නැවේ සාදයේ ප්‍රතිඵල ලැබේ | දිනමිණ


 

නැවේ සාදයේ ප්‍රතිඵල ලැබේ

සාදයේ ප්‍රධාන සත්කාරකවරයා වූ එමීර් යසීර් හබීබ් ලෙෆ්ට් හෑන්ඩ් මහේශාක්‍ය ලීලාවෙන් සුඛෝපභෝගී ලිමෝසීන් රථයකින් නෞකාව නැංගුරම්ලා තිබුණු ජැටියට ආවේ පරිවාර ජනයා හා හැඩිදැඩි පෙනුමැති ශරීර ආරක්ෂකයන් දෙදෙනකුද පිරිවරාගෙනය. නෞකාව කරා දිවෙන ජැටිය ඔස්සේ ඔහු පිරිවරත් සමඟ ගාම්භීර ලෙස ඇවිද යද්දී අරාබි එමිර්වරයකු දැක ගැනීමට දෙපස රැස්කමින් සිටි පිරිසට අතවනා ආචාර කිරීමට අමතක කළේද නැත. පිරිවර පිටුපසින්ම ආවේ වෙයින්බර්ග් හා ඇමරොසෝය.

බුමුතුරුණු පිරිසුදු කරන වාෂ්ප යන්ත්‍රවලින් පිරිසුදු කෙරුණු නෞකා රාජයා උත්සව සිරියෙන් බැබළෙමින් තිබිණි. යසීර් පිරිවර සමඟ නැව් තට්ටුවට ගොඩවෙද්දී, අලුත් සුවඳ විහිදුවන කිරි සුදු නිල ඇඳුම්වලින් සැරසුණු කපිතන්වරයා ඇතුළු නාවික කාර්ය මණ්ඩලය ලෙස වෙස්වළා ගත් එෆ්.බී.අයි. නිලධාරීන් ගෞරව සම්ප්‍රයුක්තව එකත්පස්ව නැඟී සිටියේ කලකට පසු දුටු සිය ප්‍රධානියා පිළිගැනීමටය. ඒ වන විට ආරාධිතයින් සියල්ලෝම පැමිණ සිටියහ. අඩුවට සිටියේ එමීර් පමණි. ඒ අඩුව සම්පූර්ණ වීමත් සමඟ කාගේත් සතුටු සිනා හඬ මැද සාදය ඇරඹූණි. එරිචෙට්ටිගේ හා ඔහුගේ මිත්‍රයාගේ අනුග්‍රහයෙන් සපයා තිබුණු මිල අධික මත්පැන් හා ආහාරවලින් පිරිසට සංග්‍රහ කිරීමට ටයි කෝට්වලින් සැරසුණු වේටර්වරු නැව් තට්ටුව මත ඔබ මොබ ගියහ. වේටර්වරුන් සඳහා අනුග්‍රහය සැපයුණේද නගරාධිපතිවරයාගෙනි. ඒ සියල්ල අතර නෞකා සාදයේ අංක එකේ රස මසවුල වූයේ කාර්පෙන්ටියර්ගේ අරුම පුදුම දෙමුහුන් ගොන්-මී හරක් මස්ය. සද්දන්ත ජෝර්ජ්ද චිවාස් රීගල් බෝතල් අමතක කර තිබුණේ නැත. ආරාධිතයින්ගේ වැඩිම ඉල්ලුම තිබුණේද ඒවාටය.

නැවේ සඳළුතලයේ සිට වෙයින්බර්ග් පහළ රැස්ව සිටින පිරිස දෙස එබී බැලූවේ සෑහීමට පත් සිතකිනි. පැමිණෙන ආරාධිතයින් පිළිගෙන එමීර්වරයා වෙත ගෙන ගොස් හඳුන්වාදීමේ වගකීම පැවරී තිබුණේ ඇමරොසෝටය. පාරිම්පරික කිණිස්ස යසීර් විසින් එරිචෙට්ටි වෙත පිරිනමද්දී ඔහුගේ දෑස් කඳුළින් දිලිසුණේ ප්‍රීතියටද නැතිනම් අවස්ථාවේ සංවේදිකම නිසාද කියා දන්නේ නගරාධිපතිම පමණි. එමිර්ට ස්තූති කිරීම සඳහා කලින් පුරුදුව පැමිණි කෙටි හරබර දේශනය හේ අවසන් කළේ හැඬුම් ස්වරය නිසා වචනද පටලවා ගනිමිනි.

