සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහි පෙත්සම කල් යයි | දිනමිණ

සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහි පෙත්සම කල් යයි

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනු කර ඇති පෙත්සම් මැයි මස 22 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි.

කමිටු වාර්තාව මගින් කර ඇති නිර්දේශ පිළිබඳව ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය දෙස තමන් බලා සිටින බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අනතුරුව පෙත්සම සලකා බැලීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව පෙත්සම මැයි මස 22 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින පෙත්සම සලකා බැලීම  පිළිබඳව අධිකරණය දැනුවත් කරනමෙන් පෙත්සම්කාර පාර්ශවය නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කොට ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බවයි.

එබැවින් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එම ගිවිසුම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම් අද බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

 

නව අදහස දක්වන්න