ව්‍යවස්ථාව: එජාප මතය තාම කියල නැහැ | දිනමිණ

ව්‍යවස්ථාව: එජාප මතය තාම කියල නැහැ

දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සහ අධ්‍යාපන අමාත්‍ය-එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්
- දයාසිරි ජයසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීම, ඊළඟ මැතිවරණයට ඇති සූදානම ආදිය පිළිබඳ කතාබහකට අද අදහස් දෙක වෙන්වේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 එකඟතාව පළ කළා. සමහරු දැන් ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අගමැතිතුමා 2016 ජනවාරි 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාව ගැන ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයට අනුවයි වැඩ කරන්න ඕන. වි‍ෙශ්ෂඥ කමිටුවේ පස්දෙනාගෙන් තුන්දෙනෙක් මේ කෙටුම්පතට විරුද්ධයි. මේ කමිටුවට කෙටුම්පත හදන්න බලයක් නැහැ. කමිටුවෙන් පිටස්තර අය තමයි කෙටුම්පත හදලා තියෙන්නේ. මෙහෙයුම් කමිටුවෙන් ව්‍යවස්ථා සභාවට මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සෙයි අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. සුමන්දිරන්ට ඕන විදියට 04 වෙනිදා පාර්ලිමේන්තුවට මේ කෙටුම්පත ගේන්න හදනවා. මෙහෙම ව්‍යවස්ථා හදන්න අපි අනුමැතියක් දීලා නැහැ. මේකට අපි විරුද්ධයි. ව්‍යවස්ථාව හරි පාරෙන් පාර්ලිමේන්තුවට එන්න ඕන.

මේ ගෙන එන ව්‍යවස්ථාවේ අන්තර්ගතය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොකක්ද?

ව්‍යවස්ථාව ගැන නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්වෙච්ච කමිටුවෙන් අපේ මතය ඉදිරිපත් කළා. ඒකීය ශ්‍රී ලංකාව, බුද්ධාගම ආරක්ෂා කිරීම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ආණ්ඩුකාර බලතල සීමාකිරීම ගැන අපේ මතය කිව්වා. අනෙක් පක්ෂත් ඒ අයගෙ මතය කිව්වා. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගෙ මතය තවම කිව්වෙ නැහැ. ඔවුන්ගෙ අදහස මොකක්ද කියල අපි අදත් අහනවා. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවම ඒක පරාදවෙන බව එක්සත් ජාතික පක්ෂය දන්නවා. අපි නම් මේකට කැමතියි ව්‍යවස්ථාව පරාද කළේ අනෙක් පක්ෂ කියල දෙමළ, මුස්ලිම් ඡන්ද ටික ඔවුන්ගෙ පැත්තට හරව ගන්නයි හදන්නේ. ඒ වගේම දකුණෙ සිංහල ජනතාවත් රවටන්නයි මේ හදන්නෙ.

රටේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් සකස් කෙරෙන නව ව්‍යවස්ථාව බිල්ලෙක් ලෙස රටට පෙන්වීම මහත් පාපයක් බව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පාර්ලිමේන්තු කථාවේදී ජනාධිපතිතුමා කිව්වා?

මේ රටේ ජනතාවට හොරෙන් ව්‍යවස්ථා ගේන්න බැහැ. ඒකීයභාවය, බුදුදහමට ලැබිය යුතු තැන, ෆෙඩරල් ව්‍යවස්ථාව, උතුරු නැගෙනහිර එකතු කිරීම ගැන මිථ්‍යා මත රැසක් පහුගිය කාලෙ ප්‍රචාරය වුණා. ව්‍යවස්ථා බිල්ලෙක් ගැන කල්පනා කරන්න එපා කියලා ජනාධිපතිතුමා කිව්වෙ ඒකයි. ඒ හින්ද තමයි අපි මේ වැඩේදි විනිවිදභාවයෙන් වැඩ කළේ. කිසිම ජාතියකට හානිකර ව්‍යවස්ථාවක් ගේන්න අපි ඉඩදෙන්නෙ නැහැ. ඒකට පාරවල් දිගේ කෑගහල හරියන්නෙ නැහැ. බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා කිව්වෙ ඒකයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන්නෙ ඒකීයභාවය ආරක්ෂා කරනවා, බුදුදහමට තියෙන තැන එහෙමම තියෙනවා කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට වෙනම මතයක් ගොඩනඟන්නෙ ඇයි?

