ඈත දුර ඈත ආව ගිය නගරයක කතාවක් | දිනමිණ

ඈත දුර ඈත ආව ගිය නගරයක කතාවක්

කාංචනා අමිලානි
ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද, ප්‍රකට පරිවර්තිකාවකි. වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් පරිවර්තනය කරමින් පරිවර්තන සාහිත්‍යයට ප්‍රවිෂ්ට වූ ඈ අතින්, මේ වන විට කෘති 40 ට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය වී ඇත. ගංගා විසින් රචිත ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව 'සුවඳ තො‍ටුපොළ' නිකුත් වූයේ 2008 වසරේ දී ය. අභිනවයෙන් නිකුත් වූ 'ඈත දුර ඈත' ඇගේ දෙවැනි ස්වතන්ත්‍ර නවකතාවයි. මේ ඒ අරභයා කළ හෘද සංවාදයකි.

සාහිත්‍ය සමාජය ඔබ දන්නේ පරිවර්තිකාවක් විදිහටයි. තමන්ගෙ දෙවැනි ස්වතන්ත්‍ර නවකතාව ජනගත වෙද්දි, ඒ භූමිකා වෙනස ඔබ දකින්නේ කොහොමද?

මම බොහෝ කාලයක් තිස්සේ පරිවර්තන විතරක් කරපු නිසා, පාඨකයා මා දන්නෙ පරිවර්තිකාවක් විදිහට විතරයි. මගේ පළමු වැනි ස්වතන්ත්‍ර නවකතාව 'සුවඳ තො‍ටුපොළ' ගත්තත්, මම කරපු පරිවර්තන කියවපු තරම් පිරිසක් ඒක කියවලා නැහැ. ඒ නිසා ම මට 'පරිවර්තිකාව' කියන භූමිකාවෙන් එහාට යාමේ ගැටලුවක් මතු වෙන්න පුළුවන්. ඒත්, ලේඛිකාවක් විදිහට පරිවර්තන කළාට, හැම තිස්සෙම මට කියන්න මගේ ම කතාවක් තියෙනවා. මට ඒ කතාවත් පාඨකයට කියන්න ඕන වෙනවා.

මගේ පළමු වැනි පොත, 'සුවඳ තො‍ටුපොළ' බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාර නොලැබුණු පොතක් කියන්නත් පුළුවන්. 'ඈත දුර ඈත' කියන්නේ, පරිවර්තකයා කියන ලේබලයෙන් පොඩ්ඩක් අයින් වෙලා, ස්වතන්ත්‍ර ලේඛිකාවක් විදිහට යම් සතු‍ටුදායක තැනකට මා අරන් යන පොතක් වේවි කියලා හිතනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍ය ගැන ඔබ මොකද හිතන්නේ? අපේ ප්‍රබන්ධ සාහිත්‍ය මේ වෙනකොට ස්ථානගත වෙලා තියෙන්නේ කොහේද? ඇත්තටම අපට එහෙම තැනක් තියෙනවද?

මම අවුරුදු 18 ක් ජීවත් වුණේ හොංකොංවල. ඒ නිසා ම, ශ්‍රී ලංකාවෙ පොත් බොහොමයක් ම වගේ කියවන්න ලැබුණේ නැහැ. විටින් විට ශ්‍රී ලංකාවෙන් ලැබුණු පොත් කියෙව්වා විතරයි. අවුරුදු 18 ට පස්සේ ශ්‍රී ලංකාවෙ ජීවත් වෙන්න ආවහම තමයි මම සිංහල පොත් ක්‍රමානුකූලව අරගෙන කියවන්න ගත්තේ. අපේ සාහිත්‍ය එක තැනකට කො‍ටු වෙලා ඉන්නෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ. අපේ හැම කතාවකම තාම ඉන්නෙ වැ‍රැහැලි ඇඳගෙන, කොණ්ඩෙ කඩාගෙන, සැමියගෙ තාඩන-පීඩන ඉවසගෙන ඉන්න දුක්බර ගැහැනියමයි. අපේ හැබෑ ලෝකේ දැන් ඉන්නේ ඒ ගැහැනියම නෙමෙයි නේද කියලා මම හැම තිස්සෙම කල්පනා කරනවා. කාලයත් එක්ක දැන් අපි ඉස්සරහට ගිහිල්ලනෙ ඉන්නේ. ඒත් , අපේ සාහිත්‍ය ඇතුළේ ඉස්සරහට ගිය ගැහැනිය කෝ? මේ අදහස ඉක්මවා ගිය ගැහැනු අපේ නූතන සාහිත්‍ය පොත් ඇතුළේ ඉන්නවා. ඒත්, බහුතරය මම කලින් කියපු විදිහයි.

