රුපියල ස්ථාවර කරන්න විදෙස් ණය ගන්න අපේක්ෂා කරනවා | දිනමිණ

රුපියල ස්ථාවර කරන්න විදෙස් ණය ගන්න අපේක්ෂා කරනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

රුපියල ස්ථාවර කිරිම රජය සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ඩොලර් මිලියන හාරසියයක්, චීනයෙන් හා ජපානයෙන් ඩොලර් මිලියන පන්සියයක්, ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් බිලියනයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කෙළේය.

රුපියල ස්ථාවර කිරීම ආණ්ඩුවේ පළමු සහ වැදගත්ම කටයුත්තක් ‍සේ සළකා රුපියල ස්ථාවර කිරීම වෙනුවෙන් සහාය ලබාගැනීමට රටවල් ගණනාවක් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් ශ්‍රී ලංකාවට සහය දැක්වීම‍ට රටවල් ගණනා‍වක් කැමැත්ත පලකළ බවත් අගමැතිවරයා සඳහන් කෙළේය.

ඒ අනුව ඉන්දීය මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පලකළ බවද අගමැතිවරයා කීය.සාර්ක් රටවලට සළසන මූල්‍ය හුවමාරු පහසුකම යටතේ තවත් ඩොලර් බිලියනයක් ලබාදීමට ඉන්දියාව අවධානය යොමුකර ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කෙළේය.

චීනයේ පැන්ඩා බැඳුම්කර හා ජපානයේ සමුරායි බැඳුම්කර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන පන්සියය ලබාගැනීමට‍ අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් ලබන සතියේදී විදෙස් ගතවන අතර රුපියල ශක්තිමත් කිරිම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ අනුව රුපියලේ අගය ස්ථාවර කිරිමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලි‍මේන්තුවේදී ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

නව අදහස දක්වන්න