ඇතාකඩ රෝහල වැසී යෑමේ අවදානමක | දිනමිණ

ඇතාකඩ රෝහල වැසී යෑමේ අවදානමක

මැදවච්චිය ඇතාකඩ රෝහල මේ වන විට වැසී යෑමේ අවදානමකට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මේ රෝහලේ වෛද්‍යතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව කාර්ය මණ්ඩල නිලධාරීහු අප කළ විමසීමකදී පැවසූහ.

මේ වන විට මේ රෝහල සඳහා දෛනික රෝගීන් 150ට වැඩි පිරිසක් පැමිණෙමින් සිටිති. මේ රෝහලේ බෙහෙත් ගබඩාව වැස්සට තෙමෙමින් පවති. බාහිර රෝගී අංශයේ වහල සිවිලිම බිඳී ගොස් ඇත. වැසිකිළි පද්ධතිය නිසි ප්‍රමිතියෙන් නොමැති වීමත් එහි දොරවල්ද නොමැති වීමත් හේතුවෙන් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් සනීපාරක්ෂක කටයුතු වලදී දැඩි අපහසුතාවට මුහුණ දෙමින් සිටිති. බෙහෙත් ගබඩාවේ ජනේල කැඩී ගොස් යෑම හේතුවෙන් ඖෂධවල නිසි ප්‍රමිතිය රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට එහි උදා වීඇති බව කාර්ය මණ්ඩලය වැඩිදුරටත් පවසති.

මේ පිළිබඳ අදහස් දැක්වූ සජිත් රණතුංග මහතා -

මේ රෝහල අපට තියෙන සම්පතක්. මේක රැක ගැනීමට බලධාරීන් මැදිහත් විය යුතුයි. නියමිත පහසුකම් නොමැති වීමෙන් මෙහි කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් වන අප ද අපහසුතා රැසකට මුහුණ දෙනවා. බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කර කඩිනමින් අපට මේ රෝහල සාදා දෙන්න කියලයි ගම්වාසීන් වශයෙන් අපි ඉල්ලා සිටින්නේ.

කැබිතිගොල්ලෑව සමූහ
එස්. ජී. උබේපාල

නව අදහස දක්වන්න