සමෘද්ධි ගමට විදුලි සකපෝරු 12ක් | දිනමිණ

සමෘද්ධි ගමට විදුලි සකපෝරු 12ක්

මිනුවන්ගොඩ සමෘද්ධිගම ග්‍රාම‍සංවර්ධන සමිතියේ නිලධාරීන්ට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය විසින් විදුලි සකපෝරු 12 බාරදුන් අවස්ථාව

සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ සාම්ප්‍රදායික මැටි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වාදීමේ පියවරක් වශයෙන් මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ සමෘද්ධිගම ගම්මානයට රුපියල් ලක්ෂ පහක් වටිනා නවීන තාක්ෂණික විදුලි සකපෝරු දොළහක් ලබාදීම සිදු කෙරුණි.

මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ පොල්වත්ත හා සමෘද්ධිගම පාරම්පරික මැටි කර්මාන්තය පවත්වාගෙන යන ගම්මාන දෙකකි.

මෙම ගම්මාන දෙකේම වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ මැටි කර්මාන්තයයි. විවිධ ආදේශක භාණ්ඩ හා නව තාක්ෂණය ඉදිරියේ මෙම කර්මාන්තයේ නියළී සිටින ජනතාවට මහත් දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවී තිබුණි.

අංක 119/6 සමෘද්ධිගම ගම්මානයේ සංවර්ධන නිලධාරී එම්. ජී. සුජීව දම්රුවන් මහතා සමෘද්ධිගම ගම්මානය පිළිබඳව සමීක්ෂණයක් පවත්වා එම කර්මාන්තයේ යෙදී සිටින පවුල් 40 මුහුණ පාසිටින දුෂ්කරතාවන් හා ඒවාට විසඳුම් ලබාදීම ව්‍යාපෘතියක් සකස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධීවර හා ජලජසම්පත් අමාත්‍යාංශයේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත සංවර්ධනය කිරීමේ වැඩ සටහන යටතේ පසුගියදා (2018.12.17 දින) සමෘද්ධිගම ග්‍රාමසංවර්ධන සමිතියට මෙම නව තාක්ෂණික විදුලි සකපෝරු 12 මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය විසින් නිල වශයෙන් බාරදෙන ලදී. මෙම නව තාක්ෂණික විදුලි සකපෝරු බෙදාදීම නිමිත්තෙන් සමෘද්ධිගම ග්‍රාම සංවර්ධන සමිති සංකීර්ණයේ පැවති උත්සවයේදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය කථා කරමින් විවිධ දුෂ්කරතා යටතේ පවත්වාගෙන ගිය සාම්ප්‍රදායික මැටි කර්මාන්තයට නව තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීම නිසා එම දුෂ්කරතා මගහරවාගෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බව කියා සිටියාය.

ඡායාරූපය - උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න