පාර පනින්න ගිය 11 වියැති දරුවා පාසල ඉදිරිපිට දී වෑන් රියට බිලි | දිනමිණ

පාර පනින්න ගිය 11 වියැති දරුවා පාසල ඉදිරිපිට දී වෑන් රියට බිලි

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

මීගමුව ගිරිඋල්ල මාර්ගයේ ගොඩිගමුව මහා විද්‍යාලය අසල දී ඊයේ උදේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලත් එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු රෝහල්ගත කරන අවස්ථාවේ මියගොස් ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගොඩිගමුව මහා විද්‍යාලයේ හය වැනි ශ්‍රේණියේ ඉගනුම ලැබූ ගොඩිගමුව බටකන්ද ජනපදයේ පදිංචිව සිටි වී. ඒ. අෂාන් මධුෂික 11 නම් දරුවෙකි.

මියගිය සිසුවාගේ සීයා දරුවා පාසලට කැඳවාගෙන ආ අවස්ථාවේ දරුවා පාර පැනීමේ දී මීගමුව දෙසින් පැමිණි ඇඟලුම් සේවිකාවන් ප‍්‍රවාහනය කරන වෑන් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත. වෑන් රියේ වැදුණු සිසුවා මීටර් 24 ක් දුරට විසීවී වැටී සිට ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත.

අනතුරට ලක්වූ සිසුවා අසල්වාසීන් විසින් ඒ ආසන්නයේම ඇති අකරගම රෝහලට ඇතුළත් කර ඇතත් ඒවන විටත් මරණයට පත්වී ඇතැයි හෙළිවී තිබේ. අනතුරට සම්බන්ධ වෑන් රථය හා එහි රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

නව අදහස දක්වන්න