“මිත්‍රත්වය තමයි හැමදේම. ඊට වඩා දෙයක් තවත් නැහැ.“ එරිචෙට්ටි නැවත නැවත එයම කියද්දී ඔහු අවස්ථාවේ අතිශය සංවේදීව සිටින බව තේරුම් ගැනීමට කාටත් අසීරුවුණේ නැත. ඉන්පසුව එළැඹූණේ ඡායාරූප ගැනීමේ අදියරයි. සෙනේට් සභික විලියම්ස්, නගරාධිපති එරිචේට්ටි, කාර්පෙන්ටියර්, ටෝර්කැසියෝ ඇතුළු වැදගත් අමුත්තන් සියලුදෙනාම එමීර් සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට වලිකෑවේ එය ගෞරවයක් ලෙස සැලකූ බැවිනි. යසීර්ගේ ඡායාරූප ශිල්පියාගේ කැමරාවට ඉස්පාසුවක් තිබුණේ නැත. ඇමරිකාවේ නම ගිය දූෂිතයින්, මැරවරයන් සමඟ යසීර් එකට හිඳ දිගට හරහට ඡායාරූප ගනිද්දී, ඇබ්ස්කැම් මෙහෙයුම අධිකරණයට ගෙනයාමට අවශ්‍ය සාක්ෂි මදි නොකියන්නට ගොඩගැසෙන්නට විය. ඡායාරූප ගැනීමේ කලබගෑනිය අවසන් වූ සැණින් සියලුදෙනාගෙන්ම සමුගෙන යසීර් කුටියට වැදුණේ නියම රාජකීයකුගේ සම්මත අකුරටම පිළිපදින බව කාටත් නොකියා කියමිනි. සමුදීමට පෙර, කා බී හොඳින් විනෝදවන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටීමටත් හේ අමතක කළේ නැත.

එය අමුතුවෙන් ඉල්ලා සිටීමට ද අවශ්‍ය වූයේ නැත. ලෙෆ්ට් හෑන්ඩ් සාදයට පැමිණීමට ආරාධනා ලැබූවන් සියල්ලන්ම කා බී විනෝදවීමට උපන් හපනූන්ය. හොර මගඩි කෛරාටිකම්වලට දැක්වූ දක්ෂතාව හැරුණු විට එදා පැමිණ සිටි සියල්ලන් පොදුවේ දක්ෂ වූ අනෙක් එකම කාරණය කා බී ජොලි කිරීමය. ඒ සඳහා ඕනෑ තරම් සුපිරි පන්තියේ ආහාර, මධුවිත හා මත්පැන් එරිචෙට්ටි විසින් සපයා දී තිබිණි. විනෝදවන අතරම මොනයම් වෙට්ටුවක් දමා හෝ තම තමන්ගේ මඩිය තරකර ගැනීමටත් කිසිවකු දෙවරක් සිතුවේ නැත. කොටින්ම එහි සිටි සියලුදෙනාම පොර ඇල්ලුවේ එකිනෙකාවම රවටා ගැනිමටය.