ඒකීයභාවය, බුද්ධාගම ගැන, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ආණ්ඩුකාර බලතල අහෝසි කිරීම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයට මතයක් නැහැ. එහෙම තියෙද්දි ඔවුන් බයවෙන්න එපා කියලා කියනවා. ඔරුමිත්තනාඩු උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනා හැටි, ෆෙඩරල් බෙදනහැටි ගැන පහුගිය ටිකේම සුමන්දිරන් කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇස්කන් පියාගෙන ඉන්න කියලද කියන්නෙ. අපි ජාතිවාදී නොවනව වගේම කාටවත් ජාතිවාදී විදියට හැසිරෙන්න දෙන්නත් බැහැ. එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නෙ.

ෆෙඩරල් ක්‍රමයකින් ලංකාව දියුණු කරන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාර නායක මහත්තය කියා තිබෙනවා?

ෆෙඩරල් ක්‍රමයක් ගැන එතුමා කතා කළේ නැහැ. දෙමළ ජාතිකයන්ට යම් ප්‍රමාණයකට බලය බෙදිය යුතුයි කියන මතයෙ එතුමා හිටියා. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරල ඊට පස්සෙ දෙමළත් රාජ්‍ය භාෂාව කළ යුතුයි කියලා එතුමා කිව්වා. එතෙන්දි තමයි විශාල ප්‍රශ්න ඇතිවුණේ. රට සභා කියන්නෙ ෆෙඩරල් ක්‍රමයක් නෙවෙයි. රට සභා පනත ඉරා දමන්නත් වුණා.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමකට උතුරේ දේශපාලන පක්ෂ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නෙ. ඒ වගේම බුදුදහමට ලබාදිය යුතු තැන ගැනත් ඔවුන් ප්‍රශ්න කරන්නෙ නැහැ?

එහෙම වෙනවනම් අපිට ප්‍රශ්නයක් නැහැ. බලය බෙදීම උතුරට විතරක් නෙවෙයි දකුණටත් අවශ්‍යයි. මධ්‍යම ආණ්ඩුව තවමත් සමහර පළාත් සභාවල බලය අරගනිමින් ඉන්නවා. ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් කරන්න පුළුවන්. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ෆෙඩරල් ක්‍රමයෙ අවසන් ඉමට අපි ඇවිත් ඉන්නෙ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, 13 සංශෝධනයෙ බලය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමත් ගැන එකඟතාවකට එන්න පුළුවන්.

විධායක ජනාධිපති ක්‍රමය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මතය මොකක්ද?

ජනාධිපති බලය අඩුකිරීම තුළ දැනටමත් විශාල අර්බුදයක් ඇතිවෙලා. මේ ක්‍රමය තුළ ස්ථාවර රටක් ගෙනියන්න බැහැ. අද බොහෝ රටවල්වල ජනාධිපති ක්‍රමය ආරක්ෂා වෙලා තියෙනවා. රට බෙදීයාමේ අවධානම අඩුවෙලා තියෙන්නෙ ආණ්ඩුකාරවරුන්ගෙ බලයත් එක්ක. ඔවුන්ව පත්කරන්නෙ ජනාධිපති. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ආණ්ඩුකාරවරුන්ගෙ බලය පවත්වාගන්නෙ කොහොමද කියල කියන්න ඕන. අපි දැනට ඉන්නෙ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගත යුතුයි කියන මතයෙ.

පහුගිය කාලෙ විධායකය නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල වුණා. මේ තත්ත්වය තුළ විධායක ජනාධිපති ක්‍රමය ගැන නැවත කියවා බැලිය යුතුයි කියලා ඔබ හිතන්නෙ නැද්ද?