අපි සාමාන්‍යයෙන් ජාතියක් විදිහට ඉස්සරහට යන ගමන්ම, සාහිත්‍යයෙන් ආපස්සට යන්න කැමැතියි. අපට තියෙන්නෙ, ඉවරයක් නැති අතීතයක් ගැන උදම් ඇනීමක්. අනෙක, ශ්‍රී ලංකාවෙ සාහිත්‍යයේ තියෙන්නේ 'ට්‍රෙන්ඩ්'. මොකක් හරි ජනප්‍රිය වුණ ගමන්ම, හැමෝම ලියන්නෙ අන්න ඒ ජනප්‍රිය මාතෘකාව ගැනයි. එහෙම වෙන්න එක හේතුවක් විදිහට මම අනුමාන කරන්නේ, අපි මේ පුංචි දූපත ඇතුළේ හිරවෙලා ඉඳීමයි. ඒත්, රටෙන් එළියට යන කෙනා ලේඛකයෙක් නොවෙන්න පුළුවන්. අපි හිතින් මවාගෙන ලියන එක වෙනම දෙයක්. ඒත්, ඒක යම් සීමාවකට යටත් වෙනවනේ. හැබැයි අත්දැකීම් එහෙම නෙමෙයි. ඒවා වැඩෙනවා. එහෙම වෙනස් නිර්මාණ නො එන්නෙ, අත්දැකීම් මදකම කියලා මම හිතනවා.

'සුවඳ තො‍ටුපොළ' වගේම, මගේ අලුත් නවකතාවත් ශ්‍රී ලංකාවෙ කතාවක් නෙමෙයි. වෙන රටක සිද්ධ වෙච්ච, මිනිස්සුන්ගෙ කතාවක්. කෑම බීම වෙනස්. තැන් වෙනස්. කරන දේ, සිතුම් පැතුම් වෙනස්. වෙන රටක් එක්ක අනුගත වුණහම, මිනිස්සු හිතන දේ පවා වෙනස් වෙන එක ස්වභාවිකයි.

පොත් ප්‍රකාශකයෝ, විචාරකයෝ, සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය බලපෑම් කරන්නෝ, නියම්-අනියම් ආකාරයකින් උත්කර්ෂයට නඟන පොත් ටික තමයි අපට නිතර පේන්න තියෙන්නේ. ඒත්, මේ සියල්ලම හොඳ හෝ විශිෂ්ට ඒවා නෙමෙයි. මීට පරිබාහිරව හොඳ නිර්මාණ බොහොමයක් හැංගිලා තියෙනවා සහ හංගනවා. එතකොට මේ හැංගුණු අල්පමාත්‍රය ගැන කතා කරන්න කවුරුත් නෑ. එහෙම කතා නොකරන අල්පය අතරේ තියෙන හොඳ නිර්මාණ මඟ හැරීමෙන්, අපේ ප්‍රබන්ධ සාහිත්‍යයේ නව ප්‍රවණතා මඟ හැරිලා යනවාද?

