නොමිලේ පොහොර | දිනමිණ

නොමිලේ පොහොර

ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දිය යුතු යැයි යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇත. යෝජනාව අගමැතිවරයා වෙත යොමු වී ඇති අතර දැන් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙයි. සියලු ගොවියන්ට නොමිලේ පොහොර ලබාදීම විශාල ආර්ථික බරක් වන්නේ වුව; ඒ මගින් රටේ ආහාර නිෂ්පාදනයේ ඇති වන පෙරැළිය දෙස බලන විට එවැන්නක් ක්‍රියාත්මක කළ හැකි නම් වාසිදායක බව පෙනී යයි. වී ගොවියාගෙන් මෙය ආරම්භ කළ හැකි නම්; වඩාත් සුබදායක බව කෙනකුගේ මතය වී තිබේ.පොහොර හා කෘමිනාශක සඳහා අධික මිලක් වැය වන බැවින් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් ඒ ඒ කන්නවල දී පුරන් වෙයි.

වී, අල , ලූනු, බඩ ඉරිඟු, මිරිස්, එළවළු, පලතුරු යන සෑම වගා ක්ෂේත්‍රයකම ගැටලු කප්පරක් පවතී. එක අතෙකින් පොහොර මිල ගොවියාට දරාගන්නට බැරි තරම් ය. තව අතෙකින් අදහාගත නොහැකි කෘමි රෝග වරින් - වර පැතිර යයි. තවත් අතෙකින් අමාරුවෙන් නෙළාගත් අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීමේ හැකියාව ගොවියාට ලැබී නැත. අතරමැදියන්ගේ ගසාකෑම, ගොවි ණය ගෙවීම පමණක් නොව; සිය දරු පවුල සමඟ ජීවත්වීමත් ගොවියාට ප්‍රශ්නයකි. හේතුව ප්‍රමාණවත් ආදායමක් ගොවිතැනින් නොලැබීම ය. ගොවියා රජ කරවමු යැයි දේශපාලන සටන් පාඨ පැවැතිය ද දීර්ඝ කාලයක් තිස්සේ ම ඒවා ඉටු වී නැති බව පැහැදිලි ය.

පොහොර සම්බන්ධයෙන් ද ගැටලු සමූහයක් රට තුළ පවතී. රසායනික පොහොර මුළුමනින් ම නැවැත්විය යුතු යැයි මතවාදයක් එක අතෙකින් පවතී. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදිය යුතු යැයි තර්කයක් ද ඒ සමඟ ඉදිරිපත් වෙයි. රසායනික පොහොරවලින් තොරව වර්තමාන කෘෂිකර්මය ගෙන යා නොහැකි බව ද පෙනී ගොස් තිබේ. වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා වැඩි අස්වැන්නක් ලබාදෙන පොහොර භාවිත කළ යුතු බවට ප්‍රති - තර්කයක් ද මතුවෙයි. ප්‍රායෝගික තලයේ සිට මේ ගැටලුව දෙස බැලුවහොත්; රසායනික පොහොරවලින් තොර වගාවක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි ය. ලෝකයේ වෙනත් රටවල අත්දැකීම ද එය ම වෙයි.

පොහොර නිෂ්පාදනය, ගෙන්වීම,පොහොර බෙදාහැරීම, මිල නියමකිරීම මේ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස් ලෙස දැක්විය හැකි ය. ගොවියාට අවශ්‍ය පොහොර ටික නිසිකලට , නිසි ප්‍රමිතියෙන් නොලැබෙන බවට චෝදනා නිතිපතා ඉදිරිපත් වෙයි. රජය පොහොර සඳහා මිල නියමයක් සිදුකර ඇතත්; ඒ මිලට සෑම ගොවියකුටම පොහොර ලැබෙන්නේ නැත. එහෙත් වැඩිමිලක් ගෙවා පොහොර ලබාගැනීමේ අවස්ථාව රට තුළ පවතී. බොහෝ ගොවීන්ට සිදුවන්නේ කළුකඩයෙන් වැඩි මිලට පොහොර ලබා ගැනීමට ය. අවශ්‍ය වෙලාවට පොහොර නොදැම්මොත් එම වගාවෙන් පලක් නැත. ඒ අතින් බලන විට ගොවියා වැඩි මිලකට හෝ පොහොර ලබාගෙන ඒවා භාවිත කිරීම වැදගත් ය.

