අල්ලස් මුදලින් සන්තෝසමක් | දිනමිණ

අල්ලස් මුදලින් සන්තෝසමක්

ලෝන්ග් අයිලන්ඩ් කාර්යාලයේ මැක්ඩොනල්ඩ් සමඟ පැවති පළමු හමුවේදී වඩාත්ම කතා කළේ නගරාධිපති එරිචෙට්ටිය. කැසිනෝ බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය මූලික සුදුසුකම් විස්තර කළ මැක්ඩොනල්ඩ් කියා සිටියේ, අබ්දුල්ගේ නමට ඉදිරියෙන් අපරාධ චෝදනා කිසිවක් හෝ ලියැවී නැතිනම් බලපත්‍රය ලබාගැනීම ‘කජ්ජක්‘ නොවන බවයි. මැක්ඩොනල්ඩ් අබිමුවෙහිදී නගරාධිපතිගේ බල පරාක්‍රමයද වෙනදාට වඩා වැඩි බැව් කාටත් ඇත්තටම දැනෙමින් තිබුණි. එරිචෙට්ටිටම ගනුදෙනු කතාබස් කරගන්නට ඉඩදී මැක්ඩොනල්ඩ් ජනේලය අසලට ගොස් වෙටරන් අධිවේගී මාර්ගය දෙස බලා සිටියේය. ඒ අතර අල්ලස් මුදල් බහා තිබූ කවරය විවෘත කළ මැකාති එය කාටත් පෙනෙන්නට මේසය මත තැබුවේය. එරිචෙට්ටි සහ මැක්ඩොනල්ඩ් සැකයෙන් සළිත කළ අනපේක්ෂිත යමක් සිදුවුණේ එවිටය.

මුදල් ලබාගැනීමට නගරාධිපතිවරයා හම් කවරයට අත දිගුකරද්දීම මැකාති අසුරු සැණෙකින් එය වසා දමා, කිසිදු ගරු සරුවක් නැති ගාණට එය යළි තමා වෙතට ඇදගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ සෘජුව මැක්ඩොනල්ඩ්ගේ අතට අල්ලස ලබාදීමටය. නගරාධිපති ද මැක්ඩොනල්ඩ්ද මැකාති දෙස බැලුවේ පුදුමයෙනි. කිසිවක් සිදුනොවූ ගාණට තවත් මිනිත්තු කිහිපයක් කතා බහෙන් ගෙවී ගියේය. අවස්ථාව බලා මැකාති යළිත් වරක් හම් කවරය විවෘත කර මුදල් පෙන්වූ අතර එය ගැනීමට මෙවරත් එරිචෙට්ටි ඉදිරිපත් විය. යළිත් වරක් මුදල් ප්‍රදර්ශනය කිරීම ගැන මැක්ඩොනල්ඩ් පුදුම වූ බවක් ඇඟවූවත් එය ලබා ගැනීමට හේ කිසිදු උත්සාහයක් ගත්තේ නැත. එරිචේට්ටි අත දිගුකරද්දීම කවරය තමා වෙතට ඇදගත් මැකාති සැණෙකින් එය වසා දැමීය. බලා සිටින්නකුට එය පෙනුණේ කුඩාවුන් දෙදෙනකුගේ සෙල්ලමක් මෙනි. මෙවර මැක්ඩොනල්ඩ් මැකාති වෙත හෙළුවේ දවා හළු කරන බැල්මක් වුව, ඉන් සැළුණු බවක් මැකාතිගෙන් පළවුණේ නැත. යළිත් කතාබහ නැවතුණු තැනින් ඇරඹී ගලාගෙන ගිය අතර, මුදල් ගැන ඇතිවූ අපහසුදායක සිද්ධිය ගැන කිසිම සඳහනක් කෙරුණේ ද නැත.

