සර­සවි මාණව මාණ­වි­කා­වන්ගේ කඳුළු කතාව | දිනමිණ

සර­සවි මාණව මාණ­වි­කා­වන්ගේ කඳුළු කතාව

අලුත් වසර ඇරැඹුමේ දී ම සරසවිය හා සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අසන්නට ලැබුණේ මෙරට අධ්‍යාපන විෂය භාරව සිටි අමාත්‍යවරයකුගෙනි. උසස් පෙළ කලා ධාරාවේ දිවයිනෙන්ම ප්‍රථමයා ලෙස ලකුණු ලබා ගත් ශිෂ්‍යාව පළමුවරට ජාත්‍යන්තර පාසලකින් වීම මෙරට නිදහස් අධ්‍යාපනයට වැදුණු මරු පහරක් ලෙසයි ඔහු දැක තිබුණේ. ඒ පිළිබඳ විරෝධයපාමින් බොහෝදෙනා කළ ප්‍රකාශ පසුගිය දින කිහිපය පුරා මුද්‍රිත ජනමාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ජාලා හා මුහුණු පොත ඔස්සේ ද කියවන්නට ලැබිණ. ඔහුගේ ප්‍රකාශය පිළිබඳ අපගේ සරල ප්‍රශ්නය වන්නේ උසස් පෙළ වැනි තරගකාරී විභාගයක දී පළමුවන , දෙවන හෝ කිනම් හෝ ස්ථානයක් ලබා දීමට සමත් ආයතනයක් ශ්‍රී ලංකාවේ තිබේද යන්නයි. විභාග දෙපාර්තමේන්තුව වගකීම් දරනා මෙවැනි විභාග හා ඒවායේ උත්තර පත්‍ර බලනා පරීක්ෂකවරුන්ට ඔවුන් අතට පත්වන උත්තර පත්‍ර කිනම් පාසලක, කිනම් අධ්‍යාපන කලාපයක ද කියා විභාග දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂකවරුන්ට කල් තියා දන්වන ක්‍රමවේදයක් වේ දැයි නොදනිමු.

දිවයිනෙන් ඉහළම ලකුණු ලබා ගත් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවට එම ජයග්‍රහණය උදෙසා සුබ පතනු විනා සරසවියට පිවිසෙන්නට පෙරම මෙවැනි කඩප්පුලි කතා කීම වැඩිහිටියකුට තරම් වේ ද කියා අසන්නට සිදුවණු දැකීම අවාසනාවකි. සරසවියට පිවිසෙන්නට එහි දොරටු අසල සිටින දූ පුතුන්ගේ සමත්කම් පිළිබඳ මතභේදාත්මක ප්‍රකාශ කරන මේ පිරිස් හට, සරසවියට ගොස් අනේක විධ දුක් දොම්නස් මැද අසරණ ජීවිත ගෙවන මාණවක මාණවිකාවන්ගේ ජීවිතයක දුක්බර චිත්‍රය නොපෙනීම පුදුමසහගතය. දේශපාලනය නමැති නිල් කණ්ණාඩියකින් සියලු දේ දෙස බැලීම නොව පියවි ඇසින් ලොව යථාර්ථය දකින්නට දැකීමට සිතිය යුතු කාලය එළඹ ඇතැයි අපට හැඟෙන්නේ වර්තමාන සරසවි මාණව මාණවිකාවන් ගේ ජීවිත පිළිබඳ අසන්නට ලැබෙන අතිශය ශෝකජනක පුවත් හේතු කොට ගෙනය. ඔවුන් ඇතැමෙකුගේ කතාවක දැවැටුණු කඳුළ දෙස දයානුකම්පාවෙන් බලන්නට වගකිවයුත්තන්ගේ ඇස් ඇරෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ඉතා මෑතක දී අගනුවර සුඛෝපබෝගී නිවසක පවත්වා ගෙන යන ලද ගණිකා නිවාසයක් වටලා අත් අඩංගුවට ගත් කාන්තාවන් අතර සරසවි ශිෂ්‍යාවක ද සිටි බව සඳහන් විණ. ඊට දින කිහිපයකට පෙර පුවත්පත් වාර්තාවක අපට කියවන්නට ලැබුණේ තම පුතුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා කසිප්පු විකිණීමේ වරදට අධිකරණයක දී දඬුවම් ලැබූ පියකු පිළිබඳ කතා පුවතයි. තමාගේ සරසවි අධ්‍යාපනය හමාර කළ පසු පියාගේ කසිප්පු විකිණීමේ රැකියාව නතර කරන බව සරසවියේ ඉගෙනුම ලබන පුතා පොලීසියට පැවසූ බවත් එම පුවතෙහි තව දුරටත් සඳහන් විණ. මේ දෙපුවත පවසන්නේ කුමක් ද? ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාල සීමාව තුළ ආර්ථික දුෂ්කරතා ඇති ශිෂ්‍ය මාණවක මාණවිකාවන්ට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් මූල්‍යාධාර සැපයුණ ද, එම මුදලින් වැඩි කොටසක් තම ගෙදර දොර දෙමාපියනට, සහෝදර සහෝදරියනට ඔවුන්ගේ ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට දෙනු ලබන බවයි පැවසෙන්නේ. ඉදින්, මේ දූ පුතුන්ට තම ඉගෙනීමේ කටයුතුවලට අදාළ පොතපත කෑම බීම හා අනෙකුත් කළමනා මිලට ගැනීමට අමතර මුදලක් සොයාගැනීම සඳහා මුදල් සොයාගැනීමේ මාර්ගයක් සොයාගත යුතු වේ.

