අයවැයට යෝජනා | දිනමිණ


 

අයවැයට යෝජනා

මහාචාර්ය රොහාන් සමරජීව

රජයේ ක්‍රියාකාරීත්වයට ජීවය සපයන ප්‍රධාන සාධකය අයවැයයි. දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන මෙන්ම ජනතාව වසර ආරම්භයේදී විමසිලිමත් වන්නේ පවතින රජය ඉදිරිපත් කරන අය-වැය සම්බන්ධයෙන්ය. රටේ ජනතාව අයවැයෙන් අපේක්ෂා කරන්නේ සහනයි. විපක්ෂය විමසිල්ලෙන් බලා හිඳින්නේ රජය ඉදිරිපත් කරන අයවැයේ අඩුලුහුඬුකම්ය. රජය උත්සාහයක යෙදෙන්නේ ඉදිරිපත් කරන අයවැයෙන් ශක්තිමත් වන්නටය. රජය ස්ථාවරත්වයකට පත්කර ගන්නටය.

රාජ්‍ය කේන්ද්‍රීය ආකාරයකට ආණ්ඩුව යම් යම් දේ ප්‍රදානය කරන සංකල්පයක් මෙතෙක් ක්‍රියාත්මක වන අතර බොහෝ ජනයා බලාපො‍රොත්තුව සිටින්නේ මෙවර අයවැයෙන් අපට ලැබෙන සහන මෙනවාද කියාය. රාජ්‍ය සේවකයන් වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන අතර පෞද්ගලික අංශය ද ඊට සාපේක්ෂව වැටුප් වර්ධකයකට අවසර ලැබේ යැයි ද සිතති. පොදු ජනතාව ද අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු තවත් බොහෝ දේ සඳහා සහන බලාපොරොත්තු වෙති. වාණිජ අංශය හා ව්‍යවසායකයන් බදු සංශෝධනය වී සහන අපේක්ෂාවෙන් සිටිති.

රටක අය-වැය යනු ජනතාවට සහ ව්‍යාපාර ප්‍රජාවට වසරින් වසර සහන ලබාදෙන ක්‍රමවේදයක් ද යන්න පළමුව සාකච්ඡාවට බඳුන් කළ යුතු වන්නේ එහෙයිනි. අය-වැය පිළිබඳ ඊට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු ය. අය-වැය යනු සහන ලබා දෙන්නක් පමණක් නොවන අතර මූලික වශයෙන් එය ආණ්ඩුවක අය හා වැය ශීර්ෂය පිළිබඳ නිශ්චිත තීන්දු තීරණ නිකුත් කරන ලේඛනයකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට රජයට බදු ගෙවන්නන්ගේ මුදල් පරිහරණය සඳහා ලිඛිත අවසරය ලබා දෙන ලේඛනය අය-වැය යි. අයවැයක් තුළින් සම්මත නොවී ජනතා බදු මුදල් ප්‍රයෝජනයට ගත නොහැකිය. රජයක ක්‍රියාකාරීත්වය සඳහා මුදල් ලැබෙන ක්‍රමවේදයක් හා මුදල් වියදම් කරන ක්‍රමවේදයක් තිබිය යුතුය. එය අය-වැය යනුවෙන් හඳුන්වයි. අය තත්ත්වය ඍණ අගයක හෝ ධන අගයක තිබිය හැකිය. එහෙත් අපේ රටේ දිගු ඉතිහාසයක සිට ඍණ අගයක පවතී. උපයන ආදායමට වඩා වැය ශීර්ෂය අධික බැවින් අප රට තුළ අය අගය ඍණාත්මක වන අතර වැය ශීර්ෂය ධනාත්මක පවතී.

