ජනාධිපතිවරණය නියමිත කාලයටමයි | දිනමිණ

ජනාධිපතිවරණය නියමිත කාලයටමයි

සමන්මලී ප්‍රියශාන්ති

ඉදිරි කාලයේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තවත් විශාල වැඩකොටසක් ජනාධිපතිවරයාට තිබෙන බැවින් ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීමට කිසිඳු අවශ්‍යතාවයක් ජනාධිපතිවරයාට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.

දහ නවවැනි සංශෝධනය අනුව ධූර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ වු පසුව ජනාධිපතිවරයාට කැමැති අවස්ථාවක ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවත් එම තීරණය ගැනීමේ සම්පූර්ණ අයිතිය ජනාධිපතිවරයා සතු වන බවත් ඒ ගැන තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් සමරසිංහ මහතා අවධාරණය කළේය.

හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රීලනීප මූලස්ථානයේදී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදීය. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවම ඉදිරිපත් කිරීමට පක්ෂය ලෙස තීරණය කර තිබෙන බවත් පැවසූ ඒ මහතා, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවමත් ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් කීය.

ඉදිරියේ දී කුමන ලාංඡනයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න මේ වන විට පොදු ජන පෙරමුණ සමඟ යම් යම් සාකච්ඡා පැවැත්වෙන බවත් පැවසීය.

ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට සියයට 50.1 ක ප්‍රමාණයක් ලබා ගත යුතු අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව එළැඹෙන ජනාධිපතිවරණයේදී සියයට 50.1 ලබා ගැනීමේ ගැටලුවක් නැති බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.


නව අදහස දක්වන්න