මනුස්සකමට ස්තුතියක් | දිනමිණ

මනුස්සකමට ස්තුතියක්

අසේල කුරුළුවංශ

ඝාතනයට ලක්වූ කුමාරසිංහ විසූ අම්බාල ප්‍රදේශය ආශ්‍රිතව මුස්ලිම් පවුල් තිස්හයක් පමණ ජීවත් වුවත් අම්බාලේ සිංහල වැසියෝ ඔවුනට වැලි ඇටයක තරම් හිරිහැරයක් වීමට ඉඩ නොතැබූහ.මෙයට ගෞරව දක්වමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමය සහ දාරුල් ඉනාබා අරමුදල එක්ව ප්‍රදේශයේ සිංහල,හින්දු හා කතෝලික සියලු පාසල් දරුවන්ට නව පාසල් වාරය වෙනුවෙන් පොත්පත්,බෑග්,සපත්තු ඇතුළු සියලු ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවේ පේරකැටිය ශ්‍රී ජිනරතන බෞද්ධ මධ්‍යස්ථානයේදීය.

අම්බාල පුස්බෝවේ පදංචි තිස් අට හැවිරිදි තිලකා පද්මකුමාරි දෙදරු මවකි.වැන්දඹුවක් වන ඇයගේ එකොළොස් හැවිරිදි බාල පුතු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකි.වැඩිමහල් දියණිය ඉගෙනුම ලබන්නේ දහවන ශ්‍රේනියේය.මෙයට මාස දහකට පෙර ඔවුන් සොයා පැමිණ ඔවුන්ට සරණ වීමට පොරකෑ පිරිස් අද ඔවුන් අතහැර ගොස්ය.එසේ පොරකෑ පිරිස අතර දේශපාලනඥයින් මෙන්ම සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටිය බව කියන සංවිධාන නියෝජිතයෝද සිටියහ.කල දුටු කල වළ ඉහා ගත් මෙම පිරිසට දැන් මෙම පවුලෙන් වැඩක් නැත.තිලකා දරු දෙදෙනා සමඟ දැන් ජීවත් වන්නේ මියගිය සැමියාගේ මව්පියන් සමඟය.අවුරුදු හැත්තෑ පහද ඉක්මවා සිටින ඔවුන්ද රැකබලා ගැනීමට සිදුව තිබෙන්නේද තිලකාටය.

පියාගේ මරණය සිදුවූ අවස්ථාවේ තම නිවසට පැමිණි හාමුදුරුවරු හා සිංහ ලේ ඇති පිරිස් අද නිවෙස පැත්ත පළාතක හෝ නොඑන්නේ ඇයි දැයි තිලකාගේ දරුවන්ටද ප්‍රශ්නයක් වී තිබෙන්නේ පිය සෙනෙහස අහිමි දරුවන්ට ඔවුන් එදා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රැසක් ලබාදුන් නිසාය.තිලකාගේ ආදරණීය සැමියාගේ මරණය හේතුවෙන් මහනුවර ජාති හා ආගම්වාදී ගිනි දැල් පැතිර වූවන්ට අද එච්.ජී කුමාරසිංහ නාමයද අමතකව ගොසිනි.

පසුගිය වසරේ පෙබරවාරී මස 22 දින තෙල්දෙණිය නගරයේදී බීමතින් සිටි මුස්ලිම් ජාතික තරුණයින් සිව් දෙනෙකුගේ පහර කෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුමාරසිංහ මිය ගියේ මාර්තු මස තුන්වන දා මුස්ලිම් ජාතිකයින් පිරිසක් සිද්ධියේ සැකකරුවන් වීම ප්‍රයෝජනයට ගත් ජාතිවාදී කණ්ඩායම් තෙල්දෙණිය,දිගන,කෙන්ගල්ල,මඩවල,කටුගස්තොට,අඹතැන්න ආදි ප්‍රදේශ ගණනාවක මුස්ලිම් දේවස්ථාන,ව්‍යාපාරික ස්ථාන හා නිවාසවලට පහරදී මහ විනාශයක් කළහ

.මෙම ගැටුම්වලින් තවත් සිංහල හා මුස්ලිම් තරුණයෙකුට ජීවිත අහිමි විය.ඝාතනයට ලක්වූ කුමාරසිංහ විසූ අම්බාල ප්‍රදේශය ආශ්‍රිතව මුස්ලිම් පවුල් තිස්හයක් පමණ ජීවත් වුවත් අම්බාලේ සිංහල වැසියෝ කිසිවකුත් ඔවුන්ට වැලි ඇටයක තරම් හිරිහැරයක් වීමට ඉඩ නොතැබූහ.මෙයට ගෞරව දක්වමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමය සහ දාරුල් ඉනාබා අරමුදල එක්ව ප්‍රදේශයේ සිංහල,හින්දු හා කතෝලික සියලු පාසල් දරුවන්ට නව පාසල් වාරය වෙනුවෙන් පොත්පත්,බෑග්,සපත්තු ඇතුළු සියලු ද්‍රව්‍යය බෙදා දීමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවේ පේරකැටිය ශ්‍රී ජිනරතන බෞද්ධ මධ්‍යස්ථානයේදීය.

