මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ ඇත්ත කතාව | දිනමිණ

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ ඇත්ත කතාව

2002 වර්ෂයේ දී මාවනැල්ලේ සිංහල මුස්ලිම් ජනතාව විශාල ගැටුමකට මැදි වූ අතර දේපොළ මෙන්ම තවත් හානි රැසක අමිහිරි මතක සටහන්ද පවති. එසේ හෙයින් මෙම සිද්ධිද එවන් තත්වයක් කරා රැගෙන යෑමට අවශ්‍ය නැත. පටු අරමුණු ඔස්සේ ඉදිරියට යමින් සමාජය වනසන පිරිසක් සියලු ජාතින්වල ඇත්නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. දේශපාලනඥයින් මීට වඩා වගකීමකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය.

මාවනැල්ලේ බුදු පිළිම කඩා ප්‍රදේශය අතහැර පලා ගිය, දැනට මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් මේ වන තෙක් අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකි වි නැහැ. එසේ හෙයින් ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු බෞද්ධාගමිකයන් මෙම කටයුත්ත හෙළා දකින අතර ඔවුන් සමඟ සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් බහුතරයකට වැඩි දෙනෙක් මෙම සිද්ධිය ගැන මේ වන විට විමසිල්ලෙන් පසු වෙති. මේ සියලු දෙනාගේ මතය වී ඇත්තේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කරන ලෙසයි.

නමුත් මෙම සිද්ධිය සමාජ ජාලා වෙබ් පිටු හා ෆේස්බුක්වලින් වැරදි ප්‍රචාරණයන් සමාජගත වන හෙයින් එය වැළැක්වීමේ අරමුණින් මෙම සිද්ධියේ මේ වන තෙක් සිදු වි ඇති සත්‍ය සිදුවීම් මාලාව අප ලියන්නේද සත්‍ය කතාව ඇත්ත තේරුම් ගැනීම හා පෙන්වා දීමත් මාධ්‍ය සතු වගකීමක් වන හෙයිනි. ඒ මඟින් වැරදි තොරතුරු සමාජගතවීම් වැළැක්විම මඟහැර සමස්ත රටවාසීන්ට ඇත්ත දැන ගත හැකිය.

රටට ලෝකයට සමාජයට යහපත් හැදියාවකින් පිරි මිනිසුන් බිහි වන්නේ ආගම මුල් කරගෙනය. මේනිසා කිසිම ආගමක යම් ජන කොටසක ඇදහිලි, විශ්වාස සහ ඒ ඔස්සේ නිර්මාණය වූ විවිධ ප්‍රතිමාවලට අගෞරව කිරීමටවත් ඒවා කඩා බිඳ දැමිමටවත් කිසිවකුට අයිතියක් ඇත්තේ නැත. රටක නීතියෙන්ද එය තහනම් දෙයකි. එම නිසාම යම් ආගමික ස්ථානයකට හානියක් සිදු වුවහොත් එය බොහෝ දෙනා හෙළා දකින අතර ඒ ඔස්සේ විවිධ වු ගැටලුකාරි තත්වයන්ද නිර්මාණය වෙයි. එවැනි අමිහිරි මතකයන් රැසක පාඩම් මිට පෙර අප ඉගෙන ගෙන ඇත. පසුගිය 24වන දින අලුයම් කාලයේ මාවනැල්ල ප්‍රදේශයේ රන්දිවෙල මංසන්ධියේ බුද්ධ ප්‍රතිමාවකට හා මාවනැල්ල මහත්තේගම මංසන්ධියේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධීන් දෙකක් මුල්වරට පොලිසියට ඒ අවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු වාර්තා විය. මෙවැනි ප්‍රශ්න බරපතළ සිද්ධීන් වන නිසාම අදාළ සැකකරුවන් සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉහළ පොලිස් නිලධාරීන් ගෙන් මාවනැල්ල පොලිසියට උපදෙස් ලැබී තිබුණි. නමුත් පසුගිය 26 වැනිදා වන තෙක් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

මාවනැල්ල වැනි ප්‍රදේශයක සිංහල හා මුස්ලිම් ජනතාව සමසමව ජිවත්වන නිසා මෙම බුදු පිළිම කැඩීම ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය නොවීම සඳහා පිළිම කැඩු වැරදිකරුවන් ඉක්මනින් සොයා ගැනීමේ පිපාසයක් ජනතාවට තිබුණි. ඒ අතර අන්තර්ජාලයේ විවිධ වූ වැරදි ප්‍රචාර පළ විය. ඒ ඔස්සේ මිනිසුන් වාද විවාද කර ගත් නමුත් එයින් බොහොමයක්ම සත්‍යයෙන් තොර වැරදි මත විය.

