ජනමතය පහුරුගාන අන්තවාදය | දිනමිණ

ජනමතය පහුරුගාන අන්තවාදය

ශ්‍රී ලංකාව බහුජාතික රටකි. මෙහි වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන ජන කොටස් බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම් අදහති. මේ අතරින් අති බහුතරය සිංහල බෞද්ධයන්ය. එය සියයට හැත්තෑ දෙකක පමණ අගයක් ගන්නා නිසාම බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම බව සඳහන් වගන්තියක් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබේ. මෙම වගන්තිය ආරක්ෂා කිරීම සඳහා බලයට පත්වන රජයන් නිසි අයුරින් කටයුතු නොකළ බවට චෝදනා කරමින් බෞද්ධාගමට පමණක් නොව මෙරට සිංහල බෞද්ධ ජනතාවටද අසාධාරණයක් සිදුව තිබෙන බව කියමින් සිංහල බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ සංවිධාන කාලයක් තිස්සේ රට තුළ බිහිවිය. මේවා බොහොමයකට නායකත්වය දෙනු ලැබුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. එක් පැත්තකින් මේ ආකාරයට සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන බිහිවෙද්දී සෙසු ජාතීන්ද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ නම්වලින් සංවිධාන පිහිටුවා ගන්නා ස්වරූපයක් රට තුළ දක්නට ලැබිණි.

මෙම සංවිධානවල බෝඩ් ලෑල්ලේ තම ජාතියේ හා ආගමේ පැවැත්ම හා ආරක්ෂාව ලෙස දක්වා තිබුණත් ඒවාහි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඊට හාත්පසින්ම වෙනස් ආකාරයක් ගන්නා බව ඔවුන්ගේ කියුම් කෙරුම් තුළින් පැහැදිලිව අවබෝධ කරගත හැකිය. මේවා බොහොමයක ඇත්තේ දේශපාලන වුවමනාවන්ය. රට, ජාතිය හා ආගම ගැන කතා කරන සහ ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගොඩනැඟුණූ සංවිධානවල බොහෝ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ ඉතා සූක්ෂ්ම ආකාරයටය. තමන් කැමැති දේශපාලන චරිතය ඉස්මතු කරලීම පිණිසත් අකමැති දේශපාලන චරිත වළපල්ලට ඇද දැමීම සඳහාත් මෙම ජාති හා ආගම්වාදී සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට පසුගිය කාලය තුළ රටේ ඇතිවූ දේශපාලන අර්බුදකාරී වාතාරණය හොඳටම ප්‍රමාණවත්ය.

අන්තවාදී කණ්ඩායම්

සිංහල බෞද්ධ අති බහුතරයක් වෙසෙන ප්‍රදේශවල සිංහල බෞද්ධ කණ්ඩායම්වලට තරම් පහසුවෙන් සෙසු ජාතීන්වලට අයත් කණ්ඩායම්වලට ක්‍රියාත්මක වීමේ පසුබිමක් නොමැත. උතුරේ අති බහුතරය දෙමළ බැවින් එම පිරිසරය තුළ වඩාත් ක්‍රියාකාරීව හැසිරෙන්නට දෙමළ කණ්ඩායම්වලට අවකාශ ති‍බේ. කාත්තන්කුඩි වැනි ප්‍රදේශවලදී මෙම වාසිය ලැබෙන්නේ මුස්ලිම් කණ්ඩායම්වලටය. මේ ආකාරයෙන් බැලීමේදී අප කොතරම් සාමය හා සංහිඳියාව ගැන කතා කළත් අන්තවාදී කණ්ඩායම් තාමත් රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. අන්තවාදය පතුරුවන්නන් සිංහල ද, දෙමළ ද නැතහොත් මුස්ලිම් ද යන්න වැදගත් නොවන අතර වඩා වැදගත් වන්නේ මෙම අන්තවාදය පරාජය කිරීම සඳහා කටයුතු කිරීමය.

තෙල්දෙණිය ප්‍රදේශයේදී මුස්ලිම් ජාතික තරුණයින් සිවු දෙනකු බීමතින් කළ බව කියන පහර දීමකින් පසු මහනුවර පුරා ජාතිවාදී ගිනිදැල් ඇවිලී ගියේ සිංහල හා මුස්ලිම් තරුණයින් දෙදෙනකුට දිවි අහිමි කරමිනි. එම සිදුවීමෙන් ඇති වූ ගිනිදැල්වල උණුසුම ක්‍රමයෙන් මැකී යමින් තිබියදී මාවනැල්ල හා ඒ ආශ්‍රිත ස්ථාන කිහිපයක බුදු පිළිම වහන්සේලා කිහිප නමකට හානි කිරීමේ සිදුවීම් පෙළක් වාර්තා වීමත් සමඟ මැකී ගිය උණුසුම යළිත් මතුව ආවේය.