සංවාදය අතරතුර යළි කවුළුව වෙත ගිය මැක්ඩොනල්ඩ් මඳ වෙලාවක් පිටත බලා හිඳ යළිත් මැකාති දෙස බැල්මක් හෙළුවේය. අල්ලස දෙන්නට සුදුසුම වේලාව එය බැව් තීරණය කළ මැකාති, එරිචෙට්ටිගේ අතට එය ලබාදී හමුව යාන්තම් කෙළවර කළේ, එතරම් කැමැත්තකින් නොවේ. අල්ලස් දීමේ ජවනිකාව එතැනින් නිමා වුණත්, මැක්ඩොනල්ඩ් හා මැකාති සිටියේ කෝපයෙන් පුපුරමිනි. දෙදෙනා කෙළින්ම ගියේ ලොන්ග් අයිලන්ඩ් කාර්යාලයෙන් සැතපුම් කිහිපයකට ඈතින් පිහිටි ‘හොලිඩේ ඉන්‘ හෝටලයටය. ඒ වෙයින්බර්ග් හා ඇමරොසෝ සමඟ කලින් කතාකරගත් හමුවකට සහභාගි වීමටය. මැකාති සමඟ පැවති නින්දා සහගත හමුව ගැන මැක්ඩොනල්ඩ් හා එරිචෙට්ටි කළ චෝදනාවලින් අබ්දුල් නියෝජිතයින් දෙදෙනාගේ කන් පිරෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත.

“අර මැකාති කියන බූරුවා හිතාගෙන ඉන්නේ මම කවුරු කියලද? එක පාරක් නම් කමක් නැහැ. මිනිහා දෙපාරක්ම සල්ලි පෙන්නලා ආයේ ඩැහැ ගත්තා. මිනිහා හිතුවද දන්නේ නැහැ මම ඒකාගේ දෙපතුල ළඟ වැටිලා සල්ලි ඉල්ලයි කියලා. මට වුණේ ලොකු අපහාසයක්. මම ඕකව තියන්නේ නැහැ. පාඩමක් උගන්නලයි පස්ස බලන්නේ. “

මැක්ඩොනල්ඩ්ගේ ගෝරනාඩුවට පොහොර දැමීමට එරිචෙට්ටිද එකතු වූයේ තමාට සිදුවූ මදිපුංචිකම වහගන්නටය. අල්ලස් ගනුදෙනුවේ නින්දාවට තවත් උල්පන්දම් දෙන්නට සිතූ එරිචෙට්ටි නෞකා අංගණ සාදයේදී මැකාතිගේ හැසිරීම ගැන සිතේ ඇතිව තිබූ කහටත් මෙම දෝෂාරෝපනයටම මුදා හැරියේය.

“කෙනත් කියන කතාව සහතික ඇත්ත. මිනිහාට පාඩමක් ඉගැන්නුවේ නැත්නම් කවදාවත් හැදෙන්නේ නැහැ. වැදගත් කියන අයට සලකන්න ඕනේ විදිහ මිනිහා දන්නේ නැහැ. එක්කෝ ගණන් ගන්නේ නැහැ. එදා අර පාටියේ තත්වෙත් දියාරු වුණේ මිනිහාගේ කමකට නැති ඇඳුම හින්දයි. නිකම් ටී ෂර්ට් කෑල්ලකුයි, පචවෙච්ච කලිසමකුයි ඇඳගෙන මිනිහා ආවේ ගරාජ් පාටි එකක් කියලා හිතාගෙනද ? අනික් අය ඉස්සරහා අපිත් නිකම් බාල්දු වුණා. අනික මිනිහා දෙයක් කිව්වොත් කිව්වාමයි. කවදාවත් හදන්න පුළුවන් එකෙක් නෙවෙයි. මෙල්, ඕන් මම දැන් කිව්වා, මේ ඇන්ජෙලෝ එරිචෙට්ටි ආයේ නම් ඔය මුස්පේන්තුවා එක්ක වැඩ කරන්නේ නැහැ. “

