මැතිවරණ ජයග්‍රහණයට නව සන්ධානයක් | දිනමිණ

මැතිවරණ ජයග්‍රහණයට නව සන්ධානයක්

සන්ධ්‍යා කරුණාරත්න

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයට බිහි කරන නව සන්ධානයේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පානදුර මැතිවරණ කොට්ඨාසයේ රුපියල් කෝටි 12කට ආසන්න සංවර්ධන ව්‍යාපෘති පසුගිය 06 වැනි දා ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහි දී මාර්ග 10ක් විවෘත කළ අතර තරුණ සංවිධාන, මරණාධාර සමිති, වැඩිහිටි සංවිධාන, ග්‍රාම සංවර්ධන සමිති, මුස්ලිම් දේවස්ථාන, පාසල් සහ ගොවි සංවිධාන සඳහා විවිධ උපකරණ, පුටු, ආවරණ, කෘෂි උපකරණ, ශබ්ද විකාශන යන්ත්‍ර ද මෙහි දී පරිත්‍යාග කෙරිණ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්, පොදුජන පෙරමුණේ කොටසක් ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගෙන් සැදුම්ලත් දැවැන්ත සන්ධානයක් බිහි කරනවා. මට ලැබුණු බලය ජනතා සේවාව වෙනුවෙන් කැප කරනවා.

ජනතාවට අවශ්‍ය ජයග්‍රහණ ලබා දිය යුතුයි. දින 53ක් පුරා පැවති දේශපාලන අර්බුදය නිමා කිරීමට අපි නායකත්වය ලබා දුන්නා. ජන බලය, අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුවා. ඊනියා රජයට පාඩමක් ඉගැන්නුවා. ආණ්ඩු හදන්න පමණක් නොවෙයි රජය පවත්වාගෙන යෑමට ද මම කැප වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කර අපි ජයග්‍රහණය කරනවා. පරදින්න වැඩ කරන්නේ නෑ. ඉන්පසු කැඳවන මහ මැතිවරණයක් ජයග්‍රහණය කරමින් වසර 2025 වනතුරු රජය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපි පියවර ගන්නවා. තවද පානදුර ප්‍රදේශයේ නව රෝහලක් ජර්මනියේ ආධාර යටතේ ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 22,000ක් වැය කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියලු දෙයක්ම මහජනතාවගේ සුබසිද්ධියට අපේ රජයෙන් සිදු කරනවා.

එක්සත් ජාතික පක්ෂ පානදුර සංවිධායක විජිත් ප්‍රියන්ත මහතා ද, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න