කනගාටුවට කරුණ වන්නේ මෙම ප්‍රශ්නය මුල් කරගෙන දේශපාලනඥයින් ජාතිවාදී හැඟීම් ඇති කරමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මෙම ප්‍රශ්නය පිටිවහලක් කර ගැනිමයි.

නමුත් පසුගිය 26 වැනි දින අලුයම කිසිවකු නොසිතූ මොහොතක වැරදිකරුවන් නීතීයේ රැහැනට හසු කර දෙනු ලබන්නේ මාවනැල්ල දිදුලවත්ත ප්‍රදේශවාසීන් විසිනි. වැරදි කරන පුද්ගලයා කොයි මොහොතක හෝ ඒ වෙනුවෙන් විපාක විඳින බව බුදු දහමේ පෙන්වා දෙන කර්ම විපාකය අදටත් වලංගු බව සනාථ කරමින් බුදු පිළිම කඩමින් ගිය අය එම ගමේ අයට කොටු වන්නේ මේ සම්බන්ධයෙන් බොහෝ සත්‍ය තොරතුරු රට හමුවේ තබමින්ය.

මාවනැල්ල දිදුලවත්ත ගම්වාසීන් විසින් ඉදි කර ඇති බුද්ධ ප්‍රතිමාව දෙසින් යම් කිසි ශබ්දයක් ඇසුණු නිසා අලුයම අවදිව සිටි කුලී ත්‍රිරෝද රථ රියැදුරකු සිය නිවෙසේ දොර විවෘත කර අදාළ ශබ්දය ඇසුණු දිසාව දෙසට පැමිණ ඇත. මේ දිනවල මාවනැල්ල අවට බුදු පිළිම කැඩිමේ කණ්ඩායමක් සිටින හෙයින් තම ගමේ බුදු පිළිමයටද හානියක් කරනවාද යන සැකය ඔහුට කල් තියා දැනී ඇත.

අලුයම 3 න් පසු වි බුදු පිළිමය දෙසට පැමිණි ඔහුට එක විට දැක ගත හැකි වි ඇත්තේ යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකි. යතුරුපැදියෙන් ගමන් කරන්නේ දෙදෙනෙක් කියා නිවෙසක විදුලි ආලෝකයට ඔහු හඳුනාගෙන ඇති අතර මේ හේතුවෙන් කලබලයට පත් ඔහු බුදු පිළිමය දෙස බලද්දි එයට හානි කර තිබුණි. යතුරු පැදියෙන් යමින් කරමින් සිටි පුද්ගලයන් ගැන සැක සිතූ මොහු වහාම අසල නිවෙසකට ගොස් තරුණයකුට කතා කර මෙම සිද්ධිය ගැන පවසා තිබුණි.

අදාළ සිද්ධිය මුල් වරට දැක ඇති වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරකු වන 39 හැවිරිදි දෙදරු පියකු වන ඒ.එම්. සෙනරත් බණ්ඩාර මහතා සිද්ධිය පිළිබඳව අපිට කීවේ මෙලෙසිනි.

"එදා පාන්දර මට හයර් එකක් තිබුණා. වරකාපන ගමේ එක්කෙනෙක් එක්ක දුර ගමනක් යන්න. ඒ නිසා රාත්‍රීයේ නිදා ගත්තේ අලුයම නැගිටින්න බෙල් තියලා. නමුත් ඒ බෙල් තියපු වේලාව පසු වී 3.30ට විතර මට ඇහැරුණා. ඇහැරලා ඉන්නකොට බුදු පිළිමය තිබෙන පැත්තෙන් ශබ්දයක් මට එකපාරම ඇසුණා.