මැක්ඩොනල්ඩ් හා එරිචෙට්ටිගේ පළුදු වූ ආත්මාභිමානය නඟාසිටුවීම සඳහා තවත් පැයක් පමණ සැනසිලි බස් දොඩන්නට වෙයින්බර්ග්ට හා ඇමරොසෝට සිදුවිය. කතාව ගජරාමෙට යන අතර ඩොලර් ලක්ෂයක අල්ලස බහාලූ හම් කවරය තිබුණේ හෝටලයෙන් පිටත නවත්වා තිබූ එරිචෙට්ටිගේ අගුලු ලෑ මෝටර් රථය තුළය. අවසානයේ නිව් ජර්සි හොර රජුන් දෙදෙනා නම්මා ගැනීමට හැකිවුණේ මින් ඉදිරියට අබ්දුල් - යසීර් මහා ද්විත්ව මගඩි මෙහෙයුමේ පාලනය සියතට ගන්නා බවට ඇමරොසෝ දිවුරුම් දීමෙන් පසුය.

“මෙල් ඔයාලට කලිනුත් කිව්වානේ, මැකාතිගේ වැඩ ගැන අබ්දුල් කළකිරිලයි ඉන්නේ. වැඩිකල් යන්න කලින් ඔක්කොම මගේ අතට එන එක ෂුවර්. එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඒකේ ගාස්තුවට හරියන්න මම කෙනත්ට අබ්දුල්ගේ ඇට්ලන්ටා කැසිනෝ එකේ හොඳ ජොබ් එකක් දෙන්නයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඔය කොමිසමෙන් හම්බවෙන තුට්ටු දෙක වගේද කැසිනෝ එකක හයි පෝස්ට් එකකින් හම්බවෙන ගාණ. පඩියත් එක්ක තව කීයක් හරි යටිමඩි ගහගන්නත් පුළුවන්නේ.“

“නියමයි ටෝනි, නියමයි. දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ ඕකටනේ.“

ඇමරොසෝගේ එම ආකර්ශනීය යෝජනාව කෙනත් මැක්ඩොනල්ඩ් එක පයින් පිළිගත්තේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමිනි. මැක්ඩොනල්ඩ්ට ඇමරොසෝ සමඟ තමාගේ අනාගතය කැසිනෝවෙන් විසඳෙන්නට යන ආකාරය ගැන හිතේ හැටියට කතා කරගන්නට ඉඩදී, එරිචෙට්ටි හෝටලෙන් පිටතට වෙයින්බර්ග් රැගෙන ගියේ පෞද්ගලික කතාබහකටය. කතාව අතරතුර එරිචෙට්ටි වෙයින්බර්ග්ගේ අතට පත්කළේ නිව් ජර්සි රාජ්‍ය ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින්ගේ විස්තර රැගත් පත්‍රිකාවකි. එහි සඳහන් දහතුන් දෙනකුගේ නම්වලට ඉදිරියෙන් එරිචෙට්ටි හරි ලකුණු දැම්මේය. ඒ අතර ව්‍යවස්ථාදායකයේ ඉහළම කෙරුම්කාරයෝ වූහ.

“මේ දහතුන්දෙනාම සල්ලිවලට ගන්න පුළුවන් අය. මේ ලැයිස්තුවේ ඉන්නේ ඒ අය වගේම සල්ලිවලට ගන්න පුළුවන් ෆෙඩරල් එකේ කට්ටිය. එයාලා ඔක්කෝගේම බලපුළුවන්කාරකම් සල්ලිවලට යටයි. මට ගාණ දෙනවා නම් ඒ ඔක්කෝම ඔයාගේ කකුල් දෙක ගාවට ගෙනත් දෙන්න පුළුවන්.“ එරිචෙට්ටි පැවසුවේ ගණනකට නැතිවය.

ඊට පසුදින එරිචෙට්ටි යළිත් වෙයින්බර්ග් ඇමතුවේ පෙරදා ඔහුත් ඇමරොසෝත් එක්වී නිරූපණය කළ දුක්ගන්නාරාළ භූමිකාව වෙනුවෙන් ස්තූති කිරීමටය.

