ශ්‍රී ලංකා පිල අද විස්සයි20 තරගයට | දිනමිණ

ශ්‍රී ලංකා පිල අද විස්සයි20 තරගයට

ෆවුස් මොහොමඩ්

සත්කාරක නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගමාලාවත්, එක්දින තරගාවලියත් පරාජයට පත්වී සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30ට මේ සංචාරයේ එකම විස්සයි20 තරගයට ඕක්ලන්ඩ් නුවරදී මුහුණ දෙයි. ටෙස්ට් තරගමාලාව 1-0කින් ද, එක්දින තරගාවලිය 3-0කින් ද පරාජයට පත්වූවත් අද විස්සයි20 තරගයේදී නැවත හිස ඔසවා ගැනීම වසර 2016න් පසුව පළමුවරට විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන ලසිත් මාලිංගගේ එකම බලාපොරොත්තුව වී තිබේ.

‘අපිට ඉන්න ක්‍රීඩකයන් දිහා බැලුවොත් හොඳ ඉනිමක් ගොඩනගන්න සමත් ක්‍රීඩකයන් ඉන්න බව පෙනෙනවා. නමුත් අපට ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවේවි. කළමනාකාරීත්වය සමග එක්ව අපේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දස්කම් ඉස්මතු කරගැනීමට සහාය වීම නායකයා හැටියට මගේ වගකීමක්.’ මාලිංග කියයි.

ඕක්ලන්ඩ් නුවර තණතීරුව දඟපන්දු යවන්නන්ට තරමක වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන අතර පිතිකරුවන්ට ද ලකුණු රැස් කිරීම එතරම් අපහසු නොවනු ඇත. එහෙත් වසර 2018 අවසානයේදී විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් අට අතර රැඳී සිටීමට අසමත්වීමෙන් 2020 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට අසමත්ව සිටින ශ්‍රී ලංකාවට මේ කෙටි මුහුණුවර යටතේ පැවැත්වෙන තරගයේදී සිය දස්කම් මුවහත් කරගැනීමට සිදුවනු ඇත. අනික් අතට මෙතෙක් මේ සංචාරයේ ජයග්‍රහණ ඉඩෝරයකට මුහුණ පා සිටින බැවින් අද තරගය ජයගැනීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ දැමීමට දැඩි රුකුලක් වනු ඇත.

‘සමහර අවස්ථාවලදී අපේ පන්දු යවන්නන් තරමක් ව්‍යාකූල තත්ත්වයට පත්වෙනවා. අපේ පන්දු යැවීම විවිධාකාරයේ ආක්‍රමණශීලීත්වයකින් යුතු එකක්. නමුත් ඕවරයක් කළමනාකරණය කරගන්නා විදිහ අවබෝධ කරගත යුතුවෙනවා. හැම පන්දුවකින්ම කඩුල්ලක් දවාගන්න බෑ. පිතිකරුවා පොළඹවා ගෙන කඩුල්ල දවාගැනීමටයි උත්සාහ කළ යුතුවන්නේ. අපේ පන්දු යවන්නන්ට හැකියාව තිබුණත් ඕවරය තුළ ඒවා පාවිච්චි කරන විදිහ ගැනයි ප්‍රශ්නය තියෙන්නේ. පුහුණුවීම්වලදී ඔවුන් කෙතරම් දක්ෂදැයි මට සිතෙනවා. නමුත් තරගයේදී ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. ඒවා දියුණු කරගැනීමට ඔවුන්ට උදව් කිරීමටයි මට අවශ්‍ය වෙන්නේ. ඔවුන්ට තව ඉගෙන ගත යුතු දේවල් ගොඩාක් තිබෙනවා.’ මාලිංග එසේ කියයි.

ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් විස්සයි20 තරග 5න් 4ක්ම පරාජයට පත්වී ඇති අතර ටෙස්ට් සහ එක්දින තරගවලදී ශ්‍රී ලංකා පිල අභිබවා යාමට නවසීලන්තය සමත්වූවත් අවසන් විස්සයි20 තරග 10න් 9ක්ම පරාජයට පත්වී සිටී. අනිත් අතට නායක කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් විවේක ගෙන සිටීමත්, එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට බලවත් හිසරදයක් බවට පත්වූ ජේම්ස් නීෂම් ආබාධයකට ලක්වී සිටීමත් නිසා අද තරගයේ ජයග්‍රහණයකින් නිමා කරගැනීමට ශ්‍රී ලංකා පිලට කදිම අවස්ථාවක් උදාවී තිබේ.

කෙසේවෙතත් පන්දු යැවීම අතින් සංචාරය පුරාම ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අසරණ කළ ටිම් සවුති අද තරගයේදී නායකත්වය දරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ අරමුණින් පසුවෙයි. එසේ වුවත් අවසන් එක්දින තරග 2දීම නවසීලන්ත පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කළ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා කෙරෙහි අද තරගයේදීද ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ගොඩනැගී ඇත. සිය අවසන් විස්සයි20 තරග 4න් 3කදීම අර්ධ ශතක රැස් කිරිමට සමත්වු තිසර කණ්ඩායමේ විශ්වාසය බවට පත්වී සිටී.

වේගයෙන් පන්දුවට පහරදෙන තිසර පෙරේරා සමග කුසල් ජනිත් පෙරේරා ද නවසීලන්ත පන්දු යවන්නන්ට අද තරගයේදී දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වී සිටින බැවින් අද බොහෝ විට නිරෝෂන් දික්වැල්ල සමග කුසල් ජනිත් පෙරේරා ඉනිම ආරම්භ කරනු ඇත.

දෙපිල අතර මෙතෙක් විස්සයි20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක ජයග්‍රහණය නවසීලන්තයටද තරග 6ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ද හිමිව තිබේ. එක් තරගයක් ලකුණු සමවීමකින් නිමාවට පත්වූ අතර තවත් තරගයක් විසදුමකින් තොරව අත්හැර දමා තිබිණි.

නව අදහස දක්වන්න