සහනාධාර අපේක්ෂාව

දියුණු රටවල බදු මුදල් රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කෙරේ. විවිධ කර්මාන්තශාලා ප්‍රවර්ධනය කර අපනයන භාණ්ඩ නිෂ්පාදනය කෙරේ. එයින් විදේශ විනිමය රටට ගෙන්වා ගැනේ. එවැනි රටවල්වල ආනයන භාණ්ඩ ඉතා අවම වන අතර අපනයන භාණ්ඩ ශීඝ්‍ර වර්ධනයක පවතී. එය රටේ සංවර්ධන ක්‍රියාවලියට මහත් මෙහෙවරක් කරයි. එහෙත් අවාසනාවකට අප රට නිදහස ලබා වසර හැත්තෑවක් ගත වුවද තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. එයට හේතුව රජයට ලැබෙන ආදායම රටේ ජනතාවට සහන සැලසීමටම සීමාවන නිසාය.

අය-වැයක් අවසානයේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද ඇතැම් සිවිල් සංවිධාන ද සිවිල් ජනතාව ද අපේක්ෂිත සහන හා ආධාර නොලැබුණි නම් රජයට දොස් පවරමින් විවිධාකාරයේ විවේචන කිරීම සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. අයවැයක සැබෑ අරුත නොදැනීම හේතුවෙන් එසේ සිදුකළ ද එය රටක දියුණුවට විශාල බාධාවකි. අය-වැයක් තුළින් ජනතාව අපේක්ෂා කරන සහන නොලැබුණි නම් එම රජය පෙරළීමට විරුද්ධ දේශපාලන පක්ෂ ද ජනතාවගේ සහය ඉල්ලන අතර තමන් අපේක්ෂා කළ සහන ලබා නොදුන් හෙයින් එම රජය ඉවත් කර සහන ලබාදීමට පොරොන්දුවන රජයක් බලයට ගෙන ඒමට ජනතාව ද වෙහෙසෙති. මේ හේතුවෙන් පවතින රජය ද දැඩි ආර්ථික අසීරුකම් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට පෙලඹේ. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මක්නිසාදයත් රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කළ යුතු මුදල් ජනතා සහන වෙනුවෙන් වැය කිරීමට සිදුවන නිසාය.

මේ ක්‍රමවේදය නිසාම අප රටට විදේශීය ණය ලබාගැනීමෙන් වැළකී සිටීමට නොහැකි වී ඇතත් විදේශීය ණය ලබා ගන්නවාට ද ජනතාව අකමැතිය. පවතින තත්ත්වය අනුව විදෙස් ණය නොගෙන ව්‍යාපෘති ආරම්භ කර රට සංවර්ධනය කළ නොහැක. රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම් හා සහන සැලසීම වැනි මූලික කටයුතු මෙන්ම නව ආදායම් ලැබෙන ව්‍යාපෘති ආරම්භ කර රට ආර්ථික වශයෙන් ඉහළ තලයකට ගෙන යා හැකි නිවැරදි දිසානතියක් පිළිබඳ නිත්‍ය වැඩපිළිවෙළක් අය-වැය තුළින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් අපේක්ෂා කරන්නේ සහන සංකල්පයට එහා ගිය සංවර්ධන සැලසුම් යෝජිත අයවැයක් ය.

වර්තමානයේදී අමෙරිකන් ඩොලරය ශ්‍රී ලංකා රුපියල හා සැසඳීමේදී ඉතා ඉහළ අගයක පවතී. මෙයින් රුපියල ශීඝ්‍රයෙන් අඩු අගයක් වෙත ඇදී යයි. ශ්‍රී ලංකාව වැනි රටකට අමෙරිකන් ඩොලරය වැනි විදේශීය මුදල් ඒකකයක අගය ඉහළ යෑම දරාගත නොහැකියි. මක්නිසාදයත් අප රට තවමත් ආනයන භාණ්ඩවලින් පෝෂණය වන රටක් නිසාවෙනි. පහළ වැටී තිබෙන රුපියල ඉහළ නංවාලීම සඳහා මෙවර අයවැයෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඒ සඳහා ඇති එකම විසඳුම අපනයන භාණ්ඩ වැඩියෙන් නිෂ්පාදනයකොට විදේශීය විනිමය රටට ගෙන්වා ගැනීමය.

