වර්ගවාදයට යටවන රටේ අනාගතය | දිනමිණ

වර්ගවාදයට යටවන රටේ අනාගතය

1957 චෙල්වනායගම් - බණ්ඩාරනායක, 1965 ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම්, 1987 ඉන්දු - ලංකා සාම ගිවිසුම, 1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක ඉදිරිපත් කළ යෝජනා ඉක්බිතිව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අදහස් හා යෝජනා ආදිය ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම සඳහා ඉදිරිපත් වුවද ඒ සියල්ල බිඳ වැටිණි. මෙම ඉතිහාස කතාවේ කේන්ද්‍රීය සාධකය වන්නේ පාලක පක්ෂය ඉදිරිගාමී පියවර තබන විට විපක්ෂය පසුගාමී ස්ථානයක සිට එම යෝජනාවලට විරුද්ධ වීමය. 2015 දී සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමේදී දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප හා ශ්‍රීලනිප මෙම තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ජාතික සංහිඳියාව ශක්තිමත්කොට, ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා ඉදිරිගාමී වැඩපිළිවෙළ හා සම්බන්ධ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ජාතිකවාදී, වර්ගවාදී කණ්ඩායම්වල අදහස් සඳහා මාධ්‍ය සැලකිය යුතු ඉඩක් වෙන්කර ඇත. එම අදහස් බොහොමයක් ජාතීන් අතර සාමුහිකත්වය බිඳ දමන අර්ථගැන්වීම්වලින් පිරී පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම දේශපාලන න්‍යාය පත්‍රය සකස්කර ගැනීමේ කේන්ද්‍රීය සාධකය ලෙස ඉදිරියට තබා ඇත්තේ වර්ගවාදී හා ආගම්වාදී අදහස් සමාජගත කිරීම කෙරෙහිය. ඒ සඳහා එම පක්ෂය ඇතුළු ඊට සහාය දක්වන අන්තවාදී පිරිස විසින් රට කැඩීම, රට බෙදා වෙන්කිරීම, රට පාවාදීම, බෙදුම්වාදී ව්‍යවස්ථාව ආදී වචන රාශියක් භාවිත කරනු ලබයි. මෙම මතය සූත්‍රගත කිරීම මඟින් මෙම පිරිස කල්පනා කරන්නේ, රට ආරක්ෂා කරන එකම බලවේගය තමන් බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජාතිය ගොඩනැඟීම සඳහා උත්සාහ කරන පිරිස රට පාවාදෙන්නන් බවත් ය.

අන්තවාදීන්ගේ අපේක්ෂා

මෙම වර්ගවාදී උත්ප්‍රාසය මහජනතාව වෙත ඉදිරිපත් කිරීමේ තවත් ප්‍රවේශයක් වන්නේ යුද්ධයෙන් ඉටුකර ගැනීමට නොහැකි වූ දේ ව්‍යවස්ථාවෙන් ඉටුකර ගැනීමට ඉඩ නොතැබිය යුතුයි යන්නයි. මෙමඟින් කියාපෑමට උත්සාහ කරන්නේ යුද්ධය පිළිගත හැකි වුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිගත නොහැකි ප්‍රවේශයක් බවයි.

ඔක්තෝබර් 26 සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීමේදී එජාපෙ මෙන්ම ශ්‍රී.පො.ජ. පෙ ටද වටිනා දේශපාලන පක්ෂය බවට පත්වූයේ දෙමළ ජාතික සන්ධානයයි. එම පක්ෂ නායකයින් පමණක් නොව ජනාධිපතිවරයා පවා දෙ ජා. ස. සමඟ සාකච්ඡා පැවැත්වූයේ ආණ්ඩුව පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර සංඛ්‍යාව සකස් කර ගැනීමට ය.

එහෙත් අවසන් ප්‍රතිඵලය වූයේ දෙ. ජා. සං, ශ්‍රී. පො. ජ. පෙ. ට සහාය නොදක්වා එජාපෙට සහාය දැක්වීම මඟින් එජාපෙ ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රවේශයට අවතීර්ණ වීමය. එතැන් සිට මෙම දේශපාලන සංදර්භය අර්ථගැන්වෙන්නේ දෙ. ජා. සං. එජාපෙට සහාය දැක්වීම රට කැඩීම, ‍රට වෙන්කිරීම, මාතෘ භූමිය විනාශ වීම දක්වා ගමන් කළ හැකි බවයි.