රජයට නොමිලේ පොහොර සැපයිය හැකි නම්; මේ සෑම ගැටලුවක් ම සාධාරණ ලෙස විසඳෙනු ඇත. ඒ පමණක් නො ව; සියලු ගොවියන් අපේක්ෂා සහගතව ස්වකීය වගාවට එකතු වනු ඇත. දැන් තත්ත්වය ගතහොත් ගොවියා පසුවන්නේ කලකිරීමෙන් හා අපේක්ෂාභංගත්වයෙන් ය. පොහොර සම්බන්ධයෙන් සෑම රජයක් ම පාහේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. වරෙක අඩු මිලට පොහොර ලබා දුන්නේ ය. තව වරෙක පොහොර සහනාධාරයක් ලබා දුන්නේ ය. තවත් වරෙක පොහොර සලාකයක් නිකුත් කිරීමට සැලැසුම් සකස් කළේ ය. මේවායින් ගොවියාට යම් සහනයක්ලැබුණු බව පිළිගත හැකි ය. එහෙත් මේ සෑම වැඩසටහනකම අඩුපාඩු පැවැති අතර සෑම වැඩසටහනක් ම පාහේ ගොවි සමාජවල විවේචනයට ලක්විය.

සියලු ම ගොවියන්ට පොහොර තොග නොමිලේ ලබාදීම අවුල් සහගත වැඩසටහනක් විය හැකි ය. එබැවින් කළ යුත්තේ අත්‍යවශ්‍ය ප්‍රධාන වගාවන් සඳහා නොමිලේ පොහොර ලබාදීම ය. එහි දී ගොවියන් තෝරාගැනීම ද වැදගත් ය. වී වගාවට නොමිලේ පොහොර ලබා ‍දෙන්නේ නම්; ඒ සඳහා නිශ්චිත භූමි ප්‍රමාණයක් නීර්ණය කළ හැකි ය. නිදසුනක් ලෙස කුඹුරු අක්කරයක් ගත හැකි ය. කුඹුරු අක්කරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගා කරන ගොවියාට නොමිලේ පොහොර ලබාදීමෙන් අවාසියක් සිදුවන්නේ නැත. රජය වැය කරන මුදල අපතේ යන්නේ ද නැත. කුමක් වුව නොමිලේ පොහොර ලබාදිය යුත්තේ යම් - සීමාවකට යටත්ව බව කිව යුතුය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෑතක දී කියා ඇත්තේ සෑම පවුලක ම ගොවියකු සිටීම හා සෑම පවුලකටම වගාවක් සහිත ගෙවත්තක් තිබීම තමාගේ අපේක්ෂාවක් බවය. එවැනි තැනකට රට ගෙන යා හැකි නම්; ආහාර අතින් අප ස්වයංපෝෂිත වනු ඇත. මෙහි දී ඊශ්‍රායලය වැනි රටක් අපගේ ආදර්ශය සඳහා යොදා ගත හැකි ය. ඊශ්‍රායලයේ දේශගුණය, පස හා ජල සම්පාදනය ගෙන බලන විට ඒ කිසිවක් සාර්ථක කෘෂිකර්මයක් සඳහා යෝග්‍ය වන්නේ නැත. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේද හා නූතන තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මයෙන් ඉදිරියට එන්නට ඊශ්‍රායලය සමත් වී ඇත. ඊශ්‍රායලය තමන්ගේ සෑම බිම් අඟලක් ම කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගනී. එතැනින් නොනැවතී ලොව බොහෝ රටවලට කෘෂිකාර්මික උපදේශන සැපයීමට ද ඊශ්‍රායලය සමත් වී ඇත.

ඊශ්‍රායලය ආදර්ශයට ගතහොත් විවිධ වගාවන් සඳහා අප යොදාගන්නා බීජ වර්ග, අප යොදාගන්නා පොහොර වර්ග හා අප අස්වැන්න නෙළාගන්නා ආකාරයත් ප්‍රශ්නකාරී ය. වැඩි ම අස්වැන්නක් ලබාදෙන බීජ වර්ග අපට නැත. උපරිම අස්වැන්නක් ලබාදෙන පොහොර වර්ග ද අප තීන්දු කර නැත. අප අස්වැන්න නෙළාගනු ලබනුයේ එයින් සැලැකිය යුතු කොටසක් අපතේ යන අන්දමින් ය. අපේ රටේ වන සතුන්ගෙන් වගාවට සිදුවන හානිය බලවත් ය. එහෙත් ඊට ප්‍රතිකර්ම යොදා නැත. ඇතැම් ප්‍රදේශවල වනසතුන් නිසා වගාව මුළුමනින් ම නැවතී තිබේ. මෙබඳු තත්ත්වයක් තුළ රටේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම දුෂ්කර ය.

ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ කෘෂිකාර්මික රාජ්‍යයක් හැටියට ය. ඊට සරිලන ලෙස කෘෂිකර්මය සඳහා වෙන් වූ රාජ්‍ය ආයතන ගණනාවක් ද පවතී. මේ ආයතන රටේ කෘෂිකර්මයවැඩි දියුණු කිරීම සඳහා ලබාදෙන සේවය කුමක්දැ’යි රටේ නායකයන් සොයා බැලිය යුතුය. කෙසේ වුව කෘෂිකර්මය වැඩි දියුණු කිරීමේ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ආහාර අතින් රට ස්වයංපෝෂිත වීම ය.

 

නව අදහස දක්වන්න