ඉකුත් වසරේ අපනයන ආදායම ඩොලර් මි. 17,000ක් | දිනමිණ

ඉකුත් වසරේ අපනයන ආදායම ඩොලර් මි. 17,000ක්

මහින්ද අලුත්ගෙදර

2019ට 20,000ක ඉලක්කයක්

මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් පසුගිය 2018 වර්ෂය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 17,000ක අපනයන ආදායමක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන බව රජය අවධාරණය කරයි.

පසුගිය වර්ෂය අවසාන වනවිට ඩොලර් මිලියන 17,430ක අපනයන ආදායමක් අපේක්ෂා කළ ද රටේ පැවැති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එම ඉලක්කය පසුකර යාමට නොහැකි වූ නමුත් මේ වසර (2019) අවසන් වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 20,000 ක අපනයන ආදායමක් අපේක්ෂා කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති මලික් සමරවික්‍රම මහතා පැවසීය.

රජය පසුගිය 2018 වසරේ දී ක්‍රියාත්මක කළ ජාතික අපනයන ප්‍රතිපත්තිය 2018/2022 මෙන්ම එක් එක් අංශයන්හි ක්‍රියාකාරිත්වය හේතුවෙන් මෙවැනි ආදායමක් කරා 2018 වසරේ දී ළඟාවීමට හැකි වූ බව පැවසූ ඒ මහතා අපනයන ආදායම තවදුරටත් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් රැසක් රජය හඳුන්වාදුන් බවද කීය.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී ඊයේ (03) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ගෙවී ගිය වසරේ දී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ පසුගිය 2018 වසර ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට නව සන්ධිස්ථානයක් වූ බවත්, ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම යටතේ ඉලක්ක ගත ප්‍රමුඛ අංශ පහක් එම වසරේ දී හඳුන්වාදුන් අතර, විදේශ විනිමය වැඩි වශයෙන් ගෙන්වා ගැනීම වෙනුවෙන් එම සැලසුම් ක්‍රියාත්මක වූ බවත්ය.

පසුගිය වසර අවසාන වනවිට පැවැති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අපේක්ෂිත අපනයන ආදායම කරා ළඟාවීමට නොහැකි වූ අතර, එම වසරේ දී පෞද්ගලික අංශයෙන් ද විශාල සහයෝඟයක් ලැබුණු බව පෙන්වාදුන් ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව කීවේය.

රටේ නව ව්‍යවසායකයන් ඇති කරමින් අපනයන දිරිමත් කිරීමෙහිලා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර නව වෙළඳපළ කරා යොමුවීමට අපේක්ෂා කරන බවද, එළඹෙන 2025 පමණ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 37,100 ක පමණ අපනයන ආදායමක් ඉලක්ක කරන බවද හෙතෙම පැවසීය.

මේ අතර සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ජයමහ මහතා පෙන්වා දුන්නේ ලෝකයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි නමුත්, මේ තත්ත්වයෙන් ඉදිරියට යායුතු බවත් මෙරට අපනයනකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්ය.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී කොඩිකාර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ඉන්දිරා මල්වත්ත, අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ජයවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න