අමතක කළ ජලය

ලොව ඉහළින් පිළිගත් භාණ්ඩ රාශියක් අප රට තුළ නිෂ්පාදනය වේ. විශේෂයෙන් තේ, රබර්, කුරුඳු, කුළුබඩු, මැණික්, මිනිරන් වැනි දේ නිෂ්පාදනය වැඩිකර ප්‍රමිතියෙන් උසස්ව සකසා අපනයනය සඳහා ක්‍රමවත් විදේශීය වෙළෙඳපොළක් සැකසීමට රජය සෘජුව මැදිහත්විය යුතුය. අප රට තුළ නිෂ්පාදනය වන එළවළු හා පලතුරු සඳහා ද මේ වන විට හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතී. කරදිය හා මිරිදිය මසුන් සුරක්ෂිතව කල් තබා ගැනීම සඳහා අවශ්‍ය නවීන පහසුකම් සපයා අපනයනය සඳහා සූදානම් කිරීමට ද පුළුවන. ඊට අමතරව පිරිසුදු පානීය ජලය අපනයනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. ඇඟලුම් කර්මාන්තය, බතික් කර්මාන්තය, වෙස්මුහුණු, කැටයම් හා වෙනත් අත්කම් කර්මාන්ත ද විදේශීය ආදායම් මාර්ගයන්ය. කෘෂිකර්මාන්තය දියුණු කර ධාන්‍ය වර්ග අපනයනය සඳහා සකස් කිරීම ද හොඳ ආදායම් මාර්ගයක් වන්නේය.

මීට අමතරව අප රටට අවශ්‍ය වාහන අප රට තුළ නිෂ්පාදනය කිරීමෙන් දේශීය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගත හැකි වන අතර ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන හා වෙනත් තාක්ෂණික මෙවලම් නිෂ්පාදන කර්මාන්තශාලා රට තුළ ආරම්භ කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය උසස් තාක්ෂණවේදීහු රට තුළ සිටිති. එවැනි ක්ෂේත්‍රයන්හි නිරතවන ආයතන මේ වන විට ක්‍රියාත්මක වන අතර එවැනි ආයතන දිරිගැන්වීම සඳහා අවශ්‍ය ශක්තිය රජය මැදිහත්වීම තුළින් වර්ධනය කළ හැකිය. අප රටට අවශ්‍ය වාහන හා යන්ත්‍රෝපකරණ බොහෝමයක් අප රටේම නිපදවා ගැනීමටත් අපනයන භාණ්ඩ වැඩියෙන් නිපදවීම සඳහාත් මෙවර අයවැයෙන් නිසි දිසානතියක් වෙත රජය මැදිහත් වන්නේ නම් එය රට වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කරන සාර්ථක අයවැයක් වන්නේය.

පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයේදී ඉන්ධන ක්‍රියාකාරීත්වයෙන් යුත් රථවාහනවලට වඩා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථවාහන ගැන වැඩි අවධානයක් යොමුකරමින් කතිකාවක යෙදුණි. එවැනි වාහන සඳහා විශේෂ බදු සහන ද ලබා දුනි. එය පැසසිය යුතු කාරණයකි. මක්නිසාදයත් රටේ මුදල් බොහෝමයක් විදේශයන් වෙත ඇදී යන්නේ ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙනි. එහෙත් පසුගිය අයවැයෙන් විදුලි මෝටර් රථ ගැන කතා කළද, ඒවා ගෙන්වීමට වැඩපිළිවෙළක් සැකසුවද එම වාහන සඳහා විදුලි ආරෝපණ යන්ත්‍ර හා ස්ථාන රටපුරා ස්ථාපිත කිරීම දුර්වල තත්ත්වයක තිබේ. ඒ හේතුවෙන් එවැනි වාහන භාවිතය සඳහා ජනතාව පෙලඹීම අඩාල වී ඇත. ලොව වෙනත් රටවල විදුලි මෝටර් රථ බහුල වශයෙන් භාවිතා වනවා සේම ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කරවීමේ නිත්‍ය වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය. අප රටට ද එවැනි වැඩපිළිවෙළක් අවශ්‍යය. ඒ සඳහා රජය අවධානය යොමුකොට දිවයින පුරා විදුලි මෝටර් රථ ආරෝපණ යන්ත්‍ර හා ස්ථාන ඇතිකිරීමට වගබලාගත යුතුය. අයවැය ලේඛනය තුළින් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළකට යා යුතුය. එවිට විදුලි මෝටර් රථ භාවිතය ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යන අතර රටේ ඉන්ධන පරිභෝජනය අවම වනු ඇත. එය රටේ ආර්ථිකයට මෙන්ම පරිසරයට ද හිතකරය.

