මගේ ප්‍රබන්ධවල සත්‍ය සිදුවීම් තිබෙනවා | දිනමිණ

මගේ ප්‍රබන්ධවල සත්‍ය සිදුවීම් තිබෙනවා

මාජෝරි සෙලෝනා

‘ගිලර්’ ඇතුළු සම්මාන කිහිපයකින් ම පිදුම් ලැබූ, සම්මාන සඳහා නිර්දේශ වුණු මෙන් ම, වසරේ වැඩි ම විකුණුම් වාර්තා තැබූ කෘති අතරට පත්, "Y: A Novel" කෘතියේ කතුවරිය වන මාජෝරි සෙලෝනා සමඟ www. abebooks.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබ ගැන කෙටියෙන් හැදින්වීමක් කරන්න පුළුවන්ද ?

මට වයස අවුරුදු 31යි. මම ජීවත් වෙන්නේ ඔහියෝවල. ඒත්, මම ඉපැදුණේ වික්ටෝරියාවල. මම වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. ඉන් පසුව, 'ද මාලාහට් රිවීව්' සඟරාවේ පුහුණු සේවකයෙක් විදිහට රැකියාව කළා. මම දැන් අමෙරිකා - කැනේඩියානු කතුවරයෙක් විදිහට සේවය කරනවා.

"Y: A Novel" හි කථාව කෙටියෙන් කියන්න පුළුවන්ද?

මේ කථාවේ, ප්‍රධාන චරිත තුනක් තිබෙනවා. පළමු කෙනා තමා "වයි". ඔහු තමා අපට මේ කතාව කියන්නේ. ඊ ළඟ චරිතය, "ෂැනෝන්". ඇය කොළොම්බියාවල අත්හැර දැමූ, අලුත උපන් දියණියක්. අනෙක් චරිතය, "යුලා". ඇය ෂැනෝන් ගේ මවයි. "යුලා" විව්ධාකාර ගැටලු රාශියකින් පෙළෙන තරුණ මවක්. කතාව තුළ, ෂැනෝන් කෙමෙන් තරුණ අවධියට පත් වෙනවා. ඉන් පසු ඇයට සමාජයෙන් ලැබෙන පීඩාකාරී දේ, මේ කතාව තුළ ගැබ් වෙලා තිබෙනවා. ඒක හරි ම රසවත් කතාවක්. මුළු කතාවම, මොවුන් තිදෙනා වටා දිව යනවා. එපමණක් නෙමෙයි, මේ මඟින් සමාජයට ආදර්ශයක් සපයනවා. යම් කිසි කෘතියකින් විය යුත්තේත් එය ම බවයි මං විශ්වාස කරන්නේ.

ඔබ මේ කතාවට, සත්‍ය ජීවිත අත්දැකීම් කෙතරම් ප්‍රමාණයක් එක් කරලා තිබෙනවද?

සමහර අවස්ථාවල, යම් යම් සිද්ධි ගොඩ නගන්නේ සත්‍ය සිද්ධි පාදක කරගෙනයි. මම හිතන්නේ බොහෝ කතුවරුන් එය කරනවා. මේ කථාව තුළ සිටින ෂැනෝන් ගේ සුරතල් බලු පැටවූ තිදෙනා, එයින් එක අවස්ථාවක්. මගේ කුඩා කාලයේදීත් මට එහෙම සුරතලුන් සිටියා. මේ කතාව ලියාගෙන යද්දි, මට මගේ ඒ බලු පැටවුන් තිදෙනා මතක් වුණා. ඒ අනුව මං , ඒ සිද්ධිය පාදක කරගෙන කතාව ගොඩනැගුවා. මෙවැනි සිදුවීම් හරහා, මං නැවතත් මගේ ළමා කාලයට පියමං කළා කියන එක, කිව යුතුම දෙයක්. ඒක හරි ම අපුරු දෙයක්. මොකද කෙනකුට ළමා කාලය කියන්නේ හරි ම සුන්දර අවස්ථාවක්. මනසින් හෝ ළමා කාලයට යාමට හැකිනම් කොතරම් හොඳද? නිසැකවම, මේ කෘතියේ සාර්ථකත්වයට මේ සත්‍ය සිදුවීම් බලපාන්න ඇති.

ඔබ ඉපැදුණේ වික්ටෝරියාවල වැන්කවර් දිවයිනේ. ඒත් ඔබ දැන් එහෙ ඉඳන් බොහෝ ඈතින් ජීවත් වෙන්නෙ. ඒ කාලය ඔබට මතක් වෙනවද?

