ඕෂද පිතිහරඹයෙන් පෙරට තරිඳු සමඟ මාලින්ද කඩුලු සටනක | දිනමිණ

ඕෂද පිතිහරඹයෙන් පෙරට තරිඳු සමඟ මාලින්ද කඩුලු සටනක

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතිය අවසන් වනවිට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ඕෂද ප්‍රනාන්දු සමත් වෙයි. පසුගිය සතියේ හලාවත ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිම දෙකේදී ලකුණු 73ක් (50-23) ලබා ගනිමින් ඔහු පිතිකරුවන් අතර පෙරමුණට පිවිසි අතර මේ වනවිට තරග 6කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 608කි. ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් ඇතුළත් වෙයි. මෙවර තරග වාරයේ වැඩිම ශතක සංඛ්‍යාවක් (3) වාර්තා කළ පිතිකරුවන්නේද ඕෂදය.

පසුගිය සතිය ආරම්භ වනවිට පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටි එන්.සී.සී ක්‍රීඩා සමාජයේ පැතුම් නිශ්ශංක අයර්ලන්ත ‘ඒ’ පිල සමග තරගාවලියට එක්කර ඇති බැවින් පසුගිය සතියේ තරගයකට එක් නොවුණි. ඔහු තරග 3කදී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 554ක් රැස්කරගෙන තිබේ. එස්.එස්.සී පිලේ කෞෂාල් සිල්වා (554) සමගින් තෙවැනි තැනට පත්ව සිටී. බී.ආර්.සී පිලේ රුමේෂ් බුද්ධික (532) සහ මුවර්ස් පිලේ ඉරෝෂ් සමරසූරිය (465) පිළිවෙළින් සිවුවැනි හා පස්වැනි ස්ථානවල රැදී සිටිති.

පසුගිය සතියේ සැරසන්ස් පිල සමග මොරටුවේ පැවැති තරගයේදී මෙරට පළමු පෙළ තරග බිමේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් වාර්තා පොතට එක්වූ මාලින්ද පුෂ්පකුමාර කඩුලු ලාභීන් අතර ඉදිරියට පිවිසියේ තරග 4කදී කඩුලු 38ක් දවා ගනිමිනි.

සැරසන්ස් දෙවැනි ඉනිමේදී ලකුණු 37කට සියලුම පිතිකරුවන් දවාගත් මාලින්ද ඉනිමක කඩුලු 10 දවාගත් දෙවැනි පන්දු යවන්නා වුයේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට පසුවය. ඔහු කඩුලු 10 දවා ගැනීමට ලකුණු 41ක් ලබාදී තිබේ. සැරසන්ස් දෙවැනි ඉනිමේදී ලකුණු 73කට කඩුලු 6ක් දවාගත් මාලින්ද මෙවර තරගවාරයේ තරගයක හොඳම පන්දු යවන්නා බවටද පත්වූයේ ලකුණු 110කට කඩුලු 16ක් ලෙස සටහන් කරමිනි. ඔහු සමගින් එස්.එස්.සී පිලේ තරිඳු රත්නායක කඩුලු 38ක් බිඳ දමමින් පෙරමුණේ පසුවෙයි.

පසුගිය සතියේ අමිල අපෝන්සු සමගින් පෙරමුණේ පසුවූ තරිඳු බී.ආර්.සී පිලට එරෙහිව කඩුලු 9ක් බිඳ දමමින් කඩුලු එකතුව 38 දක්වා වැඩි කර ගත්තේය.

අමිල අපෝන්සු කඩුලු 29ක් දවා ගනිමින් තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහුට ද අයර්ලන්ත ‘ඒ’ තරගාවලිය හේතුවෙන් පසුගිය සතියේ මෙන්ම මේ සතියේද තරග අහිමි වෙයි. සී.සී.සී ක්‍රීඩා සමාජයේ චාමිකර එදිරිසිංහ සී.සී.සී පිලට එරෙහිව ඉනිමකදී කඩුලු 9ක් දවා ගනිමින් මෙවර තරග වාරයේ ජීවන් මෙන්ඩිස් (9) සමග ඉනිමක දෙවැනි හොඳම පන්දු යැවීම සටහන් කළේය.

සචිත්‍ර සේනානායක (එස්.එස්.සී) සහ එන්.සී.සී පිලේ චතුරංග ද සිල්වා සිවුවැනි හා පස්වැනි ස්ථානවල පසුවෙති.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයේ පසුවූ එන්.සී.සී පිල පසුගිය සතියේ තරගයකට එක් නොවු අතර දෙවැනි ස්ථානයේ සිටි හලාවත මේරියන්ස් පිල පෙරමුණට පිවිසියේ වරාය අධිකාරියට එරෙහිව කඩුල්ලක ජයක් අත්කර ගනිමිනි.

මුවර්ස් කණ්ඩායම පරාජය කරමින් යුද හමුදාව මෙවර තරග වාරයේ පළමු පූර්ණ ජය වාර්තා කිරීමත් සමග ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. එහි අවසන් ස්ථානයේ පසුවන මුවර්ස් පිලට පසුගිය සතියේ යුද හමුදාව හමුවේ අත්වූයේ තෙවැනි පරාජයයි.

එස්.එස්.සී ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැක ගත්තේ බී.ආර්.සී පිලට එරෙහිව ලකුණු 34ක ජයක් ලබමිනි. මෙවර තරග වාරයේ තෙවැනි පූර්ණ ජය ලබාගත් ඔවුන් මේ වනවිට මූලික වටයේ තරග නිමාකර ඇති අතර ප්‍රසාද ලකුණු 82.430ක් ලබා සිටී. සී.සී.සී පිල ද සැරසන්ස් පිලට එරෙහිව තෙවැනි ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 71.975ක් සමග ‘බී’ කාණ්ඩයේ දෙවැනි තැන රැකගත් අතර කෝල්ට්ස් (36.505) තෙවැනි තැනම රැදි සිටී. පසුගිය සතියේ අවසන් ස්ථානයේ පසුවූ බදුරලිය ක්‍රීඩා සමාජය මීගමුව පිලට එරෙහිව පළමු ඉනිමේ ජය ලබමින් 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

අද ආරම්භ වන තරග 6 සමගින් තරගාවලියේ මූලික වටය නිමාවට පත්වන අතර ‘ඒ’ කාණ්ඩයේ සහ ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 බැගින් සුපිරි අට වටයට සුදුසුකම් ලබයි. අනෙකුත් කණ්ඩායම් 6 පළඟ ශූරතාව සඳහා තරග වැදීමට නියමිතය. සුපිරි අට වටයේ තරග ලබන 17 වැනිදා සිට ආරම්භ වෙයි.

නව අදහස දක්වන්න