මුලු සාදය පුරාම අසරණ මැකාතිට මයාමි නීතිඥ බෙන් කොහෙන්ගෙන් ගැලවීමක් තිබුණේ නැත. කමකට නැති කුණු ලෝභයකු බවට ආඩපාලි කියමින් නීතිඥයා මැකාති පිටුපස වැටී සිටියේ සිය හොර තැන්පතු සහතික තොගය යළි ලබාදෙන ලෙස කරදර කරමිනි. දෙදෙනාගේ බහින්බස්වීම ගුටිබැට හුවමාරුවකින් කෙළවර නොවුණේ සෙස්සන්ගේ මැදිහත්වීම නිසාය. ඒ අතර සද්දන්ත බෝම්බ ජෝර්ජ්ට වුවමනා වී තිබුණේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යසීර්ගේ නැව සතියකට කුලියට ගැනීමටය. සාදයට පැමිණ සිටි සද්දන්ත ජෝර්ජ් ශරීර ආරක්ෂකයකු සහ ව්‍යාපාරික සහකරු සමඟ කෙළින්ම ගියේ සෙනේටර් විලියම්ස් සමීපයටය. හොඳින් දන්නා හඳුනන අයකු බව කාටත් හැඟෙන පරිදි සෙනේට්වරයාට අතට අතදී ආචාර සමාචාර කළ සද්දන්ත ජෝර්ජ් යන්තමින් හෝ දන්නා බවක් සෙනේට්වරයාගේ අංග ලක්ෂණවලින් පළවූයේ නැත. පිරිස ඉදිරියේ පසුබා යාමට අකමැති වූ ජෝර්ජ් අතීත කතාවක් ගෙන හැර පාමින් සෙනේට්ර්වරයාගේ මතකය අලුත් කිරීමට සෑහෙන අරගලයක් කළේ කාට කාටත් ඔහුගේ පුරාජේරුවල ඇත්ත හොඳහැටි පැහැදිලි කරමිනි.

“ඇයි සෙනේට්තුමෝ මාව මතක නැද්ද? මමනේ නිව් ජර්සිවල ඉන්න කාලේ ඔබතුමාගේ ගෙදරටම කාර් එකක් ගෙනල්ලා ගොඩබාලා දුන්නේ ? ඒ කාලේ ඔබතුමා කාර් එක ගත්ත තැන බඩු ඩිලිවරි කරන වැඩ භාරව හිටියේ මමනේ.“

නීතිවිරෝධී මත්‍ද්‍රව්‍ය ආනයනය කරන්නකු වූ ෆ්ලෝරිඩා නුවර තවත් නීතිඥයකුට අවශ්‍යව තිබුණේ සෙනේට්වරයා ලවා කෙසේ හෝ තමන්ගේ ගුවන්යානය නිදහස් කර ගැනීමටය. පොලිසිය කළ වැටලීමකදි, කොකේන් තොගයක්ද සමඟ අත්අඩංගුවට පත්වූ ගුවන්යානය යළි ලබාගැනීමට ඇමක් ලෙස මෙම සාදය යොදාගැනීමට සිතූ හෙතෙම එදින නැව් තට්ටුව පුරා කරක්ගැසුවේ පැමිණි සිටි කාට වුවත්, නොමිලේ කොකේන් වඩියක් උරන්නට අවස්ථාව ලබාදෙමිනි.

“එදා අපේ පාටියට හතළිහක් විතර ඇවිල්ලා හිටියා. ඔක්කොමලා හොරු, තක්කඩි, මැරවරයෝ. ඒ ඔක්කොටම තිබුණේ එකම අරමුණක්. කොහොම හරි, කාවහරි ලව්වා තමන්ගේ ඩීල් එකක් කරවාගන්න. ‘ආදර බෝට්ටු‘ කියලා ජාතියක් ටී.වී. එකේ පෙන්නනවා මම දැකලා තියෙනවා. ඒක ආදර බෝට්ටුව නම් මේක ‘රැවටිලි බෝට්ටුව‘. ඒක හරියට හොර තක්කඩියන්ගේ වාර්ෂික සමුළුවක් වගේ. හැමෝම ට්‍රයි කළේ හැමෝම රවට්ටන්න. ඒ කියන්නේ අපිත් එක්කම. “

