රාජපක්ෂ හිතවාදීන්ගේ මැර බලය ස්වාධීන හා ජාතික රූපවාහිනියේ සිදුවීම්වලින් පේනවා | දිනමිණ

රාජපක්ෂ හිතවාදීන්ගේ මැර බලය ස්වාධීන හා ජාතික රූපවාහිනියේ සිදුවීම්වලින් පේනවා

ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර, සුභාෂිණි සේනානායක

ඔක්තෝබර් 26 වැනිදා ඇතිවූ කුමන්ත්‍රණයෙන් පසුව රාජපක්ෂ හිතවාදීන්ගේ මැර බලය කෙතරම්ද යන්න ස්වාධීන රූපවාහිනි ආයතනයේ සිදුවීම, ජාතික රූපවාහිනියේ සිදුවූ සිදුවීම් ආදියෙන් පැහැදිලි වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කෙළේය.

දෛනික කටයුතු හා රාජකාරියට බාධා වන අයුරින් ආයතනයේ කීර්ති නාමයට හානිවන පරිදි ස්වාධීන රූපවාහිනි ආයතනයේ සේවක පිරිසක් ගෙනගිය කලබලකාරී තත්ත්වය සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සමථයකට පත්කිරිමට හැකිවූ බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

ජනාධිපති උපදේශකවරයා, ආරක්ෂක ලේකම්වරයා, ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපතිවරිය ඇතුළු කණ්ඩායම සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ බවත් හෙ‍තෙම පැවැසීය.

ඇමැති මංගල සමරවීර මහතා මේ බව සඳහන් කෙළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (08) මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2015 වසරේදී බලයට පත්වූ යහපාලන රජය , මාධ්‍ය ආයතන වල සිටි කිසිඳු අයෙකුගෙන් පළි නොගෙන , අතපය නොකඩා කිසිඳු බලපෑමකින් ‍තොරව රාජකාරි කටයුතු කිරීමට ඉඩ ලබාදුන්න ද ඔක්තොම්බර් 26 වැනි දා‍ ජාතික රූපවාහිනි ආයතනය මැරවරයින් විසින් භාර ගෙන තිබූ බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

පසුගිය 26 වැනිදා ඇතිවූ තත්ත්වයත් සමඟ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම වෙනුවෙන් රන්ජිත් මද්දුම බණ්ඩාර ,රාජිත සේනාරත්න මහතා හා තමන් ජාතික රූපවාහිනි ආයතනයට ගිය අවස්ථාවේදී එහි රැදී සිටි මැරවරයින් ගල්මුල් වලින් පවා පහර එල්ල කරමින් සතුන් සේ කටයුතු කළ බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

අයි ටී එන් සුරැකීමේ සංවිධානය එම ආයතනයේ දුෂණ ගැන කතා කළත් 2015 ජනවාරි අටවැනිදායින් පසුව රුපියල් මිලියන 677 ක මුදලක් අවභාවිත වී නොමැති බවත් එම ආයතනයේ පරිපාලනය විසින් නිකුත් කළ ලිපියක පවා ඒ බව සඳහන් වන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය. එමෙන්ම 2015 ජනවාරි අට‍වැනිදා‍ට පෙර එම ආයතනය තුළ සිදුව ඇති රුපියල් මිලියන 101 ක පාඩුව සඳහා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් වගකිව යුතු බවට ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවත් පැවැසීය.

නව අදහස දක්වන්න