මෙය භයානක තත්ත්වයක් ලෙස ඒත්තු ගැන්වීමට වර්ගවාදී අන්තවාදී කණ්ඩායම් විසින් රනිල් වික්‍රමසිංහ හා ආර්. සම්බන්ධන් අතර පැවැති එකඟතාවන් පිළිබඳ සැකසූ ව්‍යාජ ලේඛනයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද නමුත් එජාපය හා දෙ. ජා. සං. මෙම අන්තවාදී මැදිහත්වීම ප්‍රතික්ෂේප කළහ. මෙයින් විද්‍යාමාන වන දේශපාලන යථාර්ථය වන්නේ දෙ. ජා. සං. දකුණේ දේශපාලන පක්ෂයකට ජාතිය ගොඩනැඟීම අරමුණෙන් සහාය දැක්වීම වර්ගවාදයට පෙරළා පහර ගැසීමට අන්තවාදී සූදානමක් ඇති බවයි.

උතුර සංවර්ධනය

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරීත්වය 2009 දී පරාජයට පත්කිරීමට පෙර දෙ. ජා. සං. තම කටයුතුවලදී ස්වාධීන තීන්දු තීරණ ගැනීමට මැළිකමක් දැක්වූ නමුදු පශ්චාත් යුද සමය තුළ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා සමාජයට අවශ්‍ය ප්‍රවේශය තෝරාගෙන දෙමළ ජනයාගේ සමාජ - ආර්ථික සංවර්ධනයට මෙන්ම දේශපාලන ගැටලු විසඳාගැනීමට ඔවුන් දක්වන දායකත්වය ප්‍රධාන කොටගත් උතුර - දකුණ සංවාදය බැහැර කළ නොහැකිය.

ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන බවට යුද හමුදාව තීරණයකොට ඇති මුලතිව්, කිළිනො

ච්චිය,මන්නාරම වැනි ප්‍රදේශවල රජයේ ‍හා පෞද්ගලික ඉඩම් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් උතුරේ ජනතාව වෙත නිදහස් කිරීමට කටයුතු සිදුකරන බවට පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය විය. උතුරේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ගනු ලැබූ මෙම පියවර ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීමට හේතුවනු ඇත. තවද මෙවර කැබිනට් විෂයය ‍ක්ෂේත්‍ර වෙන්කිරීමේදී උතුරු සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇත. එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විශාල වැඩකොටසක් ඉටුකිරීමට ද නියමිතව ඇත.

ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැඟීම සඳහා දෙ. ජා. සං. විසින් යහපත් චේතනාවෙන් ඉදිරිපත් කරන, අදහස් ලබාගෙන රට ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම දකුණේ සියලු දේශපාලන නායකයින්ගේ වගකීමය.

ගැටලු නිවැරදි කර ගැනීම

එජාපෙ ආණ්ඩුව පිහිටුවීම සඳහා දෙ. ජා. සං. සහාය දැක්වීම සහ දෙසැම්බර් 21 දින අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට ආණ්ඩුවට සහාය දැක්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතැම් කරුණු ඔවුනට වාසි සහගත ආකාරයෙන් ඉටුකරවා ගැනීමට පෙර සූදානමක් බවට වර්ගවාදී කණ්ඩායම් ගෙන යන මතය හුදු අවස්ථාවාදී දේශපාලන ප්‍රබන්ධයක් බව තේරුම්ගත යුතුය.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම කීප දෙනෙකුට එකතු වී කළ හැකි සරල කටයුත්තක් නොවන නිසාය. මෙම ක්‍රියාවලියේදී ව්‍යවස්ථා සභාව ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසිය විසිපස්දෙනා රැස්වී ඊට අදාළ කොටස් විවාදයට ලක්කරන අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබාගත යුතුයි. ඉක්බිතිව එය ජනමත විචාරණයකට ලක්කළ යුතුය. එමනිසා රට බෙදා වෙන්කරන කුමන හෝ කරුණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අන්තර්ගත වී ඇත්නම් මෙම ක්‍රියාවලිය තුළ සංශෝධනය කිරීමට අවස්ථාව තිබේ.

ජාතික මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව තිබෙන විටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත වර්ගවාදී දෘෂ්ඨියෙන් අර්ථගැන්වීමට මෙම කණ්ඩායම්වල මැදිහත්වීම පරාජයට පත්කිරීම සඳහා පුළුල් මහජන සංවාදයක් ගොඩනැඟීම සහ ජාතිය එක්සත් කිරීමේ යාන්ත්‍රණයක් ගොඩනැඟීම එජාප ප්‍රධාන කොටගත් දේශපාලන පක්ෂවල මෙන්ම වෘත්තීයවේදීන්ගේ ද වගකීම විය යුතුය.

