රොජර් ෆෙඩරර්ට සෙරීනා පරදියි | දිනමිණ

රොජර් ෆෙඩරර්ට සෙරීනා පරදියි

වසර 45කට පසුව ජාත්‍යන්තර ටෙනිස් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක එකිනෙකාට එරෙහිව තරග වැදුණු පළමු අවස්ථාව සටහන් කරමින් අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් අතර තරගයෙන් ෆෙඩරර් ලකුණු 4-2ක් සහ 4-3ක් ලෙස ජයගත්තේය.

මේ දෙදෙනා තරග වැදුණේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පසුගියදා පැවැති හොප්මන් කුසලාන ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල තරගයටය. එහිදී සෙරීනා සහ ෆ්‍රැන්සස් ටියාෆොයි එක් කණ්ඩායමක් ලෙසත්, ෆෙඩරර් සහ බෙලින්ඩා බෙන්සිස් තවත් කණ්ඩායමක් ලෙසත් තරගයට එක්වූහ.

වසර 1973දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 39ක් ජයගෙන සිටි බිලි ජීන් කිං සහ එවකට ලොව නොම්මර එකේ ක්‍රීඩකයා බවට පත්ව සිටි බොබී රිග්ස් අතර පැවැති ‘'Battle of the Sexes‘ තරගය ජාත්‍යන්තර ටෙනිස් පිටියේ එවැනි අවධානයක් දිනාගත් තරගය බවට පත්වී තිබිණි.

වර්තමානයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 43ක් ඔවුනොවුන් අතර බෙදාගෙන සිටින සෙරීනා සහ ෆෙඩරර් ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස සති 621ක් පුරා රැඳී සිටීමට ද සමත්වූහ.

37 හැවිරිදි වියෙහි පසුවන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා තරගයට එක්වූයේ ජයග්‍රහණයට වඩා විනෝදයට බර සිතකින් යුතුවය.

‘සෙරීනාට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් මා පුදුම විනෝදයක් ලැබුවා. ඒ වගේම ඒක විශාල ගෞරවයක්.‘ තරගයෙන් පසුව ෆෙඩරර් එසේ කීවේය.

‘ඒක විශිෂ්ට අත්දැකීමක් වුණා. කොහොමවුණත් පරාජය වීම ගැන නම් හිතට පොඩ්ඩක් දුකයි.‘ සෙරීනා එසේ කීවාය.

මේ දෙදෙනා තරගයෙන් පසුව සමූහ ඡායාරූප රැසකට පෙනී සිටි අතර ෆෙඩරර් සිය ජංගම දුරකතනයෙන් සෙරීනා සමග සෙල්ෆී ඡායාරූප කිහිපයක් ද ගත්තේ සිහිවටනයක් ලෙස තබා ගැනීමටය.

නව අදහස දක්වන්න