වෙයින්බර්ග් කියන්නේ අතීත මතකවල මිහිරියාවේ ගැලෙමිනි. සාදය අහවර වීමෙන් පසු රාත්‍රියේදීත් වෙයින්බර්ග් සහ ඇමරෝසෝ නිකම් සිටියේ නැත. එරිචෙට්ටිගේ හෝටල් කාමරයට රැස්වූ දෙදෙනා උත්සාහ කළේ එරිචෙට්ටි ලවා කෙසේ හෝ කෙනත් මැක්ඩොනල්ඩ්ව අල්ලස් ලබාගැනීමට ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලය වෙත ගෙන්වා ගැනීමටය. සාදයේ උත්කර්ෂවත්බවෙන් හා අරාබි පාරම්පරික උරුමයක හිමිකරු වීමේ ප්‍රහර්ශයෙන් මත්වී සිටි නගරාධිපතිවරයා ඊට පොළඹවා ගැනීම එතරම් අසීරු වූයේ නැත. කෙසේවුව මුදල් ලබාදිය යුත්තේ තමාගේ අතට යන ස්ථාවරය වෙනස් කිරීමට එරිචෙට්ටි එකවරම කැමති වුණේ නැත. හෝටල් කාමරයේ සිටම මැක්ඩොනල්ඩ්ව ඇමතූ එරිචෙට්ටි ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලයේ හමුවක් සඳහා දිනයක් යොදා ගත්තේය.

සියල්ලට අමතරව සෙනේට් සභික විලියම්ස්ගේ හොර වැඩ එළිකරන හඬ පටයක්ද සාදය අවසන් වන විට වෙයින්බර්ග් සතුවිය. ටයිටේනියම් පතල කෙරෙහි තමා උනන්දුවන බව සෙනේට්වරයා පැහැදිලිවම එහි සඳහන් කළත්, ඒ පීළිබඳ කරුණු කාරණාවලදී වෙයින්බර්ග් හා ඇමරොසෝ ගනුදෙනු කළ යුත්තේ නීතිඥ ෆෙයින්බර්ග් සමඟ බවද ඔහු අවධාරණය කර තිබිණි. නමුත් සෙනේට්වරයාගේ වෘක හම ගැලවීමට එම හඬපටය ප්‍රමාණවත් බව කාටත් පැහැදිලිවම පෙනුණි.

පසුදින වන විට සාදයට පැමිණි අවසන් අමුත්තාත් පිටත්කර හැරීමට ගුවන්යානයට පටවා අවසන්ව තිබිණි. සාදයෙන් ලද ප්‍රගතියේ සංකේතාත්මක සාක්ෂි ලෙස ටොර්කැසියෝ, කාර්පෙන්ටියර්, ෆෙයින්බර්ග් හා සෙනේට් සභික විලියම්ස් වැනි ප්‍රධාන පෙළේ දූෂිතයින් රැසකගේ හොර එළි කරන හඬපට රාශියක් අබ්දුල් පාර්ශ්වයේ සන්තකයට පත්ව තිබිණි. හඬපට ඇල්බමයේ කවරයේ කතාව ලෙස අංක එකට වැජඹුණේ එරිචේට්ටි හා මැක්ඩොනල්ඩ්ය. සද්දන්ත ජෝර්ජ් ඇතුළු තවත් ආරාධිතයින් කිහිපදෙනකුගෙන්ම තවත් හොර තැන්පතු සහතික යථා කාලයේදී ලැබෙන්නට නියමිතව තිබිණි. එපමණක් නොව අනාගත මෙහෙයුම් සඳහා බිය සැක නැතිව තුරුම්පුවක් ලෙස යොදාගත හැකි විශ්වාසනීය අරාබි එමීර්වරයකුද මෙම සාදය නිසා ඇබ්ස්කැම් පාර්ශ්වයට ලැබී තිබිණි. එසේම ඇබ්ස්කැම් දැලට හසූවුවන් අතර ඇමරොසෝටද හොඳ පිළිගැනීමක් ඇති බැව් මෙම සාදයෙන් තහවුරු විය. නමුත් මෙම සාදයෙන් ලද වැදගත්ම ප්‍රතිඵලය, සමස්ත ඇබ්ස්කැම් මෙහෙයුමේ විශ්වාසනීයත්වය තහවුරු වීම බව සියල්ලන්ගේම ඒකමතික තීරණය විය.