මෙම සිදුවීම් පෙළ පසුපස අන්තවාදීන් බව කියන මුස්ලිම් තරුණයින් පිරිසක් සිටින බව අනාවරණය කරගත් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. සිංහල බෞද්ධ ජනතාව මෙම සිදුවීම්වලින් කුපිත වී ඉස්ලාම් ආගමික ස්ථානවලට පහර දේවියැයි බියකින් මුස්ලිම් ජනතාව වෙලී ගියත් එවැනි සුළු හෝ සිද්ධියක් වාර්තා නොවීම සුබවාදී ලක්ෂණයකි. එමෙන්ම එය පොලිසියත් ආණ්ඩුවත් කල්පනාකාරීව කටයුතු කළ බවට නිදර්ශනයකි. පැණිදෙණිය ශාන්ත තෙරේසා දෙව් මැඳුරේ පිළිමයකට ද මෙම පිරිස හානිකර තිබිණි.

“නබි නායකතුමන් සමස්ත ඉස්ලාම් ආගමික ජනතාවට පවසා තිබෙන්නේ සෙසු ආගම්වලට ගෞරව කරන අතරතුර සියලු ජනතාව අගය කරන්න කියලයි. කිසිදු ජාතියකට හෝ ආගමකට හිංසා කරන්න කියා එතුමා කිසිවිටකත් පවසා නැහැ. මෙරට වෙසෙන අති බහුතරය සිංහල බෞද්ධ ජනතාව බව කවුරුත් දන්නා හා පිළිගන්නා කරුණක්. ඒක මේ රටේ මුස්ලිම් ජනතාව තේරුම් ගත යුතුයි. අති බහුතර ඉස්ලාම් ධාර්මිකයින් මෙය තේරුම් ගෙන කටයුතු කළත් මෙය තේරුම් නොගත් අන්තවාදී සුළු පිරිසක් සිදු කරනු ලබන මෙම පහත් ක්‍රියාවන් ජාතීන් අතර සමඟියට බාධාවක්. බෞද්ධ ජනතාව මෙම සිදුවීමේදී බුදුන් වදාළ ධර්මය අනුවම කටයුතු කරමින් ගැටුමකට නොගොස් සාමකාමීව හා අවබෝධයෙන් කටයුතු කිරීම අප අගය කළ යුතුයි. තවත් ආගමකට ජාතියකට ගරහන්නේ තමන්ට ජාතියක් ආගමක් නොමැති අය. මෙම සිදුවීමට මුල්වූ මුස්ලිම් තරුණයින් පිළිබඳව කිව යුතුව තිබෙන්නේද එයයි. අබ්දූල් ෆස්රූල් මහනුවර ප්‍රධාන මවුලවී තුමා පවසයි.

නිහඬ බවේ බලපෑම්

අන්තවාදය පෝෂණය වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එය පිටු දකින පිරිස්වල පවත්නා නිහඬතාවයි. මෙරට අති බහුතරය අන්තවාදය පිටු දකින්නෝය. ඔවුන්ගේ නිහඬ බව අන්තවාදීන් සුළු පිරිසට ආශිර්වාදයක් වී තිබෙන්නේය. දේශසීමා සඳහා සිදුකරන අරගල ජාතියක් පදනම් කර ගනිමින් ගොඩ නැගීමට කටයුතු කරන ස්වරූපයක් ඇත්තේය. වෙනම රාජ්‍යයක් සඳහා ප්‍රභාකරන් කළ සටන තුළ ආගමට වඩා ඉස්මතු වූයේ ජාතියයි. එහෙත් මෑත කාලීන්ව රට තුළ ක්‍රියාත්මක වූ බොහෝ අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුල්වූයේ ආගමය. ආගම මුල් කර ගනිමින් ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායම් පාලනය කිරීම සඳහා වැඩි වගකීමක් අදාළ ආගම්වල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා හා පූජකතුමන්ලාට පැවරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහචාර්ය මුවඇටගම ඥානානන්ද හිමියෝ පවසති. බොදු බල සේනා සංවිධානයේ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයෙන් දඬුවම් නියම වූ පසු මල්වතු මහනාහිමියන් බැහැදැක භික්ෂූන් වහන්සේ ඇතුළු ගිහිපැවිදි පිරිස් උන්වහන්සේට ජනපති සමාව ලබා ගැනීම සඳහා මැදිහත් වන්නැයි ඉල්ලීම් කළත් මහනාහිමියෝ ඒ වෙනුවෙන් මැදිහත් වීමක් නොකළහ. මුස්ලිම් ජාතික අන්තවාදීන් ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් අපට නොමැති නිසා ඔවුන් නිසි මඟට ගැනීම ඉස්ලාම් පූජකතුමන්ලා විසින් සිදුකළ යුතු ක්‍රියාවක් බවද උන්වහන්සේ පෙන්වා දෙති.