“මහත්තයා නැති වුණාට පස්සේ එක එක කට්ටිය මළ ගෙදරට ඇවිත් නොයෙක් පොරොන්දු දුන්නා.මහත්තයාගේ මළ සිරුර පාරට අරන් ගිහින් උද්ඝෝෂණ කරන්න පිරිසක් උත්සහ කළා.හැම තැනම කඩ ගිනි තියලා ලොකු විනාශයක් වුණා කියලා අපි පස්සේ දැන ගත්තේ.මොකද මෙහේ මොනවත් එහෙම සිද්ධි වුණේ නැහැ.සැමියා මරණයත් එක්ක දේශපාලනඥයින් ගෙදරට ඇවිත් නොයෙක් පොරොන්දු දුන්නා.ගේ හදලා දීලා මට රස්සාවක් දෙනවා කිව්වා.ළමයින්ට ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් දෙනවා කිව්වා.ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ඇවිත් දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න රුපියල් එක් ලක්ෂ අට දාහක් දුන්නා.ජනාධිපතිතුමා හා ෆයිසර් මුස්තාපා ඇමැතිතුමයි ලක්ෂ හතර ගානේ දුන්නා.මධ්‍යම පළාත් ආණ්ඩුකරතුමිය හා ප්‍රධාන ඇමැතිතුමා ලක්ෂය බැගින් දුන්නා.මහත්තයාගේ අම්මා තාත්තා ලෙඩින්.පුතත් තනියම දාලා යන්න බැහැ.දුව ඉගෙන ගන්නවා.පවුලට දැන් ආදායම් මාර්ගයක් නැහැ.ලැබුණු මුදල් වලින් තමයි ජීවත් වන්නේ.මහත්තයාගේ මරණෙත් එක්ක ආපු කට්ටිය දැන් එන්නේ නැහැ.අපි මේ ගමේ මුස්ලිම් ජනතාව එක්ක සමඟියෙන් ජීවත් වෙනවා.අපි දැකලවත් නැති පිරිසක් තමයි මළ ගෙදරට ඇවිත් අපිව එක එක දේට පොළඹවන්න උත්සාහ කළේ.පන්සලේ නායක හාමුදුරුවෝ මේවා අනුමත කළේ නැහැ....“තිලකා පද්මකුමාරි පවසයි.

අම්බාල මුස්ලිම් දේවස්ථානයේ මොහොමඩ් ෆාහීර් මවුලවී තුමා.

“කුමාරසිංහ මහත්තයාගේ මරණයත් එක්ක මහනුවර පුරා මුස්ලිම් ජනතාවට පහර දීම් සිදුවුණා.ඒත් කුමාරසිංහ මහත්තයා ජීවත්වූ ගමේ මුස්ලිම් ජනතාවට හෝ පල්ලියට කිසිම හානියක් වුණේ නැහැ.මේ ගමේ හාමුදුරුවෝ හා සිංහල ජනතාව අපිව ආරක්ෂා කළා.මියගිය කුමාරසිංහ මහත්තයාගේ පවුලේ අයට නොයෙක් සංවිධාන වලින් බලපෑම් එල්ල වුණත් ඔවුන් මුස්ලිම් ජනතාවට විරුද්ධව කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.සමස්ත මුස්ලිම් ජනතාවගේම ගෞරවය ඒ නිමිත්තෙන් මේ ගමේ සිංහල ජනතාවට ලබා දෙනවා..

පේරකැටිය ශ්‍රී ජිනරතනාරාමයේ මුස්ලිම් ජනතාව විසින් ඉදිකළ ඵලකයක් විවෘත කිරීම මෙදින සිදු කෙරුණි.වසර 2018 මාර්තු මාසයේ ජාතීන් අතර සාමය කඩවීමට ඉඩ නොදී සමඟිය,සංහිඳියාව හා එකමුතුකම ඇති කිරීම උදෙසා නිර්භීතව ඉදිරිපත්වී මහනුවර දිගන තෙල්දෙණිය අම්බාල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය හා ඒ අවට පදිංචි පවුල් වලට කිසිදු හානියක් වීමට නොදී ආරක්ෂා කළ පේරකැටිය ශ්‍රී ජිනරතනාධිපති කීනපැලැස්සේ උපාලි ඥානිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු අම්බාල ප්‍රදේශයේ සියලුම බෞද්ධ සහෝදර ජනතාවට ප්‍රදේශවාසී මුස්ලිම් ප්‍රජාවගේ පිදෙන ස්තූති පූර්ව ගෞරවනීය උපහාරය ලෙස එහි සඳහන් කැර තිබිණි.ඒ ඥානිස්සර හිමියන් එදා ජාතිවාදී ගිනිදැල් වලින් අම්බාල ඇවිලී යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීම පිණිස ගත් වෙහෙසට උපහාර ලෙසය.