මඟ ඇරෙන පොත් අතර ඉතා ම හොඳ නිර්මාණ තියෙන්න පුළුවන් සහ තියෙනවා. සාහිත්‍ය ඇතුළේ තියෙන කල්ලිවාදය නිසා, නරකක් වෙන්නේ. කිසියම් ලේඛකයකුගෙ වටේ ඉන්න පිරිස, ඒ ලේඛකයා ලියන්නෙ මොකක් හරි කමක් නෑ, ඒකට ආවඩනවා. එතකොට ඒ පොත හැම තිස්සෙම උඩට එනවා. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ජාලවල. දැන් ටික කාලෙක ඉඳන් කොයි වෙලේ බැලුවත්, අපේ මූණ ඉස්සරහා 'එක ම පොත' ප්‍රදර්ශනය වෙනවා. ඒකෙන් වෙන්නේ, පොත් සාප්පුවකට ගියත්, අර නිතර නිතර පේන පොත අතට ගන්න එකයි. වෙනස් තේමාවක්, වෙනස් ආකෘතියක්, වෙනස් ලේඛකයෙක් ලියපු ඊට වඩා හොඳ පොත්, අර ක්‍රමය නිසා යටපත් වෙලා යන එකයි. ලේඛකයකුටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපේ රටේ ලේඛකයන්ට නියෝජිතයොත් නැති නිසා, එක්කො ලේඛකයා, එක්කො ප්‍රකාශකයා පාඨකයා දැනුම්වත් කරන්න ඕනැ. සමහර විට ප්‍රකාශකයා මොකුත්ම කෙරුවෙ නැත්නම් , ලේඛකයට වෙන්නේ පොත ප්‍රචාරණය කරන්න, පත්තරවල සම්මුඛ සාකච්ඡා ඉල්ල ගන්න, දොරට වැඩීමක් තියන්නයි වෙන්නේ. එහෙම ශක්තියකුත් නැති කෙනෙක් ඉන්නවා කියලා නිකමට හිතමු . එතකොට එයාගෙ පොත කොතැනින්ද මතු වෙන්නේ? කොයි ක්‍රමයෙන් ද පාඨකයාට යන්නෙ කියන එක ප්‍රශ්නයක්. මේ නිසා ම, සමහර හොඳ පොත් නිකන්ම යටපත් වෙලා යනවා. ඒක හරි ම අවාසනාවක්.

'ඈත දුර ඈත' ආවෙ කොහේ ඉඳන්ද? අවුරුදු ගණනක් තිස්සේ ඔබ මේ කතාව කපමින් කොටමින් ලියනවා. හොංකොංවල ජීවත් වෙන මිනිස්සු දිහා ඈතින් සහ ළඟින් බලමින් ලියූවක් කියලා මම කිව්වොත්, ඔබේ පිළිතුර මොකක්ද?

මගේ පළමු වැනි ස්වතන්ත්‍ර නවකතාව ලියලා අවුරුදු 10 කට පස්සෙයි දෙවැනි පොත එළියට එන්නේ. මේ පොත අන්තිම සංස්කරණය කරලා දැන් ඉවරයි කියලා මම හිතුවේ 2016 දි. ඊට පස්සෙත් අත් පිටපත ඔහේ තියාගෙන හිටියා. මේ අවුරුද්දේ 'ඈත දුර ඈත' පබ්ලිෂ් කරනවා කියලා හිතුවට පස්සේ, ආයෙමත් කියවලා සංස්කරණය කළා. මට මේ වැඩේදි සංස්කාරකවරයෙක් හිටියෙ නෑ. හැබැයි පැතුම් පුංචිහේවා එක්ක සෑහෙන දේ සාකච්ඡා කරමින් තමයි, අන්තිම සංස්කරණය කළේ. වැඩිපුරම අම්මයි, මමයි තමයි පොත සංස්කරණය කරන වැඩේ කරමින් හිටියේ. 2016 සංස්කරණය කරපු පොතේ පි‍ටු 570 විතර තිබ්බා. ඒත් අන්තිමට මුද්‍රණය කරන්න යවද්දි, ආයෙ ආයෙ කතා කරමින් පි‍ටු 300 ගණනක් වෙනකන් සංස්කරණය කළා. ප්‍රධාන කතාවට අදාළ නෑ කියලා හිතෙන තැන්, නැවත කියැවෙන තැන් කියවමින් අයින් කරලා දැම්මා.

