මොළය මියගිය රෝගීන්ගේ අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය | දිනමිණ

මොළය මියගිය රෝගීන්ගේ අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය

අවබෝධතා ගිවිසුමට අද අත්සන්

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව වකුගඩු හා අනෙකුත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (09) සිදුකෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

වකුගඩු රෝගයට අවසාන ප්‍රතිකාරය ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ වකුගඩු ‍බද්ධ කිරීම හෝ රුධිර කාන්දුකරණ ක්‍රියාවලියට ලක්කිරීමයි. එසේ වුවද වකුගඩු බද්ධ කිරීම සඳහා ගැළපෙන වකුගඩුවක් සොයාගැනීම ඉතා අපහසු කරුණකි. දැනට මේ සඳහා පවතිනුයේ පවුලේ කෙනෙකුගෙන් හෝ වකුගඩුවක් දන්දෙන කෙනෙකුගෙන් බද්ධ කිරීම සඳහා වකුගඩු ලබාගැනීමයි. එබැවින් වකුගඩුවක් බද්ධකර ගැනීමට හැකි වී ඇත්තේ ඉතා සීමිත පිරිසකටයි. මේ හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් මේ සඳහා සුදුසු පියවරක් ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු, වකුගඩු රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මහනුවර මහ රෝහල හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ‍බද්ධ කිරීමෙන් ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මගින් මේ වන විට වකුගඩු, හෘදය, අක්මාව, අග්න්‍යාසය, ඇස් හා පටක ඇතුළු අවයව කොටස් බද්ධ කිරීමේ කටයුතු ද සිදුකරමින් පවතී. දිනකට හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයන් පස් හය දෙනෙකු මියයන අතර මිය යන පුද්ගලයන්ගේ නිරෝගී අවයව මෙලෙස රෝගීන් සඳහා බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මේ යටතේ ක්‍රියාත්මක කර ඇත. හදිසි අනතුරු හේතුවෙන් මිය යන සියලු පුද්ගලයන් මේ ආකාරයට මේ ව්‍යාපෘතිය හා සම්බන්ධ වුවහොත් රෝගීන් රැසකගේ ජීවිත බේරාගැනීමට හැකිවනු ඇත.

මෙලෙස හදිසි අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවයවයන්හි ජීවකාලය කෙටි කාලයක් රඳා පැවතීම හේතුවෙන් ඉතා ඉක්මනින් බද්ධ කිරීමේ කටයුතු කරගත යුතුය. මේ දක්වා එය සිදුවූයේ ගිලන්රථ මගින් අදාළ අවයව ප්‍රවාහනය කිරීමෙනි. එහිදී වැඩි කාලයක් ගතවීම හේතුවෙන් හා අදාළ අනතුරු දුර බැහැර ප්‍රදේශයන්හි සිදුවීම හේතුවෙන් අදාළ අවයව නරක්වීමට ලක්වේ. මේ හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් මේ අවයව රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාවේ සහාය ලබා ගැනිණි. මේ දක්වා ඒ සඳහා සිදුකළ යුතු ගෙවීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටුවන ලද "ජාතික වකුගඩු අරමුදල" මගින් දරන ලදී. මේ ව්‍යාපෘතිය ඉදිරියට වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම අද (09) මධ්‍යහ්න 12.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය. මේ අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම‍‍ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් සිදුකිරීමට නියමිත අතර අදාළ අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසල වීරකෝන් , සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශයේ ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අභයරත්න , වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල , ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. සී. විජේගුණරත්න , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ , මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක , මාළිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහත්ම මහත්මීහු ඇතුළු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතය.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් දැනටමත් අවයව දන්දීමට කැමැත්ත රියැදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතී. ඒ යටතේ ඔවුන් හදිසි අනතුරුවලට ලක්ව මිය යන විටදී ඔවුන්ගේ කැමැත්ත ඇතිව අදාළ අවයව දන්දීමට හැකිවේ. ඊට අමතරව අවයව දන්දීමේ මේ ප්‍රතිකර්මයට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර ක්‍රියාව අගය කිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු සැලසුම් කරමින් පවතී. වකුගඩු රෝගය තුරන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛ අවධානයක් දිනා ඇති වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් සිදුකරමින් පවතින විවිධ ව්‍යාපෘති අතර මේ ව්‍යාපෘතියෙන්ද මෙරට ජීවනාලිය බඳු ගොවි ජනතාව වෙළාගෙන තිබෙන වකුගඩු රෝගය තුරන් කිරීමට විශාල සහායක් වනු ඇතැයි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය අපේක්ෂා කරයි.

(හදිසි අනතුරක් මගින් මොළය මියගිය අවස්ථාවකදී හෝ අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නන්ට දුරකථන අංක 0812226522 මගින් මහනුවර මහ රෝලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම්දීම මගින් මේ සඳහා දායක විය හැකිය.)

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය ජනාධිපති කාර්යාලය


මොළය මියගිය රෝගීන්ගේ අවයව ගුවන් මගින් ප්‍රවාහනය

ශ්‍රී ලංකාවේ පළමු වකුගඩු අවයව බද්ධය 2000 වසරේ දී එංගලන්තයේ Royal free රෝහලේ වකුගඩු බද්ධ කිරීම සම්බන්ධ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය Ofward Fernando මහතා විසින් සිදුකර ඇත.

2001 වසරේදී මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය P. K. හරිස්චන්ද්‍ර මහතා විසින් මොළය මියගිය රෝගියෙකුගෙන් ලබාගත් වකුගඩුවක් වෙනත් රෝගියෙකුට බද්ධ කරන ලදී.

2004 වසරේ සිට 2015 වසර දක්වා වසරකට සිදුකරන ලද වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ගණන 5 – 8 සංඛ්‍යාවක් විය.

2015 වසරේ සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍ර ලේඛනයට අනුව වකුගඩු බද්ධ කිරීම සම්බන්ධව සම්බන්ධීකරණ කමිටුවක් පත්කරන ලදී. ඉන් අනතුරුව 2015 දී සිදුකළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ගණන 15කි.

2015 න් පසුව 2016 දී හා 2017 දි සිදුකළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ගණන පිළිවෙළින් 17ක් හා 32ක් විය.

ඊට අමතරව 2017 දී හදවත බද්ධ කිරීමේ සැත්කම් 02ක් සහ අග්න්‍යාශය බද්ධ කිරීමේ සැත්කම් 02ක් සිදුකරන ලදී.

2018 වසරේදී සිදුකළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ගණන 36ක් විය. මේ අතර අක්මාව බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීම ආරම්භ කළ අතර සාර්ථක සැත්කම් 03ක් මේ වන විට සිදුකර ඇත.

කෙසේ වෙතත් මොළය මිය ගිය රෝගීන්ගේ හදවත හා අක්මාව දුර බැහැර සිට ගෙන්වා ගැනීමේදී ඉතාමත් කෙටි කාලයකින් ගෙන්වා ගත යුතුය. සාමාන්‍යයෙන් හදවත පැය ½කට හා අක්මාව පැය 03කට පෙර අදාළ ස්ථානයට රැගෙන යා යුතුය.

මේ දක්වා සෞඛ්‍යය අමාත්‍යාංශය ජනාධිපති ලේකම් කාර්යාලයේ ද සහාය ඇතිව ගුවන් හමුදාව මගින් අදාළ අවයව ගෙන්වා ගැනීම සිදුකරන ලද අතර සැත්කම් 5ක් සඳහා එලෙස කටයුතු කරන ලදී.

නව අදහස දක්වන්න