නොවැම්බර් මාසයේ කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත් වූ කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය අංශයේ තෙවන වසර මධ්‍ය සෙමෙස්තර පරීක්ෂණ හා ප්‍රායෝගික වැඩමුළුවට සහභාගී වූ මාණවක මාණවිකාවන්ගෙන් අපට මේ දුක්බර කතාවේම තවත් පැත්තක් පිළිබඳ අසන්නට ලැබිණ. ඇතැම් මාණවිකාවකගේ නෙතග පිරි කඳුලින් යුතුව පවසා සිටියේ ඉගෙනුම ලබන අතරෙහිම නොයෙක් පැවරුම් නියමිත කාලසීමාව තුළ දීමට අරගල කරමින් පාර්ට් ටයිම්, අර්ධ කාලීන (Part time )රැකියාවන් මගින් තම එදිනෙදා සුළු වියදම් සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේ දුෂ්කර ක්‍රියාවලිය පිළිබඳ තතුය. මෙරටින් විප්‍රවාසයට ගොස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නම් මෙය අරුමයක් නොවූවත්, ශ්‍රී ලංකාවේ සරසවි මාණවක මාණවිකාවන්ගේ තත්ත්වය ඊට වෙනස් ස්වභාවයක් ගනී. පවිත්‍රතා කටයුතු, ඉන්ධන හල් පොම්පකරු වෘත්තිය, සුපිරි වෙළඳසල් අලෙවි කටයුතු සඳහා උදව්වීම්, භෝජනාගාර වේටර් රැකියා ආදී ක්ෂෙත්‍රයන්හි රැකියාවන්හි නිරත වී තම එදිනෙදා සුළු මුදල් සොයාගන්නා මෙරට දූ පුතුන් තම දෙමව්පියන්ගේ බර යම් පමණකින් හෝ සැහැල්ලු කරන්නේ ඔවුනට ඔවුන්ගේ ශ්‍රමයට සරිලන මුදලක් ලබෙන බවින් විය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එබඳු ද? එතෙර ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට මෙන් සාධාරණ වැටුපක් ලැබෙන රැකියා මෙරට වේ ද? කොළඹ හා තදාසන්නයෙහි පිහිටා ඇති ජ'පුර , කැලණිය , මොරටුව , සෞන්දර්ය විශ්වවිද්‍යාලය ආදියෙහි ඉගෙනුම ලබනා මාණවක මාණවිකාවන්, ටියුෂන් දීම, සුපිරි වෙළඳ සල්හි සහායිකාවන් ලෙස සේවය කිරීම, යම් යම් වෙළඳ භාණ්ඩ ප්‍රවර්ධනය ( Promotions ) සඳහා අලෙවි ආයතන දියත් කෙරෙන ප්‍රවර්ධන කටයුතුවලට නගරයේ පොදු ස්ථාන හා වීදි දෙපස සිට අත්පත්‍රිකා බෙදා හැරීම මෙරට සරසවි ශිෂ්‍ය ප්‍රජාවට ඇති ආදායම් මාර්ග වේ. මාණවකයන් වෙනස් ආකාරයේ පාර්ට් ටයිම් මගින් තම සුළු වියදම් සොයාගැනීමට වෙහෙසෙන බව ප්‍රකටය. ත්‍රිරෝද රථ පැදවීම, රේස් ඔට්ටු භාරගන්නා බුකියක තුණ්ඩු ලිවීම, මුදල් ගනුදෙනු ඒ අතර වේ.

සෞන්දර්ය විශ්වවිද්‍යාලය ප්‍රධාන කොට ගෙන අනෙක් සරසවි තුළ ද ඉගෙනුම ලබන ගායනයෙහි හා වාදනයෙහි හපන් මාණවක මාණවිකාවන් අග නගරයේ ප්‍රධාන හෝටල්, සමාජ ශාලා හා රෙස්ටෝරන්ට් හි ගී ගයමින් වාදනය කරමින් තම අමතර මුදල් සොයාගනු අප දැක ඇත. ඔවුන් විසින්ම දෙතුන් දෙනෙක් එක් වී කැලිප්සෝ ( Calypso ) ගායක කණ්ඩායම් ලෙස සමාජශාලා හි ගී ගැයීම සුලබ දසුනකි.

