අව්වට පිච්චෙන වැස්සට තෙමෙන රට බස් හෝල්ට් | දිනමිණ

අව්වට පිච්චෙන වැස්සට තෙමෙන රට බස් හෝල්ට්

‘අපේ බඩුවලට වඩා රට බඩු කොහොමත් හොඳයි නේද ඇම්බන් මහත්තයා...? කියා ටොම්සන් මහත්තයා ඇසුවේ උදේ තේ බොන ගමන්ය.

‘ඒ මොකද ටොම්සන් මහත්තයා හිටපු ගමන් රට බඩු මතක් වුණේ...? කියා උන්නැහේ ඔලොක්කුවට මෙන් ඇසුවේය.

‘නෑ ඉතින්... අපේ හැටි එහෙමනේ. රට පුවක්. රට දෙල්. රට හාල්. රට කජු. ඒවා ඔක්කොම රට ඒවානේ... ඒකයි මං කිව්වේ...“ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘නෑ... නෑ... ටොම්සන් මහත්තයා.. මේ මොකක්ද කියන්න වට පාරෙන් එනවා වාගේ මට නම් දැනෙන්නේ... කියා ඇම්බන් මහත්තයා කීවේය.

ටොම්සන් මහත්තයා කිසිත් නොකියා සිනහසුණේය.

‘මං කියන්න ගියේ ඇම්බන් මහත්තයා.. මේ පිට රටට හදාපු බස් හෝල්ට් වගයක් ලංකාවට එවලා නේ... සමහර විට ඒවායේ තැපැල් ලිපිනය වැරදිලාද? එහෙම නැතිනම් බඩු පැක් කරන කොට වැරදිලාද දන්නේ නෑ... එහෙම නම් රට බස් හෝල්ට් අපට එන කොට අපේ බස් හෝල්ට් රට පටවලාද දන්නෙත් නෑ. ‘කියා ටොම්සන් මහත්තයා කීවේ ඔලොක්කුවටය.

‘මට හරියට තේරුණේ නෑ ටොම්සන් මහත්තයා.. මොකක්ද ඔය බස් හෝල්ට් කතාව... අපේ රටට එහෙම රට බස් හෝල්ට් එවලාද? මං නං දැක්කේ නෑ.... කියා උන්නැහේ කීවේය.

‘දකින්න ටිකක් පාර තොටේ ඇවිදින්න එපායැ... අනික සමහර ඒවා හැමදාම දැක්කත් ඒක දැක්කේ නෑ වගේ නේ... එහෙම ඒවත් තියෙනවා... කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘එහෙම නෙවෙයි අපි යමුද ටොම්සන් මහත්තයා... ඔය කියන රට බස් හෝල්ට් බලන්ඩ.... එතකොට ටොම්සන් මහත්තයා කියන දේ හරියටම දැක ගන්ඩ පුළුවන්... “ කියා උන්නැහේ කීවේය.

ටික වේලාවකින් තිදෙනාම නිවසින් එළියට බැස්සේ රට බස් හෝල්ට් බලන්ඩය. පාර දිගේ බස්වල යන ගමන් රට බස් හෝල්ට් තියෙන්නේ කොහේදැයි බලන්නට පාර දිහාට ඔලුව දික් කර ගෙන ගියේ ටොම්සන් මහත්තයාය.

‘අන්න තියෙනවා එකක්... අපි මෙතනින් බහිමු...‘ කියා ටොම්සන් මහත්තයා කීවේය. තිදෙනාම බස් හෝල්ට් එකෙන් බිමට බැස්සහ.

‘මේ කොයි හරියද ටොම්සන් මහත්තයා...?‘

‘මේ ලයනල් වෙන්ඩ්ට් එක ගාව නේ... මෙන්න බලන්ඩ උන්නැහේ මේකේ වහලේ... ‘ කියා ටොම්සන් මහත්තයා බස් හෝල්ට් එකේ මගී ආවරණයේ වහලය දිහාවට අත දිගු කරමින් කීවේය.

‘ඇයි ටොම්සන් මහත්තයා... ඔය අපූරුවට වහලේ තියෙන්නේ... වැස්සකට වුණත් තෙමෙන්නේ නෑ නේ... මොකක්ද මේකේ වැරැද්ද...‘ කියා උන්නැහේ ඇසුවේය.

