වතුරත් මිනිස්සුත් අතරමඟ | දිනමිණ

වතුරත් මිනිස්සුත් අතරමඟ

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

හොරණ නගරයටම පානීය ජලය බෙදා හරින ඇල්ල කන්ද ජල ටැංකියට කිලෝමීටර් 02ක් පමණ දුරින් ඇති මාහේන ගම්මානයට වසර ගණනාවක සිටම පානීය ජලය පිළිබඳ විශාල ගැටලුවක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

පවුල් 25ක් පමණ ජීවත්වෙන මාහේන, දේවාලකන්ද ප්‍රදේශයේ ළිං කපා ගැනීමටද අසීරු තත්වයක් ඇති නිසා හොරණ මොරොන්තුඩුව මාර්ගයේ අතරමඟට පැමිණ තිබෙන ජල සැපයුම දීර්ඝ කර ඔවුන්ටද ජලය ලබා දෙන්නැයි වසර ගණනාවක සිටම ඉල්ලීම් කළත් එය අසාර්ථක වී ඇති බව ඔවුහු පවසති. මෙම වැසියන් ගමට පිවිසෙන අතුරු මාර්ගයේ සිට නිවෙස්වලට බට එලා ජලය ලැබෙන තුරු මග බලා සිටන්නේ ඉතා ඉක්මනින් ජලය ලැබේ යැයි බලාපොරොත්තුවෙනි. දැනට කඳු මුදුනේ පදිංචිකරුවන් පහළ ඇති ළිංවලින් අසීරුවෙන් ජලය ලබා ගන්නා අතර මුළු ගමටම නෑම ඇතුළු අනෙකුත් කාර්යයන් සඳහා ඇත්තේ තුන්දොළ ප්‍රදේශයේ ඇති පොදු පිංපොකුණ පමණක් බවද පෙන්වා දෙති.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමිල සනත් පෙරේර මහතා - "හොරණ ටවුමට මේ ගමේ ඉඳලා කිලෝමීටර් 02යි තියෙන්නෙ. ගමට කිලෝමීටර් 1/2ක් තියෙද්දි පාරෙ ලයින් එක නතර කරලා. අනිත් පැත්තෙන් ලබුගමින් එහාට වතුර තියෙනවා. අතරමැදි මාහේනට තමයි වතුර ටික නැත්තෙ. එදා ඉඳලම මෙහෙම තමයි. පහළ ළිඳක් තියෙනවා. වැඩට ගිහින් ඇවිත් ලොරියෙන් බැරල්වලට වතුර අදිනවා. වාහන නැති අය කොහොමද කරන්නෙ. මේ පැත්තෙ ගල හින්ද ළිං කපන්න බෑ. ලක්ෂ 4ක් 5ක් වියදම් කරල කැපුවත් ඒවයෙ වතුර නෑ. හම්බකරන තරමක් ළිං කපන්න අපට බෑ. පාරේ වතුර ටික පෙනි පෙනි නැති වෙන එක ගැනයි දුක."

කුසුමා අතුකෝරළ මහත්මිය - "මට දැන් අවු 64ක් වෙනවා. තාමත් අපිට තියෙන්නෙ වැහි වතුර ටික විතරයි. පායනකොට ප්‍රාදේශීය සභාව සති දෙකකට සැරයක් එනවා වතුර දෙන්න. ඊට වඩා බෑ කියනවා. ඒ ගේන වතුර බොන්න බෑ. ටොයිලට්වලට තමයි ගන්නෙ. මළගෙයක්, මඟුල් ගෙයක් වුණ ගමන් ප්‍රාදේශීය සභාවෙන් වතුර බවුසර් දෙක තුනක් සල්ලිවලට ගන්න වෙනවා. එකත් ඉෂ්ට වෙනකොට කල් යනවා."

රේණුකා මල්කාන්ති මහත්මිය - "මට පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්නවා. දවසකට වතුර ගොඩක් වුවමනා වෙනවා. මේ කන්දට වතුර ඇදලම අතපය හන්දි කැක්කුම අල්ලලා. නාගන්න, රෙදි හෝදගන්න සේරම එක්ක තුන්දොළේ යනවා. වැඩට යන අය රෑට ටෝච් ගහගෙන නාගන්නෙ . පුදුම දුකක් තමයි අපි විඳින්නෙ."

ප්‍රේමලාල් අතුකෝරළ මහතා - " අවුරුදු 10කට 15කට කලින් සමෘද්ධියෙන් ළිඳක් කැපුවා. කවුරුත් එක්ක බට ලයින් එකත් දාගත්තා. ඒක බොහොම ටික කාලයයි. මෝටරේ පිචිචිලා කියල නතර වුණා. ටැංකියෙන් එකක්ම ගැහුවොත් විතරයි කඳු මුදුනෙ අයට වතුර ගන්න පුළුවන්. ගම්වල අයගෙ නොදැනුවත්කමට ඒ ළිඳ හැදුවෙ කොහිල විලක. ගඩොල්වලින් බැඳල සිලින්ඩර් බැස්සුවෙ. වතුර බොන්න බෑ. මළකඩ රසයි."

ලයනල් අබේපිටිය මහතා - "හොරණ මොරෙන්තුඩුව පාර අයිනෙ ඉඩමක ලක්ෂ 4 1/2ක් විතර වියදම් කරලයි සමෘද්ධියෙන් ළිඳ කැපුවෙ. ඒකට අඩු ගාණේ මෝටරයක් දාලා බාගෙට තමයි වැඩේ කළේ. කන්ද උඩින් හදපු ටැංකියට පොම්ප කරල ගමට බෙදා හරින්න යෝජනා කළේ. ඒ ව්‍යාපෘතිය අසාර්ථකයි. දැන් ළිඳයි මෝටර් කාමරෙයි කැලේට ගිහිල්ලා. ගෙවල්වලට එලා ගත්ත බට ලයින් එක තාම තියෙනවා. පාරෙ වතුර ටික ලැබෙන්න විතරයි ඕනෑ."


නව අදහස දක්වන්න