ඒ ශබ්දය කොහෙන්ද කියලා ගෙදරින් එළියට ඇවිත් බැලුවා. ඒ වෙද්දි මම දැක්කා බයික් එකක දෙන්නෙක් නැගලා යනවා. බයික් එකේ දෙන්නෙක් යනවා කියලා දැක්කේ පාර අයිනේ ගෙදරක ලයිට් එකක එළියට. ඒ සමඟම බුදු පිළිමය පැත්තට ගිහින් බැලුවා. බුදු පිළිමයේ මුහුණ සිරස අත කඩලා. මට පසුගිය දිනවල මාවනැල්ල පැත්තේ බුදු පිළිම කඩන ඒවාත් මතක් වුණා. ඉක්මනින් ගිහින් ළඟ ගෙදරක ඉන්න චානක මල්ලිට කතා කළා.

එයාට මම සිද්ධිය කීවා. එයාගේ බයික් එකේ නැඟලා බුදු පිළිමය කඩලා ගියපු අය අල්ලන්න යමු කියලා කීවාම එයාත් එන්න කැමති වුණා. එයා එනකම් මම බුදු පිළිමය පැත්තට එනකොට බුදු පිළිමය කඩලා ගියපු බයික් එකේ දෙන්නා නැවත බුදු පිළිමය පැත්තට ආවා. ඒ අය මුලින් මං හිටපු බව දැකලා නැතිව ඇති. දෙවැනි වතාවේ සමහර විට බුදු කුටියේ විදුරුව කඩන්න ආවාද කියලා මට දැන් සැකයක් හිතෙනවා. මෙහෙම ආපු දෙන්නා මම දැකපු ගමන් බයිසිකලේ විදුලි වේගයෙන් හරවලා යන්න හැදුවා.

මම දුවගෙන ගිහින් ධාවනය වන බයිසිකලය උඩට පැන්නා. බයිසිකලය පෙරළුණා. එතකොට මේ දෙන්නා පැනලා දුවන්න හැදුවා. මම එක්කෙනෙක්ව තදින් අල්ලා ගත්තා. මාත් එක්ක යන්න ආපු චානක මල්ලි ඒ වෙනකොටත් ඇවිත් හිටියේ. එයා අනික් සැකකරුව බදාගෙන එයා අල්ලා ගන්න පොර බැදුවා. විනාඩි කිහිපයක් යනකම් මෙ අය මෙල්ල කර ගන්න මහත් වු පරිසමයක් දැරුවා. පහත ගල් ගොඩක් කැලෑවක් තියෙන පල්ලමකට අපි පෙරලුනත් මෙ සැකකරුවන්ට පැන දුවන්න දුන්නේ නැහැ. මම පොර බදනකොට මම ඇදගෙන හිටපු සරම තිරු තිරු වලට ඉරුනා නමුත් මම අතින් අල්ලා ගෙන හිටපු කෙනාට ගැලවෙන්න දුන්නේ නැහැ.

චානක මල්ලිත් එහෙම හිටියා එක පාරම එයා සමග පොර බදපු කෙනා එයාව එතන පල්ලමකට තල්ලු කරලා තියෙනවා ඒ වෙද්දි චානකගේ අතක් පැනලා. එයාට අමාරු වුන නිසා ඔහු පොර බදපු සැකකරුවා පැනලා දිවා. මම අල්ලාගෙන හිටපු කෙනාට යන්න දෙන්නේ නැතිව මම කෑ ගහනකොට පාන්දර කිසියම් වැඩකට යන්න ආපු අපේ ගමේ කෙනෙක් අපි පල්ලමේ කෑ ගහනවා ඇහිලා එයාගේ විදුලි පන්දම කෑ ගහන දිසාවට යොමු කළා‍. එයා සිද්ධිය දැකලා මාගේ සහායට ආවාට පස්සේ මම අල්ලාගෙන හිටපු කෙනා හොඳට මෙල්ල කර ගන්න පුළුවන් වුණා. ගමේ අය එකතු වුණේ ඊට පස්සේ. මෙයාව ගහක බැඳලා ගමේ අය එකතු වෙලා ඔවුන් බුදු පිළිම කඩන්න ආපු බයික් එකත් එක්කම මාවනැල්ල පොලිසියට භාර දුන්නා. අනිත් පුද්ගලයා හොයා ගන්න උත්සාහ කළත් බැරි වුණා. අල්ලා ගත් පුද්ගලයාගෙන් ඇයි බුදු පිළිමය කැඩුවේ කියලා අපි ඇහැව්වා. මම නොවෙයි අනිත් කෙනා කැඩුවේ කියලා එයා කීවා.

