ජනපති මෙහෙවර සිවු වස් සමරු පිරිත් පින්කමෙන්... | දිනමිණ

ජනපති මෙහෙවර සිවු වස් සමරු පිරිත් පින්කමෙන්...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් ව සිවු වසරක් සපිරීම නිමිත්තෙන් සහ ඉදිරි කටයුතුවලට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පෙරේදා (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මේ පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක් විය.

බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර (08) උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි.

සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස මහානායක , කොටපොළ අමරකිත්ති , ත්‍රිකුණාමලයේ ආනන්ද , අකුරටියේ නන්ද, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් මේ වැඩසටහන සංවිධාන කර තිබුණි.

ඡායාරූප :චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න