අයවැය ඉදිරිපත් කිරීමේදී ‍යෝජනා කරන ව්‍යාපෘති අවසන් කළ හැකි කාලය පිළිබඳ යථාර්ථවාදීව ජනතාව දැනුවත් කළ යුතුය. එම ව්‍යාපෘති මඟින් රටේ ආර්ථික වර්ධනයට ලැබෙන පිටිවහල හා ජනතාවට ලැබෙන වරප්‍රසාද පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිකිරීම තුළින් ව්‍යවසායකයන් ඇතිකරගන්නා විශ්වාසය ව්‍යාපෘති සාර්ථක කරගැනීමට ඉවහල් වනු ඇත. අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති අයවැයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඒවා පිළිබඳ පසුවිපරමක් ද කළ යුතුය. මීට පෙර ඉදිරිපත් කළ අයවැයේදී යෝජනා කළ ව්‍යාපෘතිවල ඇති අඩුපාඩු සොයා බලා ඒවා සාර්ථක කිරීම පිණිස නව සංශෝධන ගෙන ආ යුතු අතර පසුගිය අයවැයේ ඉදිරිපත් කළ යෝජනා අතරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ව්‍යාපෘති හා යෝජනා කඩිනම් කිරීමට වගබලාගත යුතුය. එසේ නැතිව ඒවා පසුගිය අයවැයට දුන් යෝජනාවක් යැයි පවසමින් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම රටේ දියුණුවට බාධාවකි.

ජනතාවගෙන් ලබාගන්නා බදු මුදලට රජය වගකිව යුතුය. එනිසා ඒවා ඵලක් නොවන කටයුතු සඳහා නොයොදා සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කිරීම ජනතාවට කරන ගෞරවයකි. යම් අයවැය යෝජනාවක් ගෙනාවේ නම් එය ඉටු නොවුණේද ඒ සඳහා හේතු වූ කරුණු ජනතාවට ඉදිරිපත් කිරීම ද වගකිවයුතු රජයක යුතුකමකි.

නොදැන කරන ගොවිතැන

දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් රටේ ව්‍යාපෘති සඳහා සම්බන්ධ කරගැනීමට වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර නිශ්චිත වෙළෙඳ පොළ ප්‍රවේශයක් පිළිබඳ ස්ථාවර හැඟීමක් අපනයනකරුවන්ට ලබාදීම ඉතා වැදගත්ය. ඒ යටතේ දේශීය හා විදේශීය අපනයනකරුවන්ට රජය මඟින් ඉඩ ලබාදිය යුතුය. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කර භාණ්ඩ අපනයනය පමණක් නොව සේවා අපනයනය ද ක්‍රියාත්මක කළ යුතුය. ආයෝජකයන්ට නෛතික ස්ථාවර ප්‍රතිපත්තිමය රාමුවක් සැකසිය යුතු අතර බදු, ඉඩම් නීති ක්‍රියාත්මක වන කාලය පිළිබඳ නිවැරදි ආකල්පයක් ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතුය. දින ගණනකින් වෙනස්වන බදු හා නීතිරීති යටතේ අප රට තුළ ව්‍යාපෘති ආරම්භ කිරීමට ආයෝජකයන් පසුබට ‍වනු ඇත. මක්නිසාදයත් ඔවුන් කාලසීමාවකට තම ව්‍යාපෘති සැලසුම් කරන බැවිනි.