සිද්ධියෙන් පසුව සෙනරත් හා චානක යන දෙදෙනා විසින් පොලිසිය වෙත විස්තර ලබා දී තිබෙනවා. පොලිසිය ඒවා සටහන් කර ගෙන ඇති. 28 වැනි දින උදෑසන වන විට චානක සිටියේ සිය අතකට බෙහෙත් දමාගෙනයි.

මෙම අවස්ථාවේ පලා ගිය අනිත් සැකකරුවා 28 වැනි දින තෙක් අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිම් සිදු වුණා. ප්‍රධාන සැකකරුවන් 30 වැනිදා උදෑසන විටත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැහැ.

දිදුලවත්ත බුදු පිළිමය එදින කැඩිමට පෙර මෙම තරුණයක් විසින් හිඟුල ප්‍රදේශයේ බුදු පිළිමයකටද හානි කර තිබුණු අතර දැනට පොලිසියට ලැබි ඇති තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ සංවිධානත්මක කණ්ඩායමක් සිටින බවටද තොරතුරු වාර්තා වී තිබුණි. අත්අඩංගුවට පත් වූ තරුණයන් අවුරුදු 20 සහ 30 සීමාවන්වල පසුවන අතර ඔවුන් මාවනැල්ල හිඟුල අවට පදිංචිකරුවන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක අබේරත්න මහතා ඇතුළු කණ්ඩායම ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. තවත් අය අත්අංඩගුවට ගැනීමට නියමිත අතර දිදුලවත්ත සිද්ධියේදි පැන ගිය සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නැත. අත්අඩංගුවට පත් වු මුස්ලිම් තරුණයන් පවසා ඇත්තේ කුරාණය කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකුත් නොමැති බවත්ය. ඒ හේතුවෙන් මෙලෙස බුද්ධ ප්‍රතිමා විනාශ කළ බවද පවසයි. අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ගේ නිවස්වල තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගන්නා ලද තියුණු ආයුධ කිහිපයක්ද සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමට හැකි වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරි චාමික පී. වික්‍රමසිංහ කෑගල්ල කොට්ඨාසභාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමරබන්දු මහතා ඇතුළු නිලධාරින් වැඩිදුර පරික්ෂණ සිදු කරති.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 27 වැනි දින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝග පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩාමක් අදාළ ප්‍රදේශයට පිටත් කර ඇති බවද වාර්තා වෙයි. මෙම අපරාධය සිදු කරන ලද පුද්ගලයන්ට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කිරීමටද එතුමා අදාළ අංශ දැනුවත් කර තිබේ. ප්‍රදේශයේ තත්වය සාමකාමිව පවත්වාගෙන යෑමට අවශ්‍ය පොලිස් කණ්ඩායම් විශේෂ කාර්ය බලකා සෙබලුන් ප්‍රදේශය පුරා යොදවා ඇත.

මාවනැල්ල අවට මීට පෙර වාර්තා වුයේ නිධන් සොරුන් විසින් බුද්ධ ප්‍රතිමා විනාශ කර එහි වු නිධන් සොරකම් කරගෙන යෑම වුවත් එවැනි ක්‍රියා වාර්තා වීමේ අඩු ප්‍රවණතාවයක් මෑත අවුරුදු කිහිපයේදී තිබුණි. නමුත් පසුගිය 24 වැනි දින අලුයම් කාලයේදී මාවනැල්ල රඹුක්කන මාර්ගයේ රන්දිවෙල හන්දියේ බුද්ධ ප්‍රතිමාවටත් මාවනැල්ල මහත්තේගම පාරේ මිරිස්කුඩු හන්දියේ බුද්ධ ප්‍රතිමාවටත් හානි කර ඇති බව වාර්තා විය.