‘වැරැද්ද? කියා ටොම්සන් මහත්තයා ආපිට ඇසුවේය. ‘වැරැද්ද තමයි උන්නැහේ... වැස්සකට තෙමෙන්නේ නෑ නෙවෙයි... මේ වහලේ ගහලා තියෙන හැටියට වැස්ස වෙලාවක හෝල්ට් එක ඇතුළේ කාටවත් ඉන්න බෑ... ඔක්කෝම තෙමෙනවා... අනික උන්නැහේ කියන හැටියට වැස්සකට තෙමෙන්නේ නෑ කියලා හිතමුකෝ. ඒ වුණාට අව්වකට පිච්චෙනවා නේ මේ වහලේ යට... මේක හදලා තියෙන්නේ විනිවිද පේන ප්ලාස්ටික් තහඩුවකින් නේ.. එතකොට උඩින් වැටෙන අව්ව මේ ප්ලාස්ටික් තහඩුව අස්සෙන් පහළට වැටෙනවා... හොඳට ඇස් ඇරලා බලන්ඩ උන්නැහේ.. දැන් අර බස් හෝල්ට් එක තියෙද්දි මිනිස්සු ඉන්නේ බස් හෝල්ට් එකෙන් පිට නේ...‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘හරි අපි ආයෙත් යමුද තව බස් හෝල්ට් එකක් බලන්ඩ...“

නැවතත් බස් රියකට ගොඩ වූ තිදෙනා නැවත බැස්සේ හැව්ලොක් ටවුමේ බස් නැවතුමෙනි.

‘දැන් අර පේනවද බස් හෝල්ට් එකේ ඉන්න අර ගෑනු මනුස්සයා මොකද අර කුඩේ ඉහළා ගෙන ඉන්නේ... වැස්ස හින්දද? නෑ ... බස් හෝල්ට් එකේ ඉන්න බෑ... අව්ව... ඒ හින්දා... ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘හොඳයි... ටොම්සන් මහත්තයා කියන එක පිළි ගත්තා කියමුකෝ... අර රට බස් හෝල්ට් කතාව මොකක්ද? මේවා රට බස් හෝල්ට්ද? මේවා රටින් ගෙනාපු ඒවාද? කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘මේවා රට බස් හෝල්ට් තමයි... ඒ මොකද ඔය සීත රටවල අව්ව වැටෙන්නේ නෑනේ.. අනික ටිකක් හරි අව් රශ්මියක් තියෙනවා නම් ඒක ඒ රටේ ජනයාට උණුසුමයිනේ.. ඒ හින්දා ඒ රටවල බස් හෝල්ට් හදලා තියෙන්නේ ඒ විදිහට තමයි.. ඒක අපි වගේ උණුසුම් රටවලට හරි යන්නේ නෑ නේ... මං ඒකයි කිව්වේ මේ රට බස් හෝල්ට් වැරදිලා ලංකාවට එවලා කියලා... ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘මං නං කියන්නේ එහෙම නෙවෙයි... රට බස් හෝල්ට් ලංකාවට ගෙනල්ලා නෙවෙයි... රට ඔලුවක් ලංකාවේ බස් හෝල්ට් ඩිසයින් කරලා... ඒ රට ඔලුව තියෙන උන්නැහේ හුඟ කාලයක් රට ඉන්න ඇති. එහෙමත් නැතිනම් රට ගිහින් මේ බස් හෝල්ට් ඩිසයින් දැකලා අපේ රටත් ඒ රටවල් වගේ වෙන්න නම් මේ වගේ බස් හෝල්ට් අපිත් හදන්න ඕනෑ කියලා හිතන්න ඇති. ‘

‘අපි ඕකට ලොකු සම්මාන උත්සවයක් පවත්වමු...‘ කියා ඇම්බන් මහත්තයා යෝජනා කළේය.

‘ඒ මොකටද ඇම්බන් මහත්තයා? “ කියා ඇසුවේ උන්නැහේය.

‘වෙන මොකකටවත් නෙවෙයි... මේ වගේ විශ්ව කර්ම බස් හෝල්ට් එකක් ලංකාවට ඩිසයින් කළාට හරි, ගෙන්නුවාට හරි අං තට්ටුවක් සම්මානයක් හැටියට පළන්දන්න ඕනෑ.... ඒක කරන්න ඕනෑ ලොකු උත්සවයකින්... නැද්ද මං අහන්නේ... තව මේ වගේ කොළඹ අවට රට බස් හෝල්ට් හැම තැනම... එක අතකට බැලුවාම මේවයින් කීයක් විතර හොයා ගන්න ඇතිද මගීන්ට අව්වේ ඉන්න, වැස්සේ තෙමෙන්න රට බස් හෝල්ට් හදලා...‘ කියමින් ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

බන්දුල පී දයාරත්න

නව අදහස දක්වන්න