන කතා කරන්නේ නෑ. අද විදුලිය තිබුණාට තවත් වසර 2ක් 3ක් යද්දී ඒ ක්ෂේත්‍රයේ ඇති විය හැකි අඩුපාඩු ගැන කතා කරන්නේ නෑ. වැඩ කරන දේශපාලනඥයන්ටත් අද වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඊර්ෂ්‍යාවෙන් පෙළෙන සමාජයක් බවට අද සමාජය පරිවර්තනය වෙලා. බලය තියෙද්දී එක් විදියක්. බලය නැතිදාට තවත් විදියක්.

අධ්‍යාපනයේ වටිනාකම දන්න සියලු දෙනාම දරුවන් වෙනුවෙන් ආයෝජනය කරනවා. එදා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා ආරම්භ කළ නිදහස් අධ්‍යාපනය ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි ආදී අපේ අතීත දේශපාලනඥයන් රටේ අභිවෘද්ධියට අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි කියලා දැනගෙන කළ ආයෝජන තමයි අදත් මේ ඉදිරියට ගෙන යන්නේ. අපිට නිකන් ලැබෙන දේ වටින්නේ නෑ. ඒ නිසා නිදහස් අධ්‍යාපනයටත් අද වටිනාකමක් නැති වෙලා. නමුත් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගෙන අපි කටයුතු කළ යුතුයි. ලෝකය අද වාණිජකරණයට පත් වෙලා. හැම දෙයක්ම මුදලට යට වෙලා. නමුත් කවදාවත් කාටවත් ගන්න බැරි, නැති කරන්න බැරි එකම දේ තමයි අධ්‍යාපනය. ඒ නිසා අපි අපේ දරුවන්ට ඒ දේ අවබෝධ කර දී, ඔවුන්ට හැකි පමණින් අතහිත දී කැප වී දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවිය යුතුයි.

චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න