ඉහත සිදුවීම සමස්ත මුස්ලිම් ප්‍රජාව අනුමත නොකරන අතර මුස්ලිම් සංවිධාන හා මුස්ලිම් ජාතික පූජකවරුන් පවසන්නේ ඔවුන්ගේ ආගමට බාහිරින් ක්‍රියාත්මක වන අන්තවාදී පිරිසක් ඔවුන්ගේ මතයට තම ආගමේ තරුණයන් යොදවා ගනිමින් කර ඇති සහ කරගෙන යන මෙවැනි ක්‍රියා මුස්ලිම් ප්‍රජාව අනුමත නොකරන බවයි. පළමු වරට මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය පසුගිය 24 වැනි දින සිදු වු අතර එම දිනයේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේ එජාපයේ මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමාත්‍ය කබිර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම බුදු පිළිම කඩා දැමිම එක්සත් ජාතික පක්ෂයට එජාපයේ පක්ෂ මහ ලේකම් කබිර් හෂිම් මහතාට මඩ ගැසීමේ ව්‍යාපාරයකින් එජාපයේ ඉදිරි ගමන කඩා කප්පල් කිරීමට රටට බොරු ප්‍රචාරයක් ගෙන යෑමට කරන ලද ක්‍රියාවක් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

උපුල් ශාමල් බණ්ඩාර මහතා පැවසුවේ මෙසේය, - "එජාපයේ ගමන ඉවසා ගන්න බැරි අවස්ථාවාදීන් කිහිප දෙනෙක් ඉන්නවා.

ඊයේ රෑ වටේට ගිහින් බුදු පිළිම කිහිපයකට හානි කරලා ඒ වැඩේ මේ පක්ෂයේ වැඩක් කියන තත්වයට දාන්න තරම් පටු වෙච්ච ජාතිවාදියෝ ටිකක් ඉන්නවා. අමාත්‍යතුමාගෙන් මං ඉල්ලුවා මෙක සි.අයි.ඩි එකට භාර දිලා විශේෂ විමර්ශනයක් කොට මෙ කරපු උන් ටික ජනතාව ඉදිරියේ දන ගස්වන්න කියලා."

මෙලෙස ප්‍රසිද්ධ වේදිකාවේ චෝදනාව කිසිදු පරීක්ෂණයක් ගැන නොදැන අදහස් පළ කිරීම වැරදි ක්‍රියාවකි. වගකීමකින් රටක ජනතාවට මග පෙන්විම දේශපාලකයන් සතු විය යුතු ප්‍රමුඛ වගකීමකි. මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයිති හෙම්මාතගම මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල දෙමළ ජනතාව විශාල පිරිසක් ජීවත් වෙති. ඔවුන් අතර සංහිඳියාවක් ඇති කිරීමට හා එකමුතුව සිටිමට අවශ්‍ය පසුබිම පරිසරය මගින්ම නිර්මාණය වි තිබුණු අතර මිට වසර 8 කට පමණ පෙර මාවනැල්ල හෙම්මාතගම වැනි ප්‍රදේශවල මුස්ලිම් දරුවන් ගියේ සිංහල පාසල්වලටය. එමෙන්ම ක්‍රීඩා හා උත්සව කටයුතුවලදි ඔවුන් සාමුහිකව ඒකාමෙන් ජීවත් වූ අතර මෑතකදි ක්‍රම වේද පසෙකලා ජාතිවාදි ආගම්වාදි ක්‍රියාවන් ඔස්සේ ඔවුන් අතර වෙනස්කම් ඇති වු අතර ඒවා සිදු වුයේ වෙනත් මත ඔස්සේ පටු අරමුණුවලින් ඉදිරියට යන්නට උත්සාහ කරන කිහිප දෙනෙක් හේතුවෙනි.

සති දෙකකට පෙර හෙම්මාතගම නගරය මැදින් පල්ලිපොරුව සිංහල ගම්මානයට යෑමට ඇති මාර්ගයේ ගමන් කළ පාසල් වයසේ සිංහල දරුවන් දෙදෙනෙකුට හා දැරියන් තිදෙනකුට පරුෂ වචනයෙන් බැණ වැදි මුස්ලිම් තරුණයක් පිරිසක් එම ප්‍රදේශයේම ග්‍රාම නිලධාරි මහතෙකුගේ දරුවකුට පහර දි තුවාල කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මහා සංඝරත්නය හා පල්ලිපොරුව හා අවට ගම්වාසීන් සියයකට වැඩි දෙනෙක් හෙම්මාතගම නගරයට එක් වු අතර පහර දීම කරන ලද තරුණයන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිද්ධිය සමතයකට පත් විය. හෙම්මාතගම පොලිසිය මෙ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරයි.