“මම දෙයියන්ට පින් දුන්නා මෙල්, ඔයායි, ටෝනියි එකතුවෙලා ඊයේ කෙනත්ගේ හිත හදපු එක ගැන. එයා ඔයාලා ගාවට එනකොට මළ පැනලයි හිටියේ. මම හිතුවේ නැහැ සක්කරයාටවත් මෙල්ල කරන්න පුළුවන් වෙයි කියලා. මොනවා වුණත්, කෙනත් කියන්නේ හොඳ පපුවක් තියෙන මනුස්සයෙක්. ඔයාට මම මේ කතාව කියන්නේ මිනිහා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් කරන්න. ඔන්න මිනිහා ඊයේ යන ගමන් කේස් එකේ තිබ්බ ඩොලර් ලක්ෂය ගණින්න ගත්තා. මිනිහාගේ මූඩ් එක හොඳවෙලා තියෙන වෙලාවේ මම හීන් සීරුවේ ටෝනිගේ අර කතාව කියලා බැලුවා. බෝට්ටුවේ වැඩේ හින්දා ටෝනි අතමාරුවක් ඉල්ලා ගන්න බැරිව හිරවෙලයි ඉන්නේ කියලා. දෙයියම්පා අර සල්ලි ගොඩෙන් ගෙඩි පිටින්ම කෙනත් ඩොලර් විසිපන්දාහක් ඇදලා ගත්ත. ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මට ඒක දීලා, “මෙන්න මේක ගිහිල්ලා ටෝනිට දෙන්න. අර මැකාති කියන මුස්පේන්තුවත් එක්ක බැලුවම මිනිහා සලකන්න වටින මිනිහෙක්. මගේ අතේ දැන් සල්ලි තියෙන එකේ ඒකට කරන්න දෙයක් තියෙන්නත් එපැයි.“ කියලා කිවුවා. ඕන්න අදහන්න වටින මිනිස්සු, නැද්ද මෙල්.“

නගරාධිපතිගේ ප්‍රශංසාවට එකඟ වන්නට වෙයින්බර්ග්ට සිදුවුණේ, කෙනත් මැක්ඩොනල්ඩ් කර තිබුණේ මහඟු පුණ්‍ය කර්මයක් බැවිනි. එය එක් අතකින් නගරාධිපති විසින් වෙයින්බර්ග්ට හා ඇමරොසෝට කලින් දී තිබුණු පොරොන්දුවක් ඉටු කිරීමක්ද විය. එවන් පොරොන්දුවක් එරිචෙට්ටි විසින් දී තිබුණේ වෙයින්බර්ග් හා ඇමරොසෝ ඔහුට කලින් ගොතා ඇදබා තිබුණු බේගලයක් නිසා ඇතිවූ අනුකම්පාවෙනි. කතාවට අනුව නැවේ හටගත් ගින්න ඇමරොසෝගේ නොසැලකිල්ල නිසා හටගත්තකි. ගින්න එන්ජින් කාමරයටත් පැතිරී යාම නිසා සිදුවු හානිය පිළිසකර කිරීමට ඩොලර් විසිපන්ලක්ෂයක් පමණ වැයවන බව වෙයින්බර්ග්ගේ අදහස විය. නමුත් අලුත්වැඩියාව සිදුකළ යුතුව තිබුණේ අබ්දුල්ට රහසිනි. මන්ද අබ්දුල් ගින්න ගැන දැනගත්තොත් ඇමරොසෝගේ රැකියාව පවා අනතුරේ වැටීමට ඉඩ තිබුණු නිසාය. මේ නිසා තමාටම මුදල් සොයාගැනීමට සිදුවීම නිසා ඇමරොසෝ මුහුණ දී සිටියේ සුළුපටු අර්බුදයකට නොවේ. අවස්ථාවේ හැටියට තමාද යම් උපකාරයක් කළ යුතු බව සිතූ එරිචෙට්ටි මුදල් සොයාදීමට ඉදිරිපත්ව තිබුණේ, මිත්‍රත්වය ප්‍රකාශ කිරීමක් ලෙසිණි. වෙයින්බර්ග් මෙන්ම ඇමරොසෝද හඳුනාගෙන කෙටි කලකින්ම එරිචෙට්ටිගේ හිත දිනාගැනීමට සමත්ව සිටියේය. නගරාධිපතිගේ සැලැස්ම වූයේ මැක්ඩොනල්ඩ්ට ලබාදෙන අල්ලසෙන්ම නැවේ පිළිසකර කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් විසිපන්දහස කොටා ගැනීමයි. තමාගේ සාක්කුවටත් නොදැනී මිතුරන්ගේ හිතත් සතුටු කිරීමට එය කදිම උපායක් බව වෙයින්බර්ග්ට වුවද ප්‍රතික්ෂේප කිරීමට පුළුවන්කමක් තිබුණේ නැත.

