යෝජිත නව ව්‍යවස්ථාව ලබන සතියේ සභාවට | දිනමිණ

යෝජිත නව ව්‍යවස්ථාව ලබන සතියේ සභාවට

ශිරෝමි අබයසිංහ
චන්ද්‍රිකා පෙරේරා

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කරයි.

කතානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයන් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ සමඟය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මුලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබා ගත් අතර, මේ වන විට ඒ කාර්යය ද අවසන්ව පවතියි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරයි.

විධායක ජනාපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩිකිරිම, පළාත් සභා විධිමත් කිරීම, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල පැවරීම ආදී වැදගත් යෝජනා නිර්දේශ රැසක්ම විශේෂඥයන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙතැයි රජය ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බවට හා බුදු දහමට තිබෙන තැන ඒ විදියටම රැකිය යුතුයි යැයි එක්සත් ජාතික පෙරමුණ ව්‍යවස්ථා සභාවට කරුණු ඉදිරිපත් කර තිබේ. නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවට අසත්‍ය ප්‍රචාර පතුරවා, පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරණ උත්සාහයන්ට ඉඩක් නොතබන බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


ජනගත කරන්න
- නාගරික මන්ත්‍රී රුසිරිපාල

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සමාජ කථිකාවක් අවශ්‍ය වන බවත්, එය අනිවාර්යයෙන් ජනගත කළ යුතු බවත් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රුසිරිපාල තෙන්නකෝන් මහතා පැවසීය.

ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වී ඇති බවත් එයට මේ අයුරින් වරින් වර පැලැස්තර ඇලවීමට උත්සහ කළ සෑම අවස්ථාවකම ගැටලු මතු වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

මේ නිසා නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බවද මහනාහිමිවරු, සෙසු ආගමික පක්ෂවල හා විද්වතුන් ඇතුළු ජනතාවගේ බහුතර මතය එම කෙටුම්පත සඳහා අවශ්‍ය බවද කීය.

බාහිර බලපෑම්, පීඩනය උසිගැන්වීම මත ව්‍යවස්ථාව සංශෝධන නොකළ යුතු අතර ජනතාවගේ අවශ්‍යථාව මත ස්ථාවර ආණ්ඩුවකින් ජාතිවාදයෙන් තොරව ජනතා මෙහෙයවීමක් මත නව ව්‍යවස්ථාව ගෙන ආයුතු බවද පැවසීය.

ව්‍යවස්ථා සංශෝධන සඳහා නිශ්චිත නිර්වචන නැති නිසා වර්තමානයේ තීන්දු ගන්නා සෑම අවස්ථාවේම අධිකරණය විමසීමට සිදුව තිබෙන බැවින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැන නැඟී තිබෙන අතර නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව අතර අවිනිශ්චිත බවක් ඇතිව තිබෙන බව පෙන්වා දුන්නේ ය. ඒ අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර ජනගත කිරීම අවශ්‍ය බව අවධාරණය කෙළේය.

ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී ලොව සම්මතයන් තිබෙන බවත් ඒ අනුව රටක හදිසි අවස්ථාවකදී හෝ යුදමය අවස්ථාවක දී, හෝ වෙනත් අවිනිශ්චිත තත්ත්වයක් තිබෙන අවස්ථාවක දී ව්‍යවස්ථාදායකය ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ යුතු බවත් පැවසුවේ ය.

නව අදහස දක්වන්න