නවවන වගන්තිය

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය එලෙසින්ම ආරක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මල්වත්ත - අස්ගිරිය මහානාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තියේ දැක්වෙන ඒකීය රජයක් යන්න භාෂා තුනෙන් පළකරන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළ සඳහන් වෙන බව ප්‍රකාශ වී ‍තිබේ. එකී කරුණු සාධනීය පියවරක් ලෙස දැක්විය හැකි අතර බටහිර බලවේග ඉදිරියට දමා රට කොටස් නවයකට බෙදා වෙන්කරන ව්‍යවස්ථාවක් ගෙන එන බවට කෙරෙන ප්‍රකාශ බිල්ලෙකු මැවීමක් බව මෙයින් ප්‍රත්‍යක්ෂ වේ.

නිදහස දිනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම අරමුණින් අවස්ථා කීපයක ධනාත්මක පියවර ඉදිරියට තැබුවද ඒ සියල්ල අසාර්ථක වූයේ බලලෝභී අන්තවාදී පිරිස වාර්ගික හා ආගමික උත්ප්‍රාසය එකතු කරමින් ඒවා කඩාකප්පල් කිරීමට කටයුතු කළ නිසාය. බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස දිනාගත් නමුදු එම කාලයේදී ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම සඳහා වූ දෘෂ්ඨිවාදයකින් කටයුතු කළ බවක් නොපෙනේ.

ගැටලුවේ ආරම්භය

ජී. ජී. පොන්නම්බලම් පනහට පනහ නමින් එදා සිදුකළ දේශපාලන ඉල්ලීම සෝල්බරි කොමිසම විසින් ඉවත දැමීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ වාර්ගික අදහස් මතුවීමට අදාළ සමාජ විභවය සකස් විය. පුළුල් ව්‍යවස්ථා සම්පාදනයකට එකල අවතීර්ණ වූයේ නම්, බොහෝ ගැටලු ආරම්භයේදීම විසඳාගැනීමට ඉඩකඩ තිබිණි. පොන්නම්බලම් මහතා විසින් සියලු මතභේද ඉවතලා අවසානයේ සෝල්බරි ව්‍යවස්ථාව සඳහා එකඟතාව දැක්වූයේ හැකි ඉක්මණින් ජාතිය ගොඩනැඟීම සඳහා සාධාරණ ප්‍රවේශයක් තුළ දේශපාලන නායකයින් කටයුතු කරනු ඇති බවට තිබූ විශ්වාසය නිසාය.

කෙසේ වෙතත් 1957 චෙල්වනායගම් - බණ්ඩාරනායක, 1965 ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම්, 1987 ඉන්දු - ලංකා සාම ගිවිසුම, 1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක ඉදිරිපත් කළ යෝජනා ඉක්බිතිව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අදහස් හා යෝජනා ආදිය ශ්‍රී ලංකා ජාතිය ගොඩනැඟීම සඳහා ඉදිරිපත් වුවද ඒ සියල්ල බිඳ වැටිණි. මෙම ඉතිහාස කතාවේ කේන්ද්‍රීය සාධකය වන්නේ පාලක පක්ෂය ඉදිරිගාමී පියවර තබන විට විපක්ෂය පසුගාමී ස්ථානයක සිට එම යෝජනා සඳහා විරුද්ධ වීමය.

2015 දී සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමේදී දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප හා ශ්‍රීලනිප මෙම තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එම එකතුවීම ජාතික ගැටලුව විසඳීම සඳහා ධනාත්මක පියවරක් විය. එසේ වුවද සම්මුතිවාදය බිඳවැටීමත් සමඟ ශ්‍රීලනිප නව දේශපාලන ධාරාවක් වූ ශ්‍රී.පො.ජ.පෙ. සමඟ එකතුවීම ඉතිහාසයේ අසාර්ථක වූ අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දේශපාලන බලය ලබාගැනීම සඳහා වූ ප්‍රවේශයක් බවට පත්වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය. ජාතික විවිධත්වය තේරුම් ගැනීම සඳහා වූ සංවාදය ශක්තිමත් කළ යුතු අතර වාර්ගික නොඉවසිලිවන්ත බවට තල්ලු කිරීමේ ඛේදවාචකයට ශ්‍රී ලංකාව පත් නොකොට ජාතික බහුමානය ගොඩනැඟීමේ දිසාවට රැගෙන යාම අප කාගේත් වගකීම විය යුතුය.


නව අදහස දක්වන්න