ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් ෆෙඩරල් කිරීමට ඉඩ නොදන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නිවසක් සමඟ ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන් සඳහා පවත්වනු ලබන දිවි දිරිය ස්වයං රැකියා හා වෘත්තීය පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳුම් මැසීමේ පාඨමාලාව අවසානයේ සහතික පත් සහ ත්‍යාග පිරිණැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
එම උත්සවය අවසානයේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ඇමැතිවරයා,
ප්රශ්නය : ඉදිරි ජනාධිපතිවරණයේ එජාපයේ පොදු අපේක්ෂකයා ලෙස ඔබතුමා ඉදිරිපත් වෙනවා කියලා?
පිළිතුර :- මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔයවගේ බයගතු හීන පේනවා. එතුමා දන්නවා අපි ඉන්නකොට එතුමා දිනුවා, අපි නැති කොට එතුමා පරාදයි කියලා. ජනාධිපති අපේක්ෂකත්වය, ගැන කියන්න දන්නෙ නැහැ. නමුත් පවුලට, ගජ මිතුරන්ට සේවය කරන ක්‍රමය ලබන 2019 ජනාධිපතිවරණයෙන් වෙනස් වෙනවා. කුසලතාවයට මුල්තැන දෙන, හැකියාවට මුල්තැන දෙන දේශපාලන ක්‍රමවේදයක් මේ රටේ බිහි කරන්න අපි කැපවෙනවා.
ප්රශ්නය :- ඒ සමගම පෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න හදනවා කියලත් චෝදනාවක් තිබෙනවා.
පිළිතුර :- මේ රටේ අතීතයේ පෙඩරල් ව්‍යවස්ථා ගෙන ආවා. පෙඩරල් ව්‍යවස්ථාව පරාජය කළේ අද ඔය සද්දෙ දාන අය නෙමෙයි. අපියි. එදා මහින්ද රාජපක්ෂ මහත්මයත්, චන්ද්‍රිකා මැතිනියගේ පෙඩරල් ව්‍යවස්ථාවට අත ඉස්සුවා. ඒවා එතුමට මතක නැහැ. ඒ වගේම එතුමත් තිස්ස විතාරණ මහත්මයා හරහා විද්වත් කමිටු යෝජනාවක් කියලා පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ආවා. ඒක පරාජය කළෙත් අපි. මේ රටේ ෆෙඩරල් ක්‍රමය ඇති කිරීමට රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. එමගින් වෙන්නේ උතුරෙත් දකුණෙත් ජනතාව බෙදෙන එක. ඉතින් සියලුම පක්ෂවලට එකඟ වෙන්න පුළුවන් ව්‍යවස්ථා වෙනසක් තිබෙනවා නම් සිදු කරමු. නැත්නම් එවැනි දේවල් කරලා රට බෙදන්න කටයුතු කරන්නේ නැතිව කටයුතු කරමු. මම බොහොම පැහැදිලිව කියනවා මේ රට ෆෙඩරල් කරනය කරන්න, ඒකීය භාවයට හානි කරන්න ඉඩ තියන්නේ නැහැ.
ප්රශ්නය :- දැනට පවතින ව්‍යවස්ථාවේ ගැටලු තිබෙනවාද?
පිළිතුර :- දැනට පවතින ව්‍යවස්ථාවේ ගැටලු අනිවාර්යයෙන්ම තිබෙන නිසා තමයි 2016 ජනවාරි මාසයේ අලූත් ව්‍යවස්ථාවක් හදන්න 225 දෙනාම එකඟ වුණේ. ඒ සඳහා සාකච්ඡාවක් යනවා. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් තිබෙනවා. ව්‍යවස්ථාවක් හදලාවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නවත් හදලා නැහැ. සිංහල ජනතාව බියපත් කරන්න බොරු බිල්ලො මවනවා. ඒ වගේම උතුරේ අන්තවාදී පිරිසුත් බොරු බිල්ලන් මවනවා දෙමළ ජනතාව පාවාදුන්නා කියලා. මේ බොරු බිල්ලො මැවීම තුළින් ඡන්දේ ලබාගන්න තමයි මේ හදන්නේ. මේවට ජනතාව රැවටෙන්නේ නැහැ. මෙයට වසර 4 කට කලින් පසුගිය 2015 තියපු ජනාධිපතිවරණයේදි රට බෙදනවට විරුද්ධව කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා විශාල උද්වේගයක් ගෙන ගියා නමුත් බහුතර ජනතාව එය ප්‍රතික්ෂේප කළා.
නව අදහස දක්වන්න