රැකියා අරුණ වැඩසටහනට උපාධිධාරීන් සම්බන්ධ කරගන්නවා | දිනමිණ

රැකියා අරුණ වැඩසටහනට උපාධිධාරීන් සම්බන්ධ කරගන්නවා

2019 වර්ෂයේ සිට විශ්වවිද්‍යාල උපාධිධාරීන් ද සම්බන්ධ කරගනිමින් “රැකියා අරුණ“ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ අධ්‍යක්ෂ කේ.ඒ. ලලිතධීර මහතා පැවසී ය.

මෙසේ දියත් කරනු ලබන වැඩමුළු තුළින් වෘත්තිය අභිප්‍රේරණයන්, වෘත්තිය මඟපෙන්වීම් හා තම සුදුසුකම්වලට අනුව පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවලට යොමු වීමටත්, රාජ්‍ය අංශයේ විවිධ ආයතන සමඟ සම්බන්ධ වී පාඨමාලා සඳහා නොමිලේ ලියාපදිංචි වීමටත් තරුණ පිරිස් වෙත අවස්ථාව සලසා දෙනු ලබන බවත් ප්‍රකාශ කළේ ය.

පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයත් විරැකියා ගැටලුවත් විසඳීම සඳහා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයත් විරැකියා ගැටලුවත් එකවර පැවතීම ශ්‍රම වෙළෙඳපොළේ නොගැළපීම නිසා ඇතිවන ගැටලුවක් බවත් කීවේ ය.

රට තුළ මේ වන විට කර්මාන්ත ක්ෂේත්‍රවල ලක්ෂ හයකට අධික රැකියා ඇබෑර්තු පැවතුණත් ඒවා සඳහා තරුණ තරුණයන් යොමු නොවීම ගැටලුවක් බවත් පැහැදිලි කළේ ය.

මෙම වැඩසටහන් වෘත්තිය මාර්ගෝපදේශන වැඩමුළුව සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හඳුන්වා දීමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව තම මූලික කර්තව්‍යයක් ලෙස මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණව, අධ්‍යාපනය, රැකී රක්ෂාවලට අදාලව ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් ඊට අදාළව ගැටලු සොයා බලමින් විසඳුම් ලබා දෙමින් ඒ සඳහා පර්යේෂණ සිදු කරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් විස්තර කළේ ය.

පසුගිය 2018 වර්ෂයේදී “රැකියා අරුණ” වැඩමුළු මාතර, මොනරාගල, ගාල්ල, පුත්තලම, යාපනය, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලදී පැවැත්වූ බවත් එහිදී 900ක් පමණ තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා උදාකර දීමට හැකි වූ බවත් පැවසූ ඒ මහතා එමඟින් තරුණ තරුණියන් 750කට අධික පිරිසක් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා නොමිලේ ලියාපදිංචි වීමට අවස්ථාව උදා වූ බවත් කී ය.

මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, වෘත්තීය පුහුණු ආයතන, ජාතික වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ඒකාබද්ධව රැකියා අවස්ථා පවතින පෞද්ගලික කර්මාන්ත ආයතන සහ රැකියාවක් බලාපොරොත්තු වන තරුණ ප්‍රජාව සම්බන්ධීකරණය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන් මාලාවන් පවත්වනු ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න