අපි ජීවත් වන්නේ බහු ජාතික රටක.මේ ජාතීන් එකිනෙකා අතර විශ්වාසය ගොඩ නගා ගැනීම වැදගත්.අපි අතරට පැමිණෙන පිටස්තර බලවේග නොයෙකුත් පටු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා මේ විශ්වාසය බිඳ දමනවා.කුමාරසිංහ මහත්තයාගේ මරණයත් මේ ය පාවිච්චි කළේ ඒ වගේ වැඩකට.මේ සිදුවීම් නිසා අම්මාලා කීදෙනෙකුට අනේ මගේ කොල්ලා බේරලා දෙන්න කියලා පොලීසි ගානේ යන්න වුණාද?ඒත් මේ ගමේ එක අම්මා කෙනෙකුට එහෙම යන්න සිද්ධ වුණේ නැහැ.බුදුන්ගේ ධර්මය අනුව කටයුතු කිරීම නිසා තමයි ඔවුන්ට ඒ සැනසීම ලැබුණේ...පේරකැටිය ශ්‍රී ජිනරතනාධිපති කීනපැලැස්සේ උපාලි ඥානිස්සර හිමියෝ පවසති.

“අද අපි මේ ගමේ පාසල් දරුවන්ට පොත්පත් අරගෙන ආවා.අපි හැමෝම ශ්‍රීලාංකිකයෝ. අපි මේ රටේ විවිධ ජාතින් ලෙස බෙදී හිටියත් පිට රටකට ගියාම අපි හැමෝම ශ්‍රීලාංකිකයෝ විදිහට එකට එකතු වෙනවා.ඒ එකතු වීම ගුවන් තොටුපොළේදී අතහැර නොදමා රටට අරගෙන එන්න ඕන.අන්තවාදී කණ්ඩායම් හැම ජාතියකම ඉන්නවා.මේ අය ක්‍රියාත්මක වන්නේ යහපත් මිනිස්සු නිහඬවූ විටයි.අපි සෑම සිකුරාදාවකම පල්ලියේ දේශන වලදී ජාතික සමඟිය හා සමජීවනය ගැන කතා කරනවා.අන්තවාදය අපි පරාජය කළ යුතුයි.ඒ සඳහා මෙවැනි වැඩසටහන් තව තයත් සංවිධානය විය යුතුයි.අබ්දූල් ෆස්රූල් මහනුවර ප්‍රධාන මවුලවී තුමන් ප්‍රකාශ කළේය.

මහනුවර දිගන ආශ්‍රිතව පසුගිය මාර්තු මස ඇතිවූ සිදුවීම් වලින් මුස්ලිම් ජනතාවට විශාල හානියක් සිදුවූවේ යැයි සිතා සිටියත් ඇත්තටම ඉන් වැඩිම හානිය සිදුවූයේ සිංහල බෞද්ධ ජනතාවටයි.සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වන මේ රටට එමඟින් සිදුවූ පාඩුව රුපියල් කෝටි 800 කට වැඩියි.මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 40 % කින් පහත වැටීමට එම සිදුවීම් බලපෑවා.ඉතා සුළු පිරිසක් මැදිහත්ව දියත් කළ ප්‍රචන්ඩ ක්‍රියා නිසා සමස්ත රට වැසියාටම වන්දි ගෙවීමට සිදු වෙනවා.ඇත්තටම මම මේක හඳුන්වන්නේ ශ්‍රීලාංකිකයින්ට විරුද්ධව ශ්‍රීලාංකිකයින් කළ දෙයක් හැටියටයි.ජෙරම් ලියනගේ මහතා පවසයි.

අම්බාලේ පදිංචිව සිටි කුමාරසිංහගේ මරණයත් සමඟ අම්බාලේ හැර මහනුවර ප්‍රදේශ රැසක ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය.ඒවා මෙහෙය වූවන්ට එරෙහිව පොලීසිය අධිකරණයේ නඩු පැවරීමෙන් පසු මේවන විට ඒවා විභාග වෙමින් පවතී.අදාළ ගැටුම් වලට තරුණ තරුණියන් එකතු කර ගැනීම පිණිස කුමාරසිංහගේ මරණය පාවිච්චි කළ පිරිස් අද ඔවුන්ගේ පවුල දෙස හැරී හෝ බලන්නේ වත් නැත.ජාතිවාදී ගැටුම් නිර්මාණය කරනු ලබන පිරිස් තුළ සැබෑ ජාති ආලයක් නොමැති බව කියන්නට ඇති හොඳම උදාහරණය මහනුවර දිගන ආශ්‍රිතව සිදුවූ ගැටුමය.ගැටුම් වලට නායකත්වය දුන් පිරිස් අද දේශපානයට පිවිසීම සඳහා තබන පියවර තුළින් මේ තුළ ක්‍රියාත්මක වූයේ දේශපාලන වුවමනාවන් මුදුන් පමුණුවා ගැනීමක් බව තේරම් ගැනීම අපහසු නැත. ගැටලුව වනිටනි එකී වුවමනාවන්වගට රටේ ජනතාව තවදුරත් ගොදුරුවනවාද යන්නය.


නව අදහස දක්වන්න