මෙලෙස කා කොටා ගනිමින් විවිධ ආගම්වලට අගෞරව කරමින් එම ආගමික ස්ථානවලට ශාස්තුවරුන්ගේ ආගමික නායකයින්ගේ ප්‍රතිමාවලට හානි කරමින් පටු අරමුණු ඔස්සේ ඉදිරියට යෑම අපේ සමාජයට රටට විශාල තර්ජනයකි. මෙ සෑම සිද්ධියක් පිටුපසම සිටින්නේ සුළු පිරිසකි. අවසානයේ සියලු පිරිස් මේ නිසා ගැටෙති. අපේ දරුවන්ට ආරක්ෂාකාරී රටක් නිර්මාණය වන්නේද නැත.

2002 වර්ෂයේ දී මාවනැල්ලේ සිංහල මුස්ලිම් ජනතාව විශාල ගැටුමකට මැදි වූ අතර දේපොළ මෙන්ම තවත් හානි රැසක අමිහිරි මතක සටහන්ද පවති. එසේ හෙයින් මෙම සිද්ධිද එවන් තත්වයක් කරා රැගෙන යෑමට අවශ්‍ය නැත. පටු අරමුණු ඔස්සේ ඉදිරියට යමින් සමාජය වනසන පිරිසක් සියලු ජාතින්වල ඇත්නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. දේශපාලනඥයින් මීට වඩා වගකීමකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය. දෙසැම්බර් 27 වැනි දින උදෑසන වන විටත් ත්‍රීවිධ හමුදා විශේෂ කාර්ය බලකාය මාවනැල්ල හා අවට නගරවල ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණේ ගැටුමක් නිර්මාණය විමේ තත්වයන් අවම කර ගැනීමටය. 26 වැනි දින මාවනැල්ල නගරය ආසන්නයේ ඇති බෙලිගම්මන පොත්ගුල් විහාරයට ආගමික නායකයෝ එක්කාසු වූහ. සවස මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සර්ව ආගමික නායකයින් ඇතුළු සිංහල මුස්ලිම් විවිධ ජාතින් නියෝජනය පිරිස් දේශපාලනඥයින් රජයේ නිලධාරින් සහභාගි කර ගනිමින් සාකච්ඡාවක්ද පැවැත්වුයේ ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම පෙරදැරි කරගෙනය.

මෙ වන විට සමාජ ජාල වෙබ් පිටුවල හා ෆෙස් බුක් හරහා විවිධ ප්‍රචාර සංසරණය වෙමින් පවති. එහි සමහර තොරතුරු සහ වීඩියෝ පළ වෙන අතර ඒවා අසත්‍ය තොරතුරුය. ඒ මගින්ද සමහර දේවල් ජාතිවාදි ස්වරූපයෙන් ඉස්මතු වීමට ඉඩ ඇති අතර ඒවා අවම කර ගැනිමටද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

බුදු පිළිම කැඩිමට එහා ගිය මිනිස් ජිවිත පවා අහිමි කිරිමේ කටයුතු මිට පෙර මාවනැල්ල ආශ්‍රිතව වාර්තා වූ බව බුදුගල ජිනවංශ හිමියෝ පවසති.

මෙවැනි පසුබිමක් යටතේ සියලු දෙනා වගකීමෙන් සිය කටයුතු කිරීම අවශ්‍ය වන අතර නීතිය කඩ කරමින් කරන ක්‍රියාවලදි ඒ සුලු පිරිස හඳුනාගෙන අවශ්‍ය දඩුවම් පැමිණවිය යුතුය. ප්‍රදේශවාසින් මෙම ක්‍රියාව අල්ලා දෙන තෙක් මාවනැල්ල පොලිසිය විදිමත් ක්‍රමයක් සකස් කර නිතීයේ රැහැනට මෙම තරුණයන් කොටු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ පොලිසිය කෙරෙහි කලකිරීමක් ද ඇති වී තිබේ.

දිදුලවත්ත බුදු පිළිමය අසලදි පලා ගිය සැකකරු, ඔහුගේ වැඩිමල් සහෝදරයා සහ පියා මේ වන විට නිවස අතහැර ගොස් ඇති අතර මාවනැල්ල පොලිසිය සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන කෑගල්ල අපරාධ විමර්ශන අංශයට හා බුද්ධි අංශවලට ඉදිරි පරික්ෂණ සිදු කිරිමට භාර දී ඇත.

සමන් විජය බණ්ඩාර
මාවනැල්ල විශේෂ


නව අදහස දක්වන්න