එෆ්. බී. අයි. වොෂින්ටන් මූලස්ථානයේ ලොකු පුටු හොබවන්නන්ගේ පිළිගැනීම වී තිබුණේ ද එයමය. ජෝන් ගුඩ් විසින් සකස් කර යැවුණු වාර්තා හා හඬපට විශ්ලේශනය කළ බියුරෝවෙන් සාදයට සම්මාදම් වූ සියල්ලන් වෙත සුබ පතමින් ටෙලෙක්ස් පණිවුඩයක් ලැබීණි. සාදය පවත්වනවාට කෙරෙම් විරෝධයක් එල්ලකළාද යන වගක් වත් මතක නැති ගාණට එවා තිබුණු එම සුභාශිංසනයෙන් තහවුරු කෙරුණේ, බියුරෝවේ වගකිව යුත්තන්ගේ පෘථග්ජන ගතියකි. ඒ මුලින් එපා කිව් දෙයක් පසුව සාර්ථක ප්‍රතිඵල ලබාදුන් විට එම සාර්ථකත්වයට හිමිකම් කියන්නට, කලින් විරෝධය දැක්වූවන් කෙතරම් ආශා කරන්නේද යන්නයි.

සාදයට පසුව එලැඹූණු සතියේ, එනම් මාර්තු 31 වැනිදා, එරිචෙට්ටි නමෝ විත්තියෙන් කැසිනෝ කොමිසමේ කෙනත් මැක්ඩොනලඩ්ව අබ්දුල්ගේ ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලයට රැගෙන ආවේය. ඒ බෝට්ටු සාදය දා වෙයින්බර්ග්ට හා ඇමරොසෝට වූ පොරොන්දු අකුරටම ඉටු කරමිනි. අබ්දුල්ගේ පාර්ශ්වයෙන් හමුවට සහභාගි වූයේ මැකාති පමණි. ජෝන් ජේකබ්ස් හමුව පැවති කාමරයට යාබද කාමරයක සිට සුපුරුදු පරිදි සිදුවන සියල්ල වීඩියෝ කැමරා ආධාරයෙන් සජීවිව නැරඹූවේය . ඒ සඳහා අවශ්‍ය ආම්පන්න අටවා තිබුණේ, මැකාතිගේ මේස ලාච්චුවේය. මැකාතිගේ වගකීම වුණේ ඩොලර් ලක්ෂයේ අල්ලසට කරන්න යන්නේ කුමක්ද කියා මැක්ඩොනල්ඩ්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමත්, මැක්ඩොල්ඩ් සිය දෑතින්ම අල්ලස ලබාගැනීමට පොළඹවා ගැනීමත්ය. නීතිය ඉදිරියට මැක්ඩොනල්ඩ්ව ගෙනයාමට මෙම දෘශ්‍ය සාක්ෂියම පමණක් වුව ප්‍රමාණවත් බව එවැනි කරුණු සම්බන්ධයෙන් හසළ දැනුමැති ජේකබ්ස්ගේ අදහස විය.

නමුත් එම හමුව කෙළවර වූයේ විනාශයක් කට ළඟටම පැමිණීමෙනි. ඒ මෙවැනි කරුණු සම්බන්ධයෙන් කවදත් ප්‍රකට මැකාතිගේ නොහොබිනා කල්ක්‍රියාව නිසාය. එය ඇබ්ස්කැම් මෙහෙයුමේ මැකාතිගේ භූමිකාවේ අවසානයද සනිටුහන් කළේය. වෙයින්බර්ග්ගේ තර්කය ජයගත්තේය.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින්
වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - අල්ලස් මුදලින් සන්තෝසමක්

නව අදහස දක්වන්න