අනුකම්පාවත්, මිත්‍රත්වයත්, වංචාවත් සමසේ මිශ්‍රව ඇමරොසෝගේ අතට ආ ඩොලර් විසිපන් ලක්ෂය බෘස් බ්‍රේඩිගේ අතටත් එතැනින් ජෝන් ගුඩ්ගේ අතටත් මාරුවිය. නෞකා සාදයට සහභාගි වූ ආරාධිතයන්ගේ නවාතැන් සඳහාත්, කෑමබීම සඳහාත් රජයට දැරීමට සිදුවූ වියදම් පියවා ගැනුණේ එම ඩොලර් විසිපන්දහසෙනි. ඊට කාර්පෙන්ටියර් සිය හෝටල් කාමරයේ දුරකතනයෙන් ලබාගත් ඇමතුම්වලට වැයවී තිබුණූ ඩොලර් අටසීයයද ඇතුළත් විය. වෙයින්බර්ග්ගේ බුමුතුරුණු පිරිසුදු කරන මිතුරාට නැවේ දැලි ඉවත් කිරීම වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු චෙක්පත පවා ගෙවා දැමීමට කෙනත්ගේ අල්ලසෙන් ලැබුණු එම අතමාරුව ප්‍රමාණවත් විය. කෙටියෙන් කිව්වොත් මහා නෞකා සාදයේ සියලු වියදම් දරා තිබුණේ ඊට සහභාගි වූ ආරාධිත හොර මැරවරයන් විසින්මය.

“ගුඩ්, මුල ඉඳලාම මම කිව්වේ නැද්ද, ඔයාට වද වෙන්න අබ මල් රේණුවක තරම් දෙයක්වත් ඉතුරු කරන්නේ නැහැ කියලා. දැක්කනේ පාටියට ඔයාට තඹ සතයක්වත් වියදම් කරන්න සිද්ධ වෙන්නේ නැති විදිහට මම වැඩේ ෂේප් කරපු හැටි. මේවට කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කපනවා කියලා.“

ගුඩ් දෙස බලා ඇසක් වසා ඉඟි මැරූ වෙයින්බර්ග් පුරාජේරු දෙඩෙව්වේ සර්ව සාධාරණ හේතු ඇතිවය. සාදයෙන් තවත් යහපත් දෙයක් සිදුවිය. ඒ මැකාති ඇබ්ස්කැම් මෙහෙයුමෙන් ඉවත්කොට බියුරෝවේ වෙනත් විමර්ශන සඳහා යෙදවීමට ගුඩ් පියවර ගැනීමයි. පටිගත කළ හඬ පටවලට සවන් දුන් ගුඩ්ට අමාරුවෙන් වුවත් එවැනි තීරණයක් නොගෙන සිටීමට හැකියාවක් නොතිබිණි. වෙයින්බර්ග් මුල සිටම මැකාතිට විරුද්ධව එල්ල කළ චෝදනා එරිචෙට්ටි ඇතුළු තවත් වංචනිකයන් ගණනාවකගෙන්ම එල්ලව තිබිණි. එවැනි හොරු රැළක් සමඟ වැඩ කිරීමට තරම් මැකාති අවංක වැඩිය. ගුඩ් හිත හදාගත්තේ එලෙස සිතමිනි.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - සෙනෙට්වරයාගේ නොනිවෙන ගින්න

නව අදහස දක්වන්න