පෙත්සම කැඳවන්නැයි නියෝගයක් | දිනමිණ

පෙත්සම කැඳවන්නැයි නියෝගයක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන 30 වනදා යළි කැඳවන ලෙස නියම කර තිබේ.

ඒ අභියාචනාධිකරණයේ නියෝගයකට අනුවයි.

එම මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් විසින් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි ඉදිරියේ කැඳවීය.

මෙම නඩුවේ විත්තිකරුවකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා දැනට රිමාන්ඩ් බාරයේ පසුවන අතර ඔහුට මේ දක්වා නොතිසි බාර දීමට නොහැකි වී ඇති බව එහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ විත්තිකරුට නොතිසි බාරදීම සඳහා කල් ලබාදෙන මෙන් ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා සිදු තළ ඉල්ලීම  සලකා බැලූ අභියාචනාධිකරණය ඒ සදහා අවස්ථාව ලබා දෙමින් පෙත්සම ජනවාරි මස 30 වනදා කැඳවීමට නියම කර ඇති බව සඳහන්ය.

රවිරාජ් ඝාතන නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබියදී එය ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැණි බව පෙන්වා දෙන පෙත්සම්කාරිය අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණ ජූරි සභාවක් විසින් දුන් තීන්දුව අහෝසි කර ඔවුන් වරදකරුවන් කරන ලෙස සිය පෙත්සමින් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න