රටේ ජනගහනයෙන් 25% - 30% ක් පමණ ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයට යොමු වී සිටින අතර එයින් රටේ ආර්ථික වර්ධනයට දායක වන්නේ 10% ක් පමණය. එයින් ගම්‍ය වන්නේ ඵලදායී කෘෂිකර්මාන්තයක් අප රට තුළ නොමැති බවය. එයට හේතුව වගාකරුවන් කෘෂිකර්මාන්තය පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු නොකිරීමත්, කාලයට අවශ්‍ය තාක්ෂණික දැනුම නොලැබීමත්ය. අය-වැය මඟින් පොහොර සහනාධාර දුන් පලියට කෘෂිකර්මාන්ත දියුණු නොවේ. දිය යුතු වන්නේ නිවැරදි තාක්ෂණික දැනුම හා ‍හොඳ වෙළෙඳ පොළක් ය.

කෘෂි නිෂ්පාදනය ගොවි ජනතාව වෙතම පවරා නොසිට රජය මඟින් ද කෘෂි කර්මාන්තය පවත්වා ගැනීම ද අවශ්‍ය කාරණයකි. ඇතැම් රටවල සුළු වරදකරුවන් වී දඬුවම් ලබන සිරකරුවන් එරටේ කෘෂිකර්මාන්තයට මෙන්ම රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනේ. රජය සිරකරුවන් නඩත්තුව සඳහා වියදම් කරන මුදලින් ඵලයක් ලැබෙති. අප රටට ද එම ක්‍රමවේදය හඳුන්වාදීමට හැකිය. ඒ සඳහා අයවැය මඟින් නව ගොවිබිම් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර සුළු වැරදිකරුවන් ඒ සඳහා යොමුකර ඔවුන්ගේ ශ්‍රම දායකත්වය රටේ ආර්ථික වර්ධනයට යොදාගැනීමට හැකිය.

තෙල් වෙනුවට හිරු

මේ වන විට ජනතාව තුළ සූර්ය බලශක්තිය මඟින් විදුලි උත්පාදන මෙවලම් පිළිබඳ අවධානය වැඩියෙන් යොමුව තිබේ. ඒ වෙනු‍ෙවන් ජනතාව අවදිව සිටින කාලයක සූර්ය බලශක්ති කට්ටල නිෂ්පාදනයට ව්‍යවසායකයන් පෙලඹීම තුළින් දැනට පවතින මුදලට වඩා අඩු මුදලකට ජනතාව අතරට එම උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සඳහා රජය මැදිහත්විය යුතුය. එවන් උපකරණ නිෂ්පාදනකරුවන් දිරිගැන්වීම සඳහා අයවැයෙන් යම් ක්‍රමවේදයක් සැකසිය යුතුය. එවිට සූර්ය බලයෙන් විදුලි උත්පාදන යන්ත්‍ර ජනතාව අතර ප්‍රචලිත වීමෙන් ජාතික විදුලිබලය පිරිමැසෙනු ඇත. එවිට විදුලිය නිෂ්පාදනය සඳහා වැයවන ඉන්ධන අනවශ්‍ය වන අතරම රටේ මුදල් රට තුළම සංසරණය වනු ඇත.

