මහින්ද-ගෝඨා-නාමල් පොහොට්ටුවේ සාමාජිකයන් යැයි කියා - දැන් නෑ කියනවා | දිනමිණ

මහින්ද-ගෝඨා-නාමල් පොහොට්ටුවේ සාමාජිකයන් යැයි කියා - දැන් නෑ කියනවා

කමනි අල්විස්

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරු ඇතුළුව තව පිරිස් තමන් පොහොට්ටුවේ සාමාජිකයන් බවට මහත් උජාරුවෙන් රටත් ලෝකයාත් හමුවේ ප්‍රකාශ කළ ඔවුන්ට තමන් දැන් පොහොට්ටුවේ සාමාජිකයන් නොවන බවට අසත්‍යය ප්‍රකාශ කරනවිට දී සිහිපත් කර ගත යුත්තේ රටේ ජනතාව ගවයින් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින පිරිස මීගොන්නු නොවන බව යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ එක හඬින් පවසති.

පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන සිටින පිරිසට තමන් පොහොට්ටුවේ සමාජිකත්වය ලබා ‍නොගත් බවට පැවැසීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නොමැති බව පවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය දින පනස් හය තුළ දී අගමැති ලෙස ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්වී දින දෙකකින් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් බව රහසක් නොවන බව ප්‍රකාශ කරයි. අපිත් දැන් පොහොට්ටුවේ යැයි ලක්ෂ්මන් යාපා මහතා අභිමානයෙන් ප්‍රකාශ කර තිබෙන බවත් එම සංවිධානයේ සාමාජිකයෙක් වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

කොළඹ මහජන පුස්තකාලයේ දී ඊයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ අදහස් දක්වමින් එසේ පැවැසූහ.

එහි දී අදහස් දැක් වූ කැස්බෑව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකීමේ අරගලයක් විනා කැරැල්ලක නිරත නොවෙමු. සුළුතර මතවාදය බහුතර මතවාදයක් බවට පත්කර ගැනීම අරමුණයි. පොදුජන පෙරමුණට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට ඉඩහැරීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝචනීය ඉරණම ලියා ගැනීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණේ ශාඛාවක් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා ගත් තීරණය කිසිසේත්ම අනුමත නොකරමි. ඒ බව අප සංවිධානයේ සැවොම ජනාධිපතිවරයාට ලිඛිතව වාචිකව දැනුම් දුන්නෙමු. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්ව තම ගෝල බාලයන් සමඟ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. ඉන් පසුව පැවැසුවේ ශ්‍රීලනිප සමඟ ගමනක් නැති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෑල්ලු කරමින් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන මහින්ද මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායමට එරෙහිව විනය පරීක්ෂණ සිදුකරන ලෙසටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රීලනිපයේ දැන් පවතින්නේ අභ්‍යන්තර මතවාදී අරගලයක්. පොදු‍ජන පෙරමුණ හෙවත් පො‍හොට්ටුව සමඟ යන ගමනින් සන්ධානය ඉවත් කරන්න. එසේ නැති වුවහොත් අරගලය තීව්‍ර විය හැකි බවට ජනාධිපතිවරයාට දැනුම් දෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වන්නේ ශ්‍රීලනිපය විනාශ කිරීමටයි. ඒ බව අවබෝධ කරගෙන ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිල ගැනීමට වෙර දරන පොදුජන පෙරමුණෙන් ඉවත්වීම ජනාධිපතිවරයා කළ යුතුයි. ජනාධිපතිවරයා සිටින්නේ නිවැරැදි මතයක නොවෙයි. ඒ නිසා එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ධුරයෙන් පෙරේදා (2) තමන් ඉල්ලා අස්වුණ බවත් නීතිඥ කොඩිතුවක්කු මහතා පැවැසීය.

බේරුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක එච්. එම්. අම්ජාඩ් මහතා-

මේ අරගලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම මිස අපගේ සභාපති ජනාධිපතිවරයාට එරෙහිව කරන අරගලයක් නොවෙයි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති පක්ෂය තුළ අවදි කරමින් පංච මහා බලවේගය සුරකිමින් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සුරැකීමේ අරගලයකි. භීෂණයෙන් දූෂණයෙන් පවුල්වාදයෙන් පිරිහුන රට බේරාගත්තේ වසර 2015 ජනවාරි 8 දා ජයග්‍රාහී විප්ලවයෙන්. එම විප්ලවයට කිසිසේත් සම්බන්ධ නොවුණ පිරිසක් අද ප්‍රමුඛයන් වී ජනාධිපතිවරයා නොමඟ යවනවා. ජනාධිපති ධුරයට පත්ව නොබෝ දිනකින් ශ්‍රීලනිප සභාපතිත්වයට එතුමා පත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ශක්තියක් වුණා. නමුත් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

ඔක්තෝබර් 26 දා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධීයි. කිසිසේත්ම ඒවා අනුමත නොකරමි. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් ජාතික ආණ්ඩුවට ඇතුළත් වුණි. එසේ නම් ඉවත්වීම සිදුවිය යුත්තේ ද මධ්‍යම කාරක සභාව හරහායි. කොළ කෑල්ලක් ඉදිරිපත් කරමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණ බව කීමට මහින්ද අමරවීර මහතාට අයිතියක් නොමැත. විධායක සභාව කැඳවන්නේ නැතිව එසේ තනි තීරණ ගැනීමට නොහැකියි. පෞද්ගලික අභිමථාර්ථ පදනම් කරගෙන ගත් එම වැරැදි තීන්දුවට අප සැවොම විරුද්ධව සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභාග්‍යසම්පන්න ඉරණමකට පත්වෙලා. මධ්‍යම කාරක සභාවේ ගන්නා තීන්දු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ප්‍රධානතම ගැටලුවක්. මේසයට පමණක් එම තීන්දු තීරණ සීමාවීමේ ප්‍රතිඵලය ලෙසටයි පොහොට්ටුවේ ඇරැඹීම සිදු වුණේ.

කෑගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක බණ්ඩාර අතුකෝරළ මහතා-

මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක ප්‍රතිපත්ති විනාශ කරමින් හොරගොල්ලට පයින් ගැසුවා. ඔහුගේ දේශපාලන පරිවර්තනය හොඳින් දැක්කා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමේ දී එම මැතිවරණ සටනට අද මෙහි සිටින සැවොම එක්වුණා. දූෂිත රාජපක්ෂලා සමඟ ජනාධිපතිවරයා එක්වීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. අපිට එය වේදනාවකි. මාධ්‍යවේදීන් ඝාතනය කරමින් අතුරුදන් කරමින් ඔවුන්ට තාඩන පීඩන එල්ල කළ රාජපක්ෂ ආණ්ඩුව සාමාන්‍ය මහජනතාවට ඇති කළ පීඩාව අමුතුවෙන් කිව යුතු නෑ.

කඩුවෙල ශ්‍රී.ල.නි.ප. සම සංවිධායක ජී. එච්. බුද්ධදාස මහතා-

අප වටා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රොද බැඳගෙන සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගනිමින් ඒ වෙනුවෙන් කැපවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. පොහොට්ටුව සමඟ එක්නොවන ලෙසටත් ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් බුද්ධදාස මහතා ප්‍රකාශ කළේය.

ඡායාරූපය හිරන්ත ගුණතිලක

 

නව අදහස දක්වන්න