'සුවඳ තො‍ටුපොළ' ලියනකොට මමත් හොංකොං ගිය අලුත. එතකොට මට ඕන වුණේ හොංකොං කියන නගරය නැවුම් ඇහැකින් දකින විදිහ පෙන්නන්නයි. ඒක මට ලියන්න ඕන වුණේ, සංචාරක කතාවක් වගෙයි. 'ඈත දුර ඈත' ට එනකොට ඒ හැඩය සම්පූර්ණයෙන් ම වෙනස් වුණා. අවුරුදු 18ක් හොංකොංවල ජීවත් වෙනකොට, වැඩිපුර මිනිස්සු ආශ්‍රය කරනකොට, ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන ගැඹුරින් දැනගන්නකොට, වෙනත් දෙයක් කියන්න මට ඕනැ වුණා. කොච්චර සුඛෝපභෝගී, සුපිරි නගරයක් වුණත්, සල්ලි ප්‍රධාන කර ගත්ත නගරයක් වුණත්, මානුෂික සම්බන්ධතා හරි ම නොගැඹුරුයි.

මිනිස්සුන්ට ඒ නගරය ආව ගිය තැනක් විතරයි. ඒත්, අවුරුදු 18 ට පස්සේ ශ්‍රී ලංකාවට ආවහම, ඒ කාලෙ හිටපු අය මට හම්බ වුණා. තාම ඒ අය ඒ තැන්වල ඉන්නවා. ඒත්, හොංකොංවලදි කෙනෙක්ව ආයෙ දෙවැනි වතාවට අපට හම්බ වෙන්නෙම නැති වෙන්න පුළුවන්. හරියට නිකන් ගඟක් වගේ. ඔහේ ගලාගෙන යනවා. කොච්චර සෙනඟ හිටියත්, නොගැඹුරු සම්බන්ධතා ඇතුළේ කෙනෙක් හුදෙකලා වෙනවා. හැමෝම යනවා එනවා විතරයි. සමහර විට සම්ප්‍රදායික කෙනෙක් වුණත්, මේ ප්‍රවාහයට අහු වුණාට පස්සේ, දන්නෙම නැතිව ඔහේ ගහගෙන යනවා.හරි තැනකට ඇවිල්ලා, නිශ්චිත තැනක හිටගන්න තරමක කාලයක් ගත වෙනවා. මට කියන්න ඕනෑ වුණේ මෙන්න මේ කතාවයි.

හොංකොං රටේ ශ්‍රී ලාංකේය සරණාගතයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ගෘහ සේවිකාවන්ගේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ අය ඉන්න තැන් නැතිව, වීසා නැතිව දුක් විඳිනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මැද පෙරදිග කියලනේ කියන්නේ. ඒත්, හොංකොංවලත් විශාල වශයෙන් ශ්‍රී ලාංකේය සරණාගතයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මට ඒ දේ ගැනත් කියන්න වුවමනාවක් තිබුණා.

'සංස්කාරකවරු' එක්ක වැඩ කරන්න අපේ රටේ ලේඛකයෝ තරමක් මැළි වෙනවා. ඒත්, ලෝකයේ සෙසු රටවල සංස්කාරකවරු කියන්නෙ අත්‍යවශ්‍යම පිරිසක්. ඔබ සංස්කාරකවරු එක්ක වැඩ කරන්න කැමැතිද? පොතකට සංස්කාරකවරයෙක් ඉන්න එකෙන් වැඩියෙන් තියෙන්නෙ වාසි ද? අවාසි ද?

