‘සුරක්ෂා’ ඉදිරියටත් කැබිනට් අනුමැතිය හිමිවෙයි | දිනමිණ

‘සුරක්ෂා’ ඉදිරියටත් කැබිනට් අනුමැතිය හිමිවෙයි

සන්ධ්‍යා කරුණාරත්න

සුරක්ෂා රක්ෂණාවරණය ඉදිරියටත් ලබාදීමට කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (07) අනුමත කළ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙරට ලක්ෂ 45 ක් වන පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ස්වාභාවික මරණයකට මුහුණ දීමට සිදු වුව ද රුපියල් ලක්ෂයක් හෝ දෙකක් ගෙවීමට සුරක්ෂා රක්ෂණාවරණය යටතේ අනුමැතිය ලැබී ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (07) ප්‍රකාශ කළේය.

රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන විටදි රුපියල් 1000 ක් දුන් දීමනාව රුපියල් 3000 ක් දක්වා වැඩි කළ බවත් නිදහස් අධ්‍යාපන හදාරන දරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කර අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට අවශ්‍ය අණපනත් මේ වන විට සකස් කර ඇතැයි ද එය සම්මත කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් පසුගිය වසරේදීම ඉදිරිපත් කළේ යැයි ද ඇමැතිවරයා කීය. පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුව පක්ෂ දෙකක් ලෙස පැවැති නිසා අපේක්ෂා කළ පරිදි අණපනත් සම්මත කර ගැනීමට නොහැකි වූ බවත් මෙම අණපනත් සම්මත කර ගැනීමෙන් පසුව ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල ඉගෙනුම් ක්‍රමවේදය පමණක් නොව භෞතික සම්පත් පවා අධීක්ෂණය කිරීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

එවිට හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ස්ථාපිත කළ නොහැකි යැයි ද, ප්‍රමිතියෙන් යුක්ත පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම රජයේ අරමුණ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

වසර ගණනාවක් ආණ්ඩු කළත් ඒ සම්බන්ධයෙන් ආරම්භයක්වත් ලබාදීමට බන්දුල ගුණවර්ධන මහත්වරු අපොහොසත් වූයේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න