අනිවාර්යයෙන්. මට තවමත් අප වටේ තිබුණු සාගරය මතක් කරනවා. මම මගේ පවුලේ අය එක්ක ඇවිදපු පාරවල් මතක් වෙනවා . මට ඒ කාලේ පරිසරය විඳින්න ඇති තරම් කාලය තිබුණා. හරි ම සුන්දර හා ආදරණීය ළමා කාලයක් තමයි මට උරුම වෙලා තිබුණේ. එවැනි සුන්දර ළමා කාලයක් ලබන්න මම වාසනාවන්තයි. මගේ එවැනි අත්දැකීම් තමයි වර්තමානයේ මගේ කෘතිවලටත් පාදක වෙන්නේ. ඒ සුන්දර සිදුවීම් මා වගේම, පාඨකයන් වෙනම ලෝකයකට රැගෙන යනවා කිව්වොත් නිවැරැදියි.

ඔබ කියැවීමට කැමැති, වෙනත් කෘති මොනවාද?

මෝනා සිම්ප්සන් ගේ 'එනිවෙයා බට් හියර්', 'ද රිමේන්ස් ඔෆ් ද ඩේ', ඉන් ද ස්කින් ඔෆ් ලයන්, බස්ටර්ඩ් අවුට් ඔෆ් කැරොලිනා යන කෘතිවලට සහ අලස්ඩේයාර් ග්‍රේ ගේ 'අන්ලයික්ලි ස්ටෝරීස් මෝස්ට්ලී' යන කෘතියටත් මම කැමැතියි. මේ මම කැමැතිම කෘතිවලින් කිහිපයක් විතරයි. මං සාමාන්‍යයෙන් පොත් කියවන්නෙක්. ඕනෑම වර්ගයක පොත් මං කියවනවා. ඒ අතරින් වඩාත් සිත් ගත් පොත් කිහිපයක් තමයි මේ.

ඔබගේ මේ පොත ලිවීමට උනන්දුව ඇති කරපු වෙනත් පොතක් තිබෙනවද ?

සාමාන්‍යයෙන් මම ලියන වෙලාවට වෙනත් පොත් කියවන්නේ නැහැ . ඒත්, මම ඒ දිනවල අවසානයට කියවූ මැරලින් රොබින්සන්ගේ ‘හවුස්කීපින්’ කෘතිය තරමක් දුරට පාදක වුණා කිව්වොත් නිවැරැදියි.

ඔබ වෘත්තීය කතුවරියක් වීමට පෙර කළ රැකියා මොනවද?

අනෙක් අය වගේම මමත් රැකියා බොහොමයක් කර තිබෙනවා. මගේ වයස අවුරුදු 20 වගේ කාලයේදී, මම බොහෝ අවස්ථාවල පිළිගැනීමේ නිලධාරිනියක් විදියට සේවය කළා. කෙසේ හෝ මම කතුවරියක් වුණේ නැතිනම්, පරිගණක ඉංජිනේරුවරියෙක් වීමට බොහෝ ඉඩ තිබුණා. මම කුඩා කාලයේ පටන්ම, පරිගණකයටත් ඉතා ඇලුම් කළා. මට එහි සියලු දේ හැසිරවීමේ හැකියාව තිබුණා. මගේ මව පැවසුවේ, මං උපතින්ම ඒ හැකියාව රැගෙන එන්නැති කියලයි.

ඔබ සාමාන්‍යයෙන් දවස ගෙවෙන්නේ කොහොමද?

මම සාමාන්‍යයෙන් උදේ නැගිටිනවා . ඊ ළඟට කෝපි එකක් ගන්නවා. මගේ සුරතලත් එක්ක ඇවිදිනවා . මම සාමාන්‍යයෙන් දිනකට පැය අටක් පමණ ලියනවා . හවසට මම මගේ පෙම්වතා එක්ක ඇවිදින්න එළියට යනවා . ඒ සෑම දෙයකින්ම මගේ ජීවිතයට අත්දැකීම් එකතු කර ගන්නවා වගේම, කෘතිවලටත් යොදා ගන්නවා.

නවක කතුවරයන්ට දෙන්න තිබෙන උපදෙස මොක්ද ?

ඔබ යම් කිසි දෙයකට දක්ෂයි කියල සිතනවා නම්, එය විශ්වාස කරන්න. අවසන් ප්‍රතිඵලය ගැන නිතර සිතන්න.

ඔබ විසින් මේතාක් රචනා කළ කෘති මොනවාද?

Hier könnte ich zur Welt kommen: Roman, Hvorfor, Waarom, Chybejici dil ආදී කෘති මං රචනා කර තිබෙනවා. ඒ වගේ ම, මගේ අලුත් ම කෘතිය ‘වයි’. ඒ වගේ ම මං ‘ ඔතෙලෝ’ නමින් කෙටි කතා පොතක් ද රචනා කළා. එයට 2008 වසරේදී Bronwen Wallace Award සම්මානයත් හිමි වුණා.

ඔබගේ ඊ ළඟ නිර්මාණය ගැන කෙටි ඉඟියක් දෙන්න පුළුවන්ද?

ඒ කතාව, පවුලක සිටින පියෙක්, දරුවන් සහ සහෝදරයන් අතර සිදුවන සිදුවීම් මාලාවක් ගැන කියැවෙන කතාවක්.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න