මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට | දිනමිණ

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 02.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. 

එහෙත් යුරෝ 4 විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. 

ඒ අනුව මේ දක්වා රුපියල් 125 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 122ක් සහ රුපියල් 149 කට අලෙවි  වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වනු ඇත.

ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 101යේ සිට රුපියල් 99ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 121 සිට රුපියල් 118 දක්වා පහත දමා තිබේ.

ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කරන ලද නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජය අවධාරණය කරයි. 

සිංගප්පූරුවේ බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ම ෆ්ලැට්ස් වෙළෙඳපොළේ නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ අඛණ්ඩව වැඩි වෙමින් පවතී. 

තෙල් මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් විය. 

එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබිණි. 

කෙසේ වෙතත් 2019 ජනවාරි මස  දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර  අද වන විට (10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇත. 

නව අදහස දක්වන්න