විපතේදී මිතුරන් වීම

රටක් එක ජාතියකට පමණ අයිති වන්නක් නොවේ.. විවිධ ජාතීන් හා විවිධ ආගම් අදහන පිරිස් නිසා සමාජය එක් පැත්තකින් වර්ණ ගැන්වෙයි. සංස්කෘතික විවිධත්වය තුළින් මතුවන සුන්දරත්වය අත්විඳීම සඳහා මානවීය චින්තනයක් තුළින් ලෝකය දැකීමේ හැකියාව අපට තිබිය යුතුය. ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේලා සියලු දෙනා දේශනා කර තිබෙන්නේ මේ මානවීය ගුණය ඉස්මතු කර ගන්නා ආකාරය සම්බන්ධවය. විශේෂයෙන් බුදුන් වහන්සේ මානව වර්ගයාද ඉක්මවා ගොස් සියලු සත්වයා කෙරෙහි කරුණාව දයාව දක්වන ලෙස දේශනා කළහ. පල්ලියේ ඇති මැටියෙන් සෑදු ජේසුතුමන්ගේ පිළිමයට වඩා තමන්ගේ නිවෙසේ වෙසෙන දරුවාට නත්තලේදී ආදරය කරන්න කියා කාදිනල් තුමන් කළ ප්‍රකාශය ඉතා ගැඹුරක් ඇති එකකි.

“අපි පන්සල්, පල්ලි, කෝවිල්වලට ගියත් අවශ්‍ය ගුණධර්ම සිත් තුළ වගා කර ගන්නේ නැත්නම් ඉන් පලක් නොමැත. අද ඇතැම් පිරිස් ආගමික ස්ථාන වෙත යෑමද ෂෝ එකක් කරගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබේ. මුවඇටගම ඥානානන්ද හිමියන් පවසන්නේ සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් බොහොමයක් දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වෙද්දී මුස්ලිම් හා දෙමළ අන්තවාදීන් බොහොමයක් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් වී සිටින බවයි. අන්තවාදය පිටු දකින ජාතීන් අතර සංහිඳියාව පතන බහුතරයගේ අපේක්ෂාව කිසිවකුට හිරිහැරයක් කරදරයක් නොමැතිව අන් අයටද උදව් කරමින් ජීවිකාව ගෙන යෑමට වුවත් අන්තවාදීන් සුළු පිරිස ඔවුන්ගේ නිශ්චල සිතද චංචල කරවීමට හේතුවන ආකාරයේ ගැටුම් නිර්මාණය කරන බව පවසන උන්වහන්සේ බල ලෝභී දේශපාලකයින්ද මෙම තත්ත්වයට වගකිව යුතු බව පෙන්වා දෙති.

මුස්ලිම් අන්තවාදීන් පිරිසක් රට මැද බුදු පිළිමවලට හානිකර ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කරද්දී මහ වැස්සෙන් පීඩා විඳි උතුරේ ජනතාවට සහනාධාර රැගෙන මහ සංඝරත්නය ඇතුළු සෙසු ආගමික නායකයින්ද සමඟ දකුණේ ජනතාව උතුරට ගියහ. අප අසරණ වූ විට ජාති, ආගම් ආදි කරපින්නා ගෙන සිටින බොහෝ දේ පසුපසට තල්ලුවී ගොස් ජීවිතය යන්න පෙරට පැමිණෙයි. එය සිංහල, දෙමළ, මුස්ලිම් කාටත් පොදුය. මෙය තේරුම් නොගන්නා තෙක් ඉදිරියේදීත් අන්තවාදී කණ්ඩායම් අප රට තුළ හිසවනු නොඅනුමානය.

සටහන සහ ඡායාරූප අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න