කැලණි රජමහා විහාර දුරුතු මහ පෙරහර | දිනමිණ

කැලණි රජමහා විහාර දුරුතු මහ පෙරහර

කැලණි පුරවරය ඓතිහාසික වශයෙන් අනුරපුර පොළොන්නරු යුගයන්ටත් වඩා පැරණිය. සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ කැලණි පුණ්‍යභූමිය ලොව සියලු සිද්ධස්ථානයන්ට වඩා ශ්‍රේෂ්ඨය. ඒ බව පසක් කරවන ඓතිහාසික සාධක එමටය. විජයාවතරණයට පෙර සිට එහි ඉතිහාසය විහිදී ඇති අයුරු සාක්ෂි සහිතව සනාථ කළ හැකිය. විශ්ව සාහිත්‍ය කෘතීන්හි පවා කැලණිය පිළිබඳව සඳහන් වේ.

මහා වංශයේ සඳහන් වන ආකාරයට, සර්වඥයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙන අනවතප්ත විල අසලදී වළඳා බුද්ධත්වයෙන් නව වන වස දුරුතු පසළොස්වක පොහෝදා ලක්දිව සුද්ධ කරනු වස් මෙහි වැඩම කර තිබේ. ලක්දිව ස්වකීය ශාසනය පිහිටා බැබළෙන තැනැකැයි දුටු උන්වහන්සේ මහියංගණයට වැඩ එහි ආධිපත්‍ය ගෙන සිටි යක්ෂයන් ගිරි දිවයින තෙක් ඈත් කර, එහි රැස් වූ දෙවියන්ට ධර්මය දේශනා කොට ඇත. උන්වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වස මහෝදර සහ චූලෝදර යන මාමා සහ බෑනා වන නාග රාජයන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා හටගත් ආරවුල සමථයකට පත් කිරීම සඳහා බක් මස අමාවක් පොහෝ දින නාගදීපයට වැඩම කොට ඔවුන් සමගි කරන ධර්මයක් දේශනා කළ සේක. ඉන්පසු යුද වැද සිටි දෙදෙන සතුටට පත්ව, යුද්ධයට හේතු වූ මිණි පලඟ උන්වහන්සේට පූජා කළහ. එහි වැඩහුන් සර්වඥයන් වහන්සේ නාගයන් පිළිගැන්වූ දිව්‍ය ආහාර පානයක් වළඳා ගොඩ දිය දෙකෙහි වාසය කරන අසූකෝටියක් නාගයන් තිසරණ පන්සිල්හි පිහිටුවා තිබේ. එකල කැලණියේ මණිඅක්ඛික නම් නාගරාජයකු විය. ඔහු උන්වහන්සේට මෙසේ ආරාධනය කළහ. “ස්වාමිනි, මා කෙරෙහි අනුකම්පා කොට නැවත ගමනකදී මගේ වාසභූමියට (කැලණියට) වඩින සේක්වා”. බුදුන්වහන්සේ එම ආරාධනය පිළිගත් සේක.

බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි සැරියුත් මුගලන් අගසවු දෙනමද සමඟ මහරහතන් වහන්සේ පන්සියයක් සපිරිවරාගෙන කැලණියේ මණි අක් නාරජුගේ වාසභවනයට වැඩි සේක. නාරජු විසින් දැනට කැලණියේ චෛත්‍යය පිහිටා තිබෙන ස්ථානයෙහි කරවන ලද රත්න මණ්ඩපයෙහි වූ මාහැඟි මාණික්‍ය පර්යංකයෙහි බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක.

කැලණි පූජාභූමියේ දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා අනුව 1925 වසරේදීය. එදින දුරුතු පුන් පොහෝ දිනයක් විය. එම පෙරහර හඳුන්වනු ලැබුවේ ධාතු පෙරහර නමිනි. මෙය එවකට මහ පෙරහරක් වන අතර එහි සර්වඥ ධාතු කරඬුව වැඩමවන ලදී. නැටුම් කණ්ඩායම් හයකින්ද, අලි ඇතුන් දස දෙනකුගෙන්ද පෙරහර සමන්විත විය. පසුව විභීෂණ දෙවොලේ පෙරහර සමඟද අනතුරුව විෂ්ණු පෙරහර සහ කතරගම පෙරහර සමඟ ද එකතු විය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිහිපත් කරනු වස් පැවැත්වෙන කැලණි දුරුතු මහ පෙරහර ආරම්භ වූයේත් හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී පුරෝගාමී දායකත්වය සම්පාදනය කරන ලද්දේ එතුමියගේ පුත්‍ර දොන් වෝල්ටර් විජයවර්ධන මැතිතුමාණන්ය. එතුමාගේ හදිසි අභාවය හේතුවෙන් වසර කිහිපයක් දුරුතු පුණ්‍යෝත්සවය පැවැත්වීමට නොහැකි විය.

1964 එතුමාගේ පුත්‍ර පිලිප් උපාලි විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැවතත් පෙරහර මංගල්‍යය ආරම්භ විය. එතුමාගේ හදිසි වියෝවෙන් පසුව මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, එතුමාගේ පුත්‍ර ශාලිත විජේසුන්දර සහ වර්තමානයේ වෝල්ටර් විජයවර්ධන මැතිතුමාගේ මුණුපුරු ධම්මික ආටිගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරහර කටයුතු ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ සමහර පෙරහර බෞද්ධ සංස්කෘතික අංගයන් සහ පෞරාණික පිළිවෙත් අභිබවා වාණිජකරණයට හසුවෙද්දී කැලණි මහ පෙරහර එයින් මිදී පැරණි සම්ප්‍රදාය රැකගනිමින් සියලු චාරිත්‍ර වාරිත්‍ර විධි නොඉක්මවා අති ගෞරවණීය ලෙසත්, අති අලංකාර ලෙසත් පවත්වාගෙන යාමට අපවත්වී වදාළ අතිපූජ්‍ය විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ සහ විචිත්‍රභානී, වත්තල සීලරතන නාහිමිපාණන් වහන්සේ මහත් උත්සාහයක් සහ කැපවීමක් කළහ. එසේම වර්තමාන කැලණි රාජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ද මෙම පූජෝත්සව කටයුතු මෙහෙයවීමෙහිලා මහත් කැපවීමකින් කටයුතු සම්පාදනය කරන බව සඳහන් කළ යුතුව ඇත. ඒ සඳහා උන්වහන්සේට දායක සභාවේ සහායද නොමඳව ලැබේ.

කැලණි විහාර දුරුතු පූජෝත්සවය සම්බන්ධ පින්කම් මාලාව දෙමසක් පුරා පැවැත්වේ. දෛනිකව පැවැත්වෙන ධර්ම දේශනාවන්ට සමගාමීව සම්ප්‍රදායානුකූල මල් පෙරහරද පැවැත්වෙන අතර පරිත්‍රාණ ධර්ම දේශනාව සිවුදිනක් මුළුල්ලේ පැවැත්වේ. ඉන් අනතුරුව සුවිශේෂ කුල කුමරුවකු විසින් දොරකඩ අස්න පවත්වනු ලැබේ. අනතුරුව එම කුල කුමරු හස්ති රාජයා මත නංවා මහ පෙරහරින් වරාගොඩ ග්‍රාමයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා සම්ප්‍රාප්ත වේ. උඩමළුවේ පෙරහර දුරුතු මහේ 19 දින අත්‍යාලංකාරයෙන් පවත්වනු ලැබේ.

ආචාර්ය පියසිරි පී.මීගොඩ

නව අදහස දක්වන්න