අලුත් මානයකින් හිතන්න පො‍ලඹවන පොතක් | දිනමිණ

අලුත් මානයකින් හිතන්න පො‍ලඹවන පොතක්

සෙංකොට්ටන්, මාණික්කාවත, එතෙර රොන්සුණු, ඇහි පියන් ඇහැරිලා වැනි සම්මානිත ග්‍රන්ථ රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, මේ දිනවල කියවන කෘතිය පිළිබඳ අදහස් දක්වන්නේ මෙසේ ය.

ඔබ මේ දිනවල කියවන කෘතිය?

මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ‘නෙරපු රජ - ශ්‍රී වික්‍රම රාජසිංහ ප්‍රත්‍යාවලෝකනය’ කියන පොත තමයි මම මේ දවස්වල කියවන්නෙ. මෙතුමා ප්‍රථමයෙන්ම මෙය THE DOOMED KING – A REQUIEM FOR SRI VIKRAMA RAJASINHA නමින්ඉංග්‍රීසියෙන් රචනා කර තිබෙනවා. එය සිංහලයට පරිවර්තනය කළේ එච්. ජී. දයා සිසිරයන් විසින්. මහාචාර්ය ඔබේසේකරයන්ගේ දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කෘතිය බිහිවෙලා තිබෙන්නෙ. මෙය විශ්ලේෂණාත්මක කෘතියක් .

ඔබ එහි දකින විශේෂත්වය?

අපි දන්න ශ්‍රී වික්‍රම රාජසිංහ කතාව , 1818දී ශ්‍රී ලංකාව විදේශිකයන්ට බාර දෙන ඒ පසුබිම, ඇහැලේපොළ කුමාරිහාමි කතාව, මද්දුම බණ්ඩාරගේ කතාව අපේ ජනකතා ලෙස තිබෙනවා. ඒත්, ගණනාත් ඔබේසේකරයන්ගේ මේ ‘නෙරපූ රජ’ කියන පොත ඇතුළේ, අප අසා තිබෙන ජන ජීවිතයේ සහ පොත්වල තිබෙන ඉතිහාසය සම්පූර්ණ වෙනස් එකක් විදිහටයි කියැවෙන්නෙ. ඒ කියන්නෙ, අපි ඒ දන්න කතාවලට වඩා වෙනස් විදිහට, ඔහු මේ කෘතිය තුළ මේ කරුණු ඔප්පු කර පෙන්වනවා. මේ පොත ඉතා ම වැදගත් සහ විශේෂයි කියලා, ඒ නිසා මම හිතනවා.

ඔබ මේ කෘතියට කැමැති ඇයි?

අපි මෙතෙක් අසා තිබෙන දෙයට වඩා වෙනස් විදිහේ සත්‍යයක් ගෙන එන්න, මේ කෘතිය මඟින් ඔහු උත්සාහ ගෙන තිබෙනවා. එය විධිමත් ලෙස පෙළගස්වා තිබෙනවා. සෑම කරුණකටම පාදක සටහන් සහ උපුටා ගැනීම්, අනුමාන කිරීම් ඉතාමත් විශ්වාසනීය තලයක තිබෙනවා. ඉතිහාසය කියන්නෙ හැම විටෙකම අඩක් ප්‍රබන්ධයක්. ප්‍රබන්ධයක කරන අයගේ සිතුම් පැතුම්, චින්තනය, රුචි අරුචිකම්, එයට ඇතුළත් වෙන්න පුළුවන්.

එවැනි ඉතිහාසයක් විශේෂයෙන් මෙරට වැදගත් දේශපාලන සංධිස්ථානයක් හරහා අහන දකින ඉතිහාසය, ඊට වඩා එහා ගිහිල්ලා එහි ඇතුළෙ තිබෙන සත්‍ය කතාව එළිදක්වන්න ගත් උත්සාහයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

“ජාතියක් ලෙස රැකෙන්නට නම්, අසත්‍ය යටකර සත්‍ය මතු කර ගත යුතුයි” කියා එහි එක් ස්ථානයක තිබෙනවා. මේ පොත කියවද්දි, ප්‍රබන්ධ සාහිත්‍යයේ, නැතිනම් පැරැණි ජනකතා, ඉතිහාස කතා ප්‍රබන්ධ සමඟ කෙතරම් එකතු වී තිබෙනවාද කියා වැටහෙනවා. ඒකට උදාහරණ මේ පොතේම එක් තැනක සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම කියන තුනම හරියටම පෝය දවසට සිදුවුණා කියන එක, සාහිත්‍යකරුවාගේ ප්‍රබන්ධ‍යක්. ඒත්, අපි ඒක ප්‍රබන්ධයක් විදිහට සලකන්නෙ නෑනෙ. අපි ඒක පරම සත්‍යයක් විදිහටයි පිළිගන්නෙ. ඒ නිසා, ඕනෑම ඉතිහාස කතාවක් ප්‍රබන්ධයක් සමඟ එකතුවීමෙන්, කාලයත් සමඟ ඒවා හුදු විශ්වාසයන් බවට පත් වෙනවා.