පානීය ජල ගැටලුවලට මුහුණදෙන රටවල් ලොව කොතෙකුත් තිබේ. අප රටේ ජලය ඕනෑවටත් වඩා ඇත. පානීය ජල නිෂ්පාදනාගාර ඇතිකොට පිරිසුදු ජලය අපනයනය සඳහා යොමුවීමෙන් විශාල ධනයක් උපයාගත හැකිය. එවන් ව්‍යාපෘති සඳහා අයවැය ලේඛනයෙන් සුවිශේෂී දැක්මක් ඇතිකරන්නේ නම් රට තුළ රැකියා අවස්ථා බිහිවෙනවා මෙන්ම විදෙස් විනිමය ගෙන්වාගත හැකි උල්පතක් ද වන්නේය.

අපේ රටේ පවතින අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ආයතන ද්විත්වය සඳහා රජය මඟින් වසරකට විශාල මුදලක් වැය කරන අතර ඒවායින් කිසිදු ආදායමක් නොලබයි. මක්නිසාදයත් ඒවා පොදු සහන සේවාවන් නිසාය. ඊට අමතරව විශ්‍රාම වැටුප්, අසරණ පුද්ගලයන්, දුගී පවුල් වෙනුවෙන් ද විශාල මුදලක් සහන ලෙස සැපයේ. මේවාට අමතරව හදිසි ආපදා සඳහා ද රජය සහන ක්‍රියාත්මක කරයි. මේ කොතෙකුත් සහන දුන්නද ජනතාව ඉන් සෑහීමකට පත්වන්නේ ද නැත. ඒ අප රටේ ජනතාව හැඩගැසී ඇති ආකාරයයි. රජයෙන් සහන ලබා ගන්නවා වෙනුවට තමන්ගේ ආර්ථික වර්ධනය වෙනුවෙන් වෙහෙස මහන්සි වීම සඳහා ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීම වැදගත්ය.

රටේ ආර්ථිකය වර්ධනය වන විට අපට විදෙස් ණය ගැනීමට අවශ්‍ය වන්නේ නැත. ආනයන ක්‍රමය අඩුකොට අපනයන ක්‍රමවේදය වැඩිකළ යුතුය. එවිට රටේ පවතින භාණ්ඩ මිලට ඔරොත්තු දෙන ඒක පුද්ගල ආදායම ධනාත්මක අගයක පවතිනු ඇත. එවිට ජීවත්වීම සඳහා රජයෙන් සහන අවශ්‍ය නොවනු ඇත. මෙරට සෑම අයවැයකදීම රජයේ රැකියා අවස්ථා ලබාදීමට යෝජනා කෙරේ. එහෙත් ලබා දෙන රැකියාවලින් රටේ ආර්ථික වර්ධනයට විසඳුමක් නැත. එමඟින් සිදුවන්නේ රාජ්‍ය සේවක අතිරික්තයක් ඇතිවීම පමණි. ඊට විසඳුමක් වශයෙන් රාජ්‍ය සේවයේ ද සම්පූර්ණ ක්‍රියාකාරීත්වය රටේ දියුණුව සඳහා යොදාගැනීමට අයවැය ලේඛනයෙන් නව රැකියා ව්‍යුහයන් ඇතිකළ යුතු වේ. දියුණුවන රටක සෑම පුරවැසියකුම කුමන ආකාරයකින් හෝ රටේ සංවර්ධනයට දායකත්වය සපයති. ජපානයේ S-5 ක්‍රමය ඊට කදිම නිදසුනකි.

ඉඳිකටුවේ සිට මෝටර් රථය දක්වා පිටරටින් ගෙන්වන අපේ රටට මේ සෑම ආනයන භාණ්ඩයක්ම අවශ්‍යතාවයෙන් අඩක් හෝ නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය කර්මාන්ත ස්ථාපිත කර රටේ මුදල් විදේශගත වීම වළක්වා විදේශ මුදල් අප රටට ගෙන්වා ගැනීමට කටයුතු කරයි නම් සැමදා ධන අගයක පවතින වැය ශීර්ෂය වෙනුවට අය ශීර්ෂය ධන අගයකට පත්කිරීමට හැකියාව ලැබෙනු ඇත.

සටහන - නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න