සංස්කාරකවරයෙක් ඉන්න එකේ කිසි නරකක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. දැන් ලෝකෙ ලේඛකයෝ බහුතරයකටම සංස්කාරකවරයෙක් ඉන්නවා. ඒක එක්තරා සේවාවක්, වෘත්තියක්. සංස්කාරකවරු සපයන ආයතන තියෙනවා. අපිට පුළුවන් අපේ පොත එහෙම ආයතනයකට අරගෙන ගිහිල්ලා, සංස්කාරකවරයෙක්ගෙ සේවය ගන්න. අපි එයා එක්ක සමීපව වැඩ කරන්න ඕනැ. මගේ මතය ලේඛකයකුට සංස්කාරකවරයෙක් ඕනා කියන එකයි. මම ලේඛකයෙක් විදිහට මගේ ඔළුවට එන සියලු දේ ලියන්නයි උත්සාහ කරන්නේ. ආයෙත් කියවනකොට අනවශ්‍යයි කියලා කිසි ම දෙයක් නොපෙනෙන්න පුළුවන්. ඒත්, සංස්කාරකවරයෙක් එක්ක වැඩ කරනකොට වෘත්තීමය විදිහටයි නවකතාව දිහා බලන්නේ. මගේ පොත සංස්කරණය කරද්දි පැතුම්, ජනක විශේෂයෙන්ම මගේ අම්මා වෙනස් විය හැකි තැන් මට පෙන්නුවා. ඒවා හරි වැදගත්. මම සීයට සීයක් ඒ අය කියන ඒවට එකඟ නොවෙනවා වෙන්න පුළුවන්. ඒත්, සංස්කාරකවරයෙක් පෙන්නලා දෙන කරුණු මට වැදගත් වෙන්න පුළුවන්.

සංස්කාරකවරයෙක්ගෙ සේවය ලබා ගන්න ඕනෑ කියන එකට, මම සියයට සීයක් රෙකමදාරු කරනවා. 'සුවඳ තො‍ටුපොළ' මගේ පළමු වැනි නවකතාව දිහා ආයෙ හැරිලා බැලුවහම, මම සංස්කාරකවරයෙක් එක්ක වැඩ කළා නම්, ඒ පොත වෙනමම තැනකට ගේන්න තිබ්බා කියලා මට හිතෙනවා.

ශ්‍රී ලංකාවෙ සාහිත්‍යය හුදෙකලා වෙලා කියලා මම හිතනවා. ස්වදේශීය භාෂාවකින් ලිවීමත්, ඒවා වෙනත් භාෂාවලට පරිවර්තනය නොවීමත් ලොකු අඩුවක් නේද? මේ භාෂා පාලම නොහැදීමෙන් අපිම මවාගත් ලෝකෙක තනිවෙලා ඉන්න එකෙන්, අනාගතයට පලක් නෑ නේද?

අපේ, ඉංග්‍රීසියෙන් ලියන සිංහල ලේඛකයොත් ඉන්නවා. හැබැයි, ඒගොල්ලොත් තරමක් හුදෙකලායි. දූපතක් වීම මේකට එක හේතුවක්. අපේ පොත් ඉංග්‍රීසියට හරි, වෙනත් භාෂාවකට හරි පරිවර්තනය කරන එක ගැන හිතුවොත්, ඊ ළඟට එන ප්‍රශ්නෙ කී දෙනෙක් සිංහල දන්නවද? කියන එකයි. ඉංග්‍රීයෙන් හරි, ස්පාඤ්ඤ භාෂාවෙන් හරි සිංහලට පෙරලන්න, ඒ භාෂා දන්න අය ඉන්නවා. ඒත් කෝ සිංහල දන්න අය? මේ දේ ප්‍රධානම ප්‍රශ්නයක්. ඊ ළඟට, මෙහෙම පරිවර්තනය කරන පොත් කොහොමද ජාත්‍යන්තරව අලෙවි කරන්නේ? හරියට බැලුවොත් , අපි අන්තර්ජාතිකව වැඩ කරන ප්‍රකාශන ආයතනයක් හොයා ගන්නත් ඕනැ. මේවා ප්‍රායෝගික ප්‍රශ්න. අපේ රටේ තියෙන ප්‍රකාශන ආයතන, අන්තර්ජාතික ප්‍රකාශන ආයතන එක්ක බැලුවහම ඉතා ම කුඩායි.

නව අදහස දක්වන්න