ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාව තුන්වැනි වරටත් විනෝද්ට | දිනමිණ

ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාව තුන්වැනි වරටත් විනෝද්ට

ෆවුස් මොහොමඩ්
ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යධිකාරි ෂුන් ටියාන් ෂිං සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම මහත්වරු ජාතික කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ සමග.

දෙවැනි වරටත් ශූරිය ටානියා

මෙරට කනිෂ්ඨ ගොල්ෆ් තරග බිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මුවහත් කරන ප්‍රීමා කුසලාන ජාතික කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේදී පිට පිට තුන්වැනි වරටත් ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා ලෙස කිරුළ පැළඳීමට කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ විනෝද් වීරසිංහ සමත්විය. වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ හාරුන් අස්ලම් සමග කරට කර සටනක නිරතවූ විනෝද් අවුරුදු 15-18 වයස් කාණ්ඩයේ රන් පදක්කම දිනාගනිද්දි අස්ලම්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

අඛණ්ඩව 11 වැනි වරටත් ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වයෙන් පසුගියදා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජ පිටියේ පැවැති මේ තරගාවලියේ දී පිට පිට දෙවැනි වරටත් ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරිය බවට පත්වීමට කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ටානියා මිනෙල් බාලසූරිය සමත්වූවාය. වසර 2017දී පළමු වරට මේ තරගාවලියට එක්වූ ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරිය තේරීමේ තරගයෙන් ජයගත් ටානියා මෙවර එම ක්‍රීඩා සමාජයේහිම කයිලා පෙරේරා හමුවේ විශිෂ්ට දස්කම් දක්වමින් සිය කිරුළ රැක ගත්තාය. රන් හා රිදී ඒකාබද්ධ තරග අංශයෙන් ටානියා ජයලබද්දී කයිලාට හිමිවූයේ අනුශූරතාවයයි.

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ මෙහෙයවීමෙන් පැවැති ජාතික කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක තරග අංශයේ තුන්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ පසුගිය වසරේදී රිදී පදක්කමට හිමිකම් කී නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ එස්.දුවර්ෂන් විසිනි. සිවුවැනි ස්ථානය කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ඩිල්ෂාන් මලින්ද අත්කරගත්තේය. එම ක්‍රීඩා සමාජයේ ශෙරින් මිතාරා බාලසූරිය සමස්ත තරගාවලියේ බාලිකා අංශයේ තුන්වැනි ස්ථානය දිනාගත් අතර එම කණ්ඩායමේ අරීකා වික්‍රමසිංහ සිවුවැනි ස්ථානය අත්කරගත්තාය.

අවුරුදු 12-14 වයස් කාණ්ඩය සඳහා වන රිදී පදක්කම් තරග අංශයේ සියළු ගෞරව කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයට අත්විය. එම තරග අංශයේ ජය නිරේෂ් තෙජ්වානි දිනාගනිද්දී යැනික් කුමාර දෙවැනි ස්ථානයට පත්විය. එහි තුන්වැනි ස්ථානය කේ.ධනුෂාන්ටත්, සිවුවැනි තැන ලෙවොන් නියරේපොලටත් හිමිවිය. 2017 වසරේදි අවුරුදු 10-12 වයස් කාණ්ඩය සඳහා වන ලෝකඩ පදක්කම දිනාගත් ශෙනාල් බිනුෂ්ක මෙවරත් සිය පදක්කම රැකගැනීමට සමත්වූ අතර රෂේන් අල්ගම දෙවැනි ස්ථානය දිනාගත්තාය. තුන්වැනි තැන කේවොන් ටෙජ්වානි ද, සිවුවැනි තැන කායා දළුවත්ත ද අත්කර ගත්හ.

අවුරුදු 9න් පහළ වයස් කාණ්ඩය සඳහා වන තඹ පදක්කම නුවරඑළිය ගොල්ෆ් සමාජයේ සී.ධරනියන් දිනාගනිද්දී එහි දෙවැනි ස්ථානය හිමිවූයේ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ වරුන් ප්‍රනාන්දුටය. ටී.දේශාන් තුන්වැනි ස්ථානය දිනාගත් අතර තේජාස් රතිෂ් කාන්ත් සිවුවැනි ස්ථානයත්, කේෂව් අල්ගම පස්වැනි ස්ථානයත් අත්කර ගත්හ.

 

නව අදහස දක්වන්න