අපගේ අවසන් රජු වන රාජසිංහ වටා ගෙතී තිබෙන සියලු ම කතා, අදහස්, පොත්පත්, මතිමතාන්තර වැඩි වශයෙන් ප්‍රබන්ධයට ළං වෙලා තිබෙනවා. අන්න ඒක නැති කරලා, එහි තිබෙන සැබෑ සත්‍යය මතු කරන්න ගත් උත්සාහයක් විදිහට ‘නෙරපු රජ’ පොත හදුන්වන්න පුළුවන්. ඒ හේතු මත මං මේ පොතට කැමැතියි.

මේ කෘතියෙහි එන, ඔබ වඩාත් සිත්ගත් අවස්ථාව මොකක්ද?

මෙහි එවැනි විශේෂ අවස්ථා කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි, ඉංග්‍රීසි කොඩිය බිම දමා පෑගුවා කියන සිද්ධිය. ඒක ඒ විදිහට වෙන්නට විදිහක් නෑ කියලා, මෙතුමා මේ පොත ඇතුළෙ පෙන්වා තිබෙනවා. අනෙක් අවස්ථාව තමයි, ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරුවා කියන කතාව සිදුවෙන්නට බැහැ කියා මෙහි ඔප්පු කර තිබෙනවා. ඒ වගේම, මද්දුම බණ්ඩාර පුංචි ළමයා දංගෙඩියට හිස තැබුවා කියන කතාව, එසේ විය නොහැකි බව මේ පොත තුළ ප්‍රකට කරනවා.

ඒ වගේ ම , ‘නෙරපු රජ’ කෘතියෙන් අනාවරණය වන වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. දේශපාලන කුමන්ත්‍රණවල සැඟවුණු සැබෑ ස්වරූපය, ජෝන් ඩොයිලිගේ සියලු දේශපාලන කුමන්ත්‍රණවලට හසුවූ අපේ මුතුන්මිත්තෝ, සිංහල ප්‍රභූන්ගේ වස්තු හා බල තණ්හාව, උඩරට ගිවිසුමේ සැකමුසු තැන්, බලය උදෙසා වන අමානුෂික පාවාදීම්, ඇහැලේපොළ චරිතයේ යථාර්ථය, විදේශිකයෙක් වූ රාජසිංහ රජුගේ ජීවිතයේ අවාසනාවන්ත ඉරණම වැනි කරුණු මේ පොත ඇතුළෙ ඉතාමත් පැහැදිලි ලෙස අනාවරණය කෙරෙනවා. ඒ වගේ ම මං පෙර කියවූ ප්‍රබන්ධවලින් ඉදිරිපත් කෙරුණු ‍දේ, ඒ ආකාරයට සිදුව නැති බව මේ කෘතිය මඟින් නිශේධ වෙනවා. ඒ හැම අවස්ථාවක්ම එසේ නොවුණා ය කියන්නට ගත් වෑයම, මේ පොත ඇතුළෙ කැපිලා පේනවා. හැම දේට පිළිබඳවම කරුණු දක්වමින්, ඒවා සනාථ කිරීමට කටයුතු කරන නිසා, කෙනකුට අපි දකින ලෝකය ඒ විදිහටම දකින්නෙ නැතිව, වෙනස් ආකාරයකින් දකින්න අවශ්‍ය පසුබිම, අමුද්‍රව්‍ය මේ පොත ඇතුළෙ තිබෙනවා කියලා මට හිතෙනවා .

කෘතියෙහි සාහිත්‍යමය වශයෙන් වැදගත්කම කොයි වගේද?

මෙය පර්යේෂණ කෘතියක්. ඒ පර්යේෂණය තුළ සාහිත්‍යකරුවකුට හෝ පාඨකයකුට හෝ ලබන්න පුළුවන් ‍වැදගත්ම දේ තමයි, සත්‍ය කියන කාරණය. පර්යේෂණයකින් වේවා, ප්‍රබන්ධයකින් වේවා, වෙනත් විශ්ලේෂණයකින් වේවා, සමාජ සත්‍ය කියන කාරණය ප්‍රකට කරන්න යම් ලේඛකයෙක් උත්සාහ කරනවා නම්, ඒක ඉතාමත්ම වැදගත් කියලා මං හිතනවා. ඒ නිසා, බොහෝවිට අපි දන්න කරුණු කාරණාවලම සැබෑ පැතිකඩ ප්‍රකට කරන නිසා, මේ කෘතිය ඕනෑම පාඨකයකුට වැදගත්. මේ කරුණු හරහා, ඕනැම කෙනකුට වෙනස් ආකාරයකින් හිතන්න, දකින්න පුළුවන් .

යශෝදා ඉන්දීවරී

 මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

නව අදහස දක්වන්න