ශ්‍රීලනිපයත් ජනපතිත් රැක ගන්න කැප වෙනවා | දිනමිණ


 

ශ්‍රීලනිපයත් ජනපතිත් රැක ගන්න කැප වෙනවා

ඉදිරියේ දී ගොඬ නැඟෙන්නා වූ මහා පුළුල් ජාතික සන්ධානය වෙනුවෙන් අකලංක සහයෝගය ලබා දෙන බවත්, සියලු අභියෝගයන් හී දී එක්ව සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දෙන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් පක්ෂය බේද භින්න කිරීමට කුමන්ත්‍රණයක් කරන බවට මතුව ඇති සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

මෙම කණ්ඩායම මාගේ නම ඈදා ගනිමින් මාධ්‍ය මඟින් විවිධ පුවත් පළ කරනවා. මාගේ නිහඬතාවය සත්‍ය වසන් කර අසත්‍යය තව දුරටත් පැතිර වීමට තෝතැන්නක් විය හැකියි. ඒ තත්ත්වය නිවැරදි කළ යුතුයි. රෙජිනෝල්ඩ්ගේ නිවෙසේ 18 දෙනකුගේ කණ්ඩායමක් රැස් වී ශ්‍රීලනිප ය බේද භින්න කිරීමට, වෙනත් මඟක් ගැනීමට යන ප්‍රකාශ කළා.

කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසන අන්දමට හැඟීයන්නේ එම 18 කණ්ඩායමේ පිටුපසින් වසන් වී රෙජිනෝල්ඩ් කුරේ සිටින බවයි.

මාගේ පරිශ්‍රයක එම සාකච්ඡාව පැවැත්වීමට මා ඉඩ දුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත්‍රණයක් කිරීමට නොවන බව මා පැහැදිලිව ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. එවැනි කුමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම් එවන් ස්ථානයක කිසිවිටක එම රැස්වීම පැවැත්වීමට තරම් මා අඳ බාලයකු නොවෙයි.

කුමන්ත්‍රණයක් නම් එම සාකච්ඡාවට පැමිණි සියලු දෙනාගේ අත්සන් ලේඛනයක් ලබා ගන්නේ නැහැ.

මෙම සාකච්ඡාව පිළිබඳ එස්. බී. දිසානායක මහතා ද මගෙන් විමසීමක් කළා. ජනාධිපතිතුමා කරුණු විමසුවා. මා කිසිදු දෙක් සැඟවුයේ නැහැ.2018 දෙසැම්බර් 18 වැනි දින සවස 3.15ට රැස්වීම පටන් ගන්නා බව ජනාධිපතිතුමා ද දැන සිටියා. මම සවස 3.40ට මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිවීම සඳහා රැස්විම අතරමැද පිටත්ව ගියා.මෙම රැස්වීම පැවැත්විම පිළිබඳව හෝ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ මා කිසිවක් සාකච්ඡා කෙළේ නැහැ.

මවා ගත්, නිර්මාණය කරන ලද, අනුමාන කරන ලද ප්‍රබන්ධකරුවන්ට මා විසින් පැවසිය යුතු දෙය නම්,

මා කිසි විටක ශ්‍රීලනිප. ය අත් හැර නොයන බවයි. පක‍්ෂය හමුවේ ඇති සියලු බාධක හමුවේ නොසැලී සිටිමින් ජනහිතකාමී, මානවප්‍රේමී, දේශප්‍රේමී, පරිසරහිතකාමී, පීඩිත පන්තීන්ගේ හා ප්‍රගතිශීලීන්ගේ පක‍්ෂයක් ලෙස ශ්‍රීලනීපය නඟා සිටුවීමට මා සහය දෙනවා. වසර 45ක පමණ දීර්ඝ කාලයක සිට දේශපාලනයේ යෙදී සිටි මා මගේ ජීවිතයේ ඉදිරි කාලය තුළදී ද නව ලිබරල්වාදයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී, නව යටත් විජිත විරෝධී, විදේශ ගැති භාවයට එරෙහි, ජාතිවාදයට, කුලවාදයට, පවුල්වාදයට, දූෂණයට එරෙහි, ජනසම්මතවාදී, සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරන්නට කැමැතියි.

නව අදහස දක්වන්න