මේ ආකාරයේ නන්විධ අමතර රැකියා කරමින්ම සරසවියේ ශිෂ්‍ය සංගම් මෙහෙයවන විරෝධතාවන්ට සහභාගීවීමට , කැටවලට සල්ලි එකතු කිරීම ආදිය අතරෙහි පොලිස් බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාරවලට මුහුණ දෙමින් දිය වී යන්නට ඉඩ හරින ඔවුන්ගේ යෞවනය පිළිබඳ කම්පාවට පත්වන අමාත්‍යවරු නොවෙති. බලධාරීහු නොවෙති. මෙවන් පිරිස් අතරෙහි තම පියා කසිප්පු වෙළඳාමින් උපයාගන්නා මුදලින් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාගන්නා පුතුන් හෝ තම සිරුර විකුණා ලබාගන්නා මුදලින් දෙමාපියන්ට බරක් නොවී ඉගෙනුමට අවශ්‍ය මිල මුදල් සපයාගන්නා සරසවි මාණවිකාවක් පිළිබඳ අසන්නට ලැබීම අහඹු සිදුවීමක් ලෙස බැහැර කළ හැක්කක් යැයි නොසිතේ. මෙලෙස හෙළි නොවූ සැඟවුණු පුවත් තව කොතෙක් තිබිය හැකිද? තම දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගනු වස් තම සිරුර විකුණන මවුවරුන් පිළිබඳ පුවත් අප ඕනෑතරම් අසා ඇත. තරුණ කවි කිවිඳියන්ගේ නිර්මාණ තුළ එවැනි අත්දැකීම් රැගත් නිර්මාණ අපට හමු වී ඇත.මේ සියල්ල පවසන්නේ කුමක් ද? දිවයිනෙහි ප්‍රථමයා වන්නී ජාත්‍යන්තර පාසලක සිසුවියක වීම නිදහස් අධ්‍යාපනයට මරු පහරක් යැයි පවසමින් විශ්වවිද්‍යාල මාණවක මාණවිකාවන් සරසවියේ දී මුහුණ දෙන අන්ත අසරණ කටුක ජීවිත නොදකින දේශපාලනඥයන් පිළිබඳ කනගාටු වනු විනා අන් කුමක් කරමුද?

කසිප්පු විකුණා මුදල් සොයා තම පුතුගේ සරසවි අධ්‍යාපනයේ අවසාන ඵලය වන ඔහු උපාධිධාරියකු වනු දැකීමේ සිහිනයේ ජීවත් වූ පියා පිළිබඳ හෝ ගෙදර දොර ජීවිතයේ අමිහිරි කටුක අත්දැකීම් විඳ දරා ගත නොහී තම සිරුර විකුණා හෝ, දෙමාපියනට බරක් නොවී ජීවත්වීමට අරගල කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව පිළිබඳ සුචරිතවාදීන් විසින් මේ පුවත් අරබයා කෙස් පැලෙන තර්ක නැගීමට ද ඉඩ ඇති බව දනිමු. පුතාට උගන්නන්න කසිප්පු විණුනන්නෙ නැතුව වෙන සාධාරණ වෙළඳාමක් කරන්න තිබුණෙ නැද්ද? ගෙවල් දොරවල්වල ප්‍රශ්න තිබුණ කියල ඇඟ විකුණන්නම ඕනද අමතර මුදලක් හොයාගන්න? මේ අත්දැකීම්වලට මුහුණ දෙන චරිත ජීවන පසුබිම පිළිබඳ කිසිදු දැනුමකින් තොරව, මතුපිටින් පෙනෙන සිදුවීමම උපකල්පනය කරමින් එහි දොස් දැකීම අසීරු කටයුත්තක් නොවන මුත්, මේ ජීවිත පසුබිම ඇති අමිහිරි කටුක යථාර්ථය දකින්නට උත්සාහ ගැනීම මෙන්ම ඒවාට කුමන හෝ විසඳුමක් පිළිබඳ කල්පනා කිරීම දුෂ්කර කටයුත්තකි.

තමා උපාධිය සමත් වූ පසු තමාගේ අධ්‍යාපනයට කසිප්පු විකුණා උපයාගත් මුදල් දුන් පියා ඉන් ගළවා ගන්නා බව පවසන සරසවි මාණවකයා මෙන්ම අසම්මත යැයි සමාජය විසින් පිළිකෙව් කරනු ලබන වෘත්තියක නියැළෙමින් පාර්ට් ටයිම් මුදල් සොයාගැන්මේ දී නීතියේ රැහැනට හසු වූ සරසවි මාණවිකාව පිළිබඳව ද අප සිත්හි ඇත්තේ අනුකම්පාවකි. ඔවුන් දෙස මානුෂිකව හා දයාර්දව බලන්නට අප සිත් තුළ තෙතමනයක්, මානව දයාවක් ඇති කර ගත යුතු නොවන්නේ ද? නිසැක වශයෙන් ම අපට නොඇසෙන කඳුළු කතාවක් මේ සරසවි මාණවක මාණවිකා ප්‍රජාව ගේ ජීවිත තුළ ඇත. ඊට සවන් දීම අපගේ යුතුකම නොවන්නේ ද?

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න