ජනාධිපති හැටියට පත්කරන්නෙ රටේ බහුතරය ගත්තු කෙනාව. දිස්ත්‍රික්කයක ඡන්ද ගත්තු කෙනෙක් අගමැති වෙන්නෙ. ජනතාවගේ සම්පූර්ණ පරමාධිපත්‍ය බලය තියෙන්නෙ ජනාධිපතිට. පාර්ලිමේන්තුව ගන්න තීන්දු නිසා රටේ අභ්‍යන්තර ප්‍රශ්න ඇතිවෙනවා. සිංගප්පූරු ගිවිසුම, හම්බන්තොට වරායෙ තත්ත්වයන් උදාහරණ. මේව වළක්වන්න විධායකය අවශ්‍යයයි. සුළුතර ආණ්ඩු තියෙන තාක් ජනාධිපතිවරයට බලයක් තියෙන්න ඕන. පහුගිය කාලෙ වෙච්ච සමහර කාරණා ගැන අපිටත් ප්‍රශ්න තියෙනවා. ජනාධිපතිට එහෙම තීන්දු ගන්න වුණේ සුළුතර ආණ්ඩුවකින් වැරදි වැඩ කරපු හින්දා.

පාර්ලිමේන්තු බහුතරයකින් තමයි ආණ්ඩුව වැඩ කරන්නෙ?

කොහෙද පාර්ලිමේන්තු බහුතරයක් තියෙන්නෙ. එක් පක්ෂයකට 103 ක් ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයට ආසන 14 ක් තියෙනවා. 113 ක් තියෙන ආණ්ඩුවක් අද නැහැ.

දෙමළ ජාතික සන්ධානයට ලැබෙන්නෙ මේ රටේ ජනතාවගේ ඡන්ද. ඒ මන්ත්‍රි ධුර බහුතර බලය පෙන්වන්න වලංගුයි නේද?

ඔවුන් වෙනම ඉල්ලීම් ඉල්ලල ඒ ඉල්ලීම් දිනාගන්න ආණ්ඩුවට සහායදීමක් විතරයි කරන්නෙ. ඒක ආණ්ඩුවක් නෙවෙයි. එහෙමනම් ඒ අයත් ආණ්ඩුවට ඇවිත් ඇමැති ධුර භාරගෙන වගකීමට බැ‍ඳෙන්න ඕන. දෙමළ ජනතාවගෙ සහාය ගන්න එපා කියල අපි කවදාවත් කියන්නෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිභවා ‍ෙපාදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේදී ඉදිරියට ආවා. මේ තත්ත්වය ඔබේ කඳවුරට බලපාන්නෙ කොහොමද?

අපිට එහෙම වු‍ණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක ගැට ගැහිලා හිටපු හින්දයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අතිබහුතරය වාමාංශික අදහස් තියෙන අය. මේක අවබෝධ කරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් අයින් වෙන්න ගත්තු තීරණය ලොකු දෙයක්. පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල දැන් බෙදිලා වැඩක් නැහැ. අපි දැන් එක සන්ධානයක් තුළ වැඩකරන්න ඕන. එකම අදහසක් තියෙන පිරිසක්, පක්ෂ දෙකකට බෙදිලා ඉන්නෙ. මේ ගමන ටිකක් අමාරුයි.

තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කොටසක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතුවෙන්න හදනවා මේ අය ගැන මොකද කියන්නෙ?

පක්ෂයට විනයක් තියෙන්න ඕන විනයක් නැතුව කිසිම පක්ෂයක් හදන්න බැහැ. මම මුල ඉඳලම කිව්වෙ පක්ෂයෙන් පිට වැඩ කරන අයට විනය පියවර ගන්න කියලා. එදා පොදුජන පෙරමුණේ වැඩකරපු අයට විනය පියවර ගත්තෙ නැහැ. ඒකෙ ප්‍රතිඵලය වුණේ අපිත් එක්ක හිටපු වැඩිදෙනෙක් එතෙන්ට ගිය එක. පක්ෂය දාලා ගිය හැමෝටම ආයෙත් පක්ෂයට එන්න කියල මම ආරාධනා කරනවා. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න තව අය යයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ.


ව්‍යවස්ථාව: සභාගත කළාම මතය කියනවා

- අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය-එක්සත් ජාතික පක්ෂ මහලේකම්

පාර්ල‍ිමේන්තුවට ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න ඉස්සෙල්ල චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ. පාර්ලිමේන්තුවට ගෙනාවම පාර්ලිමේන්තුවෙ 2/3 ක් අවශ්‍යයි. එහෙම නැත්නම් සම්මත වෙන්නෙ නැහැ. රටේ ඒකීයභාවය, බුද්ධාගම ගැන අපිට එකඟවෙන්න බැරි දේවල් තිබුණොත් අපි කවුරුවත් ඒකට එකඟවෙන්නෙ නැහැ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවස්ථාවාදීන් විවිධ ප්‍රචාර කරනවා. ඒ ගැන අනියත බියක් ඇතිකරගන්න එපා.

මෙහෙයුම් ‍කමිටුවෙන් ව්‍යවස්ථාදායක සභාවට කෙටුම්පත ඉදිරිපත් කළ පසුවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. මේ ව්‍යවස්ථාව ගේන්න හදන්නෙ මේ ක්‍රමවේදයට පිටින් නේද?

මොන ක්‍රමවේදයට ගෙනාවත් ඔය විවේචන කරන කට්ටිය ‍ෙමානව හරි කතා ටිකක් කියනවා. පාර්ලිමේන්තුවට ගෙනාවම මහජන නියෝජිතයො එපැයි ඕක අනුමත කරන්න. කියන්න දෙයක් නැතුව කියන කතා ඕව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ දියවෙලා කෑලි කෑලිවලට කඩාගෙන යනවා. ඊළඟ ජාතික මැතිවරණය ප්‍රකාශ කරපු ගමන් ඔය පක්ෂ දෙකේම අය තොග පිටින් අපිත් එක්ක එකතු වෙනවා. මේවට බයේ තමයි ඔය කතා තියන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පුළුවන් අපිට කියලයි මුළු ලෝකෙම පිළිගත්තෙ. අගමැතිකම් ගත්ත, ආණ්ඩු ගත්ත කට්ටිය නන්නත්තාර වුණා.

එක්සත් ජාතික පක්ෂය මේ ව්‍යවස්ථාව ගේන්නෙ දෙමළ හා මුස්ලිම් ඡන්ද ඉලක්ක කරගෙන කියලත් චෝදනා එල්ල වෙනවා?

දෙමළ මුස්ලිම් ජනතාව හැමදාම විශ්වාස කළේ අපි ගැන. අලුතෙන් විශ්වාසයක් ඇතිකරගන්න දෙයක් නැහැ. පොහොට්ටුවවත් රාජපක්ෂ මහත්තයල ගැනවත් ඒ අයට විශ්වාස නැහැ. ජාති, ආගම්, කුලබේදයක් නැතුව හැමෝටම සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ අපෙන් කියන විශ්වාසය ජනතාවට තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඕන කෙනෙකුට එකට හිටගන්න පුළුවන්. දෙමළ මුස්ලිම් ජනතාව මේ රටේ ශ්‍රී ලාංකිකයො ඒ අයගෙ සාධාරණ ඉල්ලීම් ඉටුකරන්න ඕන. අපි ඉටුකරන්නෙ ශිෂ්ට සම්පන්න ජාතියක යුතුකම.

මේ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනැල්ල පරාජයට පත්වුණොත්, සුළු ජාතික ඡන්දවල වාසිය එක්සත් ජාතික පක්ෂය ගන්න උත්සාහයක් තියෙන බවට චෝදනා එල්ල වෙනවා.

බංකොලොත් දේශපාලකයො එක එක කතා කියනවා. එහෙම එකක් නැහැ. මේ ව්‍යවස්ථාවෙ ප්‍රශ්නයක් තිබ්බොත්, එක්සත් ජාතික පක්ෂයෙ මහලේකම් හැටියට මමත් එකඟවෙන්නෙ නැහැ. අපිත් සිංහල බෞද්ධ පක්ෂයෙ ඇතුළෙ ඉඳන් අපිටත් විරුද්ධ වෙන්න පුළුවන්. නැති බිල්ලො මවාපාන්නයි මේ කට්ටිය හදන්නෙ.

එක්සත් ජාතික පක්ෂය අලුත් ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා ලබාදුන්නෙ නැහැ කියලත් චෝදනා එල්ල වෙනවා?

අපේ නියෝජිතයො හිටියා. අපේ කට්ටිය එකතුවෙලා තමයි හැදුවෙ. කමිටුවට යෝජනා ඉදිරිපත් කළා. කමිටුවේදි ඒ ගැන අදහස් ප්‍රකාශ කළා.

ඒකීය රාජ්‍යය, බුද්ධාගම ආරක්ෂා කිරීම ජනාධිපති ක්‍රමය, ආණ්ඩුකාරවරුන්ගෙ බලතල ගැන එක්සත් ජාතික පක්ෂ මතය ඉදිරිපත් කරල නැහැ නේද?

ඒකීය රාජ්‍ය, බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය දීම ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ජනාධිපති බලතල, ආණ්ඩුකාර බලතල ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. ව්‍යවස්ථාව ගේනකොට අපේ අදහස අපි කියන්නම්.

ඒ කියන්නෙ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරද්දි එක්සත් ජාතික පක්ෂයෙ යෝජනා දීල නැද්ද?

තාම වැඩේ පටන් අරගෙන විතරයි. පාර්ලිමේන්තුවට ගෙනාවෙ නැහැනෙ.

පාර්ලිමේන්තුවට අලුත් ව්‍යවස්ථාව ගේන්න නේද හදන්නෙ?

මූලික සැලැස්ම ගේනවා. ඒකෙ අදහස් අරගෙන අපේ අඩුවැඩිය දාල අපි හොඳ සෞඛ්‍ය සම්පන්න දරුවෙක් බිහිකරමු. තවම තියෙන්නෙ කළලෙනෙ. දරුවගෙ අතපය හැදිලා එන්න ඕන. එතකං ඉවසන්න.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයෙ මතය මොකක්ද?

වර්තමාන තත්ත්වයත් එක්ක ඒ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. 2015 දී නිර්පාක්ෂිකයෙක් ඉදිරිපත් කළේ විධායකය අහෝසි කරන්නනෙ. ඒක සාර්ථක වුණේ නැහැ. පාර්ලිමේන්තුවට, අගමැතිට, විධායකයට තියෙන්න ඕන බලතල ගැන නැවත සාකච්ඡාවක් අවශ්‍යයි.

පළාත් සභාවලට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලතලවත් තවම දීලා නැහැ. එහෙම තියෙද්දි අලුත් ව්‍යවස්ථාවෙන් බලය බෙදීමක් ගැන සාකච්ඡා වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන්නෙ. අපේ අදහස විතරක් වැඩක් නැහැ. හැම පක්ෂයකම එකඟතාව අවශ්‍යයි. බහුතරයෙ මතය සැලකිල්ලට අරගෙන අපේ මතය කියනවා. බලය බෙදුවම බෙදීම හැමෝම පිළිගන්න ඕන. උතුර වගේම දකුණත් පිළිගන්න වැඩපිළිවෙළකට අපි යන්න ඕන.

බරපතළ දේශපාලන අර්බුද රැසක් මැදයි ඔබ එක්සත් ජාතික පක්ෂ මහලේකම්කම ගන්නෙ. එක්සත් ජාතික පක්ෂ ඉදිරි කටයුතු කොහොමද සැකසෙන්නෙ?

මේ වගේ දැවැන්ත කඩාවැටීමක් තියෙන වෙලාවක මහලේකම්කම ගත්තු පළමුවැනියා මම. පළාත් පාලන ආයතන පැරදිලා අපි ලොකු අර්බුදයක හිටියේ. මේ තනතුර ගනිද්දි ගොඩක් අය කිව්වෙ ගන්න එපා කියලා. නමුත් මේ අභියෝගය මම භාර ගත්තා. අපි පියවරෙන් පියවර ඉදිරියට ආව.

ලොකු දේශපාලන අර්බුදයකට රට මුහුණපෑවා. ඒ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂ‍ෙය හැසිරීම ගැන මොකද කියන්නෙ?

අපි කලබල වුණේ නැහැ. ඉතාම සාමකාමීව අපේ මිනිස්සු වැඩ කළා. අපි ඔක්කොම එකට එකතුවෙලා ඒ තත්ත්වයට මුහුණ දුන්නා. ජනතාව බලගැන්වුවා කොල්ලුපිටියේ දැවැන්ත රැස්වීමක් තිබ්බා දවසෙන් දෙකෙන් අපේ මිනිස්සු කොළඹට ආවා. දිවා රෑ නොබලා අපේ පාක්ෂිකයො ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහුනා. ගෝල්ෆේස් රැස්වීමට සෙනඟ ගෙන්න ගන්න බැරිවෙයි කියලා ගොඩක් අය හිතුවා. ඒත් අපි සම්පූර්ණයෙන් ගෝල්ෆේස් පිටියත් ඒ අවටත් ජනතාවගෙන් පිරෙව්වා. රාජපක්ෂ මහත්තයලගෙ ගෝල්ෆේස් රැස්වීම වගේ නෙවෙයි. අපි පක්ෂයක් හැටියට දැන් හොඳ ශක්තියකින් ඉන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නොහිටින්න ඒ අරගලය ජයගන්න බැහැ. එතුමගෙ ඉවසීම, දූරදර්ශීබව, ජාත්‍යන්තර සබඳතා නිසා තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණේ.

රජයේ ඇමැතිවරුන්ට එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙනවා. ඇමැතිවරුන්ගෙ වැය ශීර්ෂ පවා පරද්දන බවට අනතුරු අඟවනවා?

තරුණ මන්ත්‍රීවරුන්ගෙ විවිධ මත තියෙනවා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. කිහිපදෙනෙක් චෝදනා කරනවා. අපි කතාබහ කරල ඒව හරිගස්ස ගන්නවා. කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.

ජාතික මැතිවරණයකට මුහුණදෙන්න පුළුල් සන්ධානයක් හදන බවටත් කතා පැතිරෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ ගැන මොකද කියන්නෙ?

ජාතික සංවිධානයක් හදන්න පුළුවන් අපිට විතරයි. සියලුදෙනාට එකට හිටගන්න පුළුවන් අපිත් එක්කයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවෙ අපියි. සියලුම පක්ෂ, සිවිල් සංවිධාන විවිධ කොටස් එකතු වෙලා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ හැදෙන්නෙ. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතුවෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. නියත වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණය අපි දිනනවා. ඒකෙ සැකයක්, කතා දෙකක් නැහැ. දැනටම අපි විශාල බලවේගයක් හදලා ඉවරයි.

ඒ කියන්නෙ ඔ‍ෙබ් පක්ෂයෙ ඉලක්කය ජනාධිපතිවරණයක්?

2020 අගෝස්තු වෙනකන් මහ මැතිවරණයක් කොහොමත් බැහැ. ඒකට අධිකරණ තීන්දුවක් දුන්නා. පළාත් සභා මැතිවරණයත් බැහැ සීමා නීර්ණ ප්‍රශ්නය විසඳන්න ඕන. පළාත් සභා ඔක්කොම එකට තියන්න ඕන. ජනාධිපතිවරණයයි පළාත් සභා මැතිවරණයයි එකට තියන්න පුළුවන්නම් වඩාත් හොඳයි. මේ ගැන බැලුවම තව මාස 08 කින